ව්‍යාපාර වනසන භූමි දෝෂ | සිළුමිණ

ව්‍යාපාර වනසන භූමි දෝෂ

හතරැස් ඉඩමක ව්‍යාපාර පිහිටුවීම ඉතා සුබයි

ඊසානයේ උල් හැඩය ගෙනෙන වාසනාව

ව්‍යාපාරයක් පවත්නා භූමිය චතුරස්‍රාකාර නම් එය ඉතා යහපත් වන බවත් එහි ඊසාන දිශාවේ උල් හැඩයක් තිබීමද වාසනාව ගෙන දෙන්නක් බව නවීන වාස්තු විද්‍යා පර්යේෂණයන්ගෙන් අනාවරණය වී තිබේ. නමුත් එම ඉඩමේ නිරිත දිශාව උල් හැඩයක් ගනී නම් එය ව්‍යාපාරයක් සඳහා කිසිසේත්ම උචිත නොවන බවද එම පර්යේෂණයන් මඟින් තහවුරු වී ඇත.

එමෙන් ම ඉඩමේ ගිනිකොන සහ වයඹ උල් හැඩයකින් යුතු නම් එවැනි ඉඩම් ද ව්‍යාපාර පවත්වාගෙන යාම සඳහා සුදුසු නොවන බවද එමඟින් හෙළි වී තිබේ.

ඊළඟට ඉඩමේ බෑවුමද සලකා බැලිය යුතු අතර, ජල බැස්ම කානු පද්ධතියකින් සකසා හෝ ඉඩමේ බෑවුම ඊසාන, උතුර හෝ නැඟෙනහිර දිශාවට සිදු කිරීමට කටයුතු කිරීම අත්‍යවශ්‍ය වේ.

නිරිතට බෑවුම සහිත ඉඩමක ව්‍යාපාරයක් ගොඩනැඟීමට නම් විශේෂ ක්‍රමෝපායයන් (පිරමීඩ සෑදීම ආදි) සැලකීම අත්‍යවශ්‍ය වනු ඇත. දකුණට හෝ බස්නාහිරට බෑවුම්ව ඉඩම පැවතීමද කිසිසේත් යහපත් නොවේ.

මේ හේතුව නිසා නිවාස ඉදිකිරීමේදී සලකා බලනවාටත් වඩා අවධානයකින් යුතුව ව්‍යාපාරයන්හි වාස්තු සිද්ධාන්ත පිළිබඳව සැලකිලිමත් විය යුතු වේ.

බොහෝ ව්‍යාපාරයන් සඳහා සැලකිය යුතු ඉඩකඩක් සහිත භූමියක් අත්‍යවශ්‍ය වේ. එසේ නොමැතිව අවශ්‍ය ඉහළ පරිමාණයකින් යුතුව ව්‍යාපාරයක් සංවර්ධනය කර ගැනීම පහසු නොවේ. එබැවින් අපගේ අවධානය ව්‍යාපාරය පවත්නා භූමිය කෙරෙහි වැඩි වැඩියෙන් යොමු විය යුතුව තිබේ. මෙහිදී ව්‍යාපාරය පිහිටි භූමියේ ප්‍රධාන වශයෙන් කරුණු තුනක් පිළිබඳව අවධානය යොමු විය යුතු වේ. ඒවා නම් භූමියේ හැඩය, බෑවුම හා පෘෂ්ඨ ස්වභාවයයි. මෙකී කරුණුවල දෝෂයන් විසින් හටගන්නා දෝෂ කෙතරම් බලවත් වෙතත් වාස්තු ශිල්පීන්ගේ අවධානය මේවා කෙරෙහි යොමු වන්නේ ඉතා අඩුවෙනි.

ඉඩමක හැඩය පිළිබඳව අවධානය යොමු කරන්නන් විසින් පුරාණ වාස්තු ශාස්ත්‍ර පොත්වල දක්වා ඇති භූමි හැඩ ගණනාවක් පිළිබඳව පොතේ ඇති පරිදි වටහා දීමට අනවශ්‍ය වෑයමක් ගන්නා බව පෙනේ. එහෙත් නූතන මිනින්දෝරු ශිල්පය අනුව සැලකීමේදී ඉඩමක් කැබැලි කරනු ලබන්නේ සීමිත සරල ආකාරයන් කීපයක් අනුව පමණි. එබැවින් වඩ වඩාත් සංකීර්ණ, අමුතුම හැඩතල කෙරෙහි සිතා බැලීමටවත් අප කාලය වැය කළ යුතු නොවේ.

අනතුරුව අප විසින් භූමියේ පෘෂ්ඨ ස්වභාවය පිළිබඳවද යම් සැලකිල්ලක් දැක්විය යුතු වේ. භූමියෙන් මතු වී ඇති පර්වත ආදිය නිරිතෙන් හෝ දකුණෙන් හෝ බස්නාහිරෙන් පවතින භූමියක් වඩාත් ශක්තිමත් ආර්ථික ශක්තියක් ඇති කරන බව කිව යුතුයි. ඊසාන දිශාවෙන් ගලක් මතු වී තිබීම පවා ශුභ ප්‍රතිඵල ගෙන නොඑයි. භූගත ජල මූලාශ්‍රවල බැස්ම පවා අධ්‍යයනය කළ හැකි නම් එයින් පවා අන්තරීක්ෂ ශක්තියේ ගමන් රටාවන් පිළිබඳව අවබෝධයක් ලබාගත හැකියි. මෙවැනි තවත් බොහෝ භූමියේ පෘෂ්ඨ ස්වභාවයන් අධ්‍යයනය නොකර භූමියේ ශුභ අශුභ නිවැරදි ලෙස නිර්ණය කළ හැකි නොවේ.

මෙසේ නිවැරදි ලෙස භූමියක් තීරණය නොකොට ප්‍රදේශයේ හා ප්‍රවේශයන් ආදි සරල භෞතික කරුණු පමණක් සැලකීමෙන් ව්‍යාපාරයක් සාර්ථක කර ගැනීමට වාස්තුමය සහායක් ලබාගත හැකි නොවේ.

සිවිල් ඉංජිනේරු, විශ්වවිද්‍යාල බාහිර කථිකාචාර්ය, විද්‍යාත්මක වාස්තු පර්යේෂණ ආයතනයේ ප්‍රධාන පර්යේෂක ජනක ප්‍රියන්ත දයාරත්න

Comments