
අපල උපද්‍රවවලට ප්‍රතිකර්ම ලෙස ජ්‍යොතිෂවේදියා සඳහන් කරන සෑම කටයුත්තක්ම කළ යුතුමයි
සඳහන් කරන ප්‍රතිකර්ම හරියට කළොත් අපල උපද්‍රව අඩු වේවි
ජන්ම පත්‍ර පරීක්ෂාවකට කෙනෙකු යොමු වනුයේ තම දෛනික සාමාන්‍ය ක්‍රියාකාරකම්වලට අසාමාන්‍ය ලෙස බාධා පැමිණෙන විටය. එසේ නැතහොත් වෛද්‍යවරයාට පවා සොයා ගත නොහැකි ලෙඩ දුක් සෑදෙන විට ය. එසේත් නැතහොත් තම ජයග්‍රහණ අඩාළ වන බව පෙනී යන විට ය. මේ ඕනෑම තත්ත්වයකට හේතු ජන්ම පත්‍රයේ සඳහන් ග්‍රහ පිහිටීම් අනුව සොයා ගත හැකි වනුයේ අංග සම්පූර්ණ ජන්ම පත්‍ර පරීක්ෂාවකදීය. එසේ සිදු කරන ලද ජන්ම පත්‍ර පරීක්ෂාවක් සමඟ අපල දුරු වී පිරිපත සමනය වීමට අවශ්‍ය මඟ පෙන්වීමද ලබා දෙයි. ඒවා බොහොමයක් ඉපැරණි ජ්‍යොතිෂ ආචාර්යවරු සඳහන් කොට තිබෙන පිළිවෙත්ය.
ජන්ම පත්‍ර පරීක්ෂාවකදී හෙළි වු තොරතුරු අනුව ලබා දුන් පිළිවෙත් නිවැරදිව අනුගමනය කිරීම අපගේ වගකීම වන්නේය. ජ්‍යොතිෂවේදියා ලබා දුන් පිළිවෙත් නිසි පරිදි අනුගමනය කිරීමෙන් බොහෝ අපල උපද්‍රව අවම කරගත හැකි වේ. තත්ත්වය මෙසේ වුවද බොහෝ දෙනා සිදු කරනුයේ ජ්‍යොතිර්වේදියා ප්‍රකාශ කළ දෙය අසා අමතක කර දැමීම හෝ ලියා දුන් දෙය කියවා බලා පසෙක තැබීමය. මේ නිසාම ජන්ම පත්‍ර පරීක්ෂා කරවා ගැනීමට වැය කළ මුදලද අපතේ යන බව අප තේරුම් ගත යුතු ය. දෙවියන් උදෙසා පඬුරක් ගැට ගසා බාරයක් වී අපල අඩුකර දෙන ලෙස ඉල්ලා සිටින්නැයි නිර්දේශයක් තිබිය හැකිය. එහිදී ජ්‍යොතිර්වේදියා අප වෙත දන්වා සිටි දෙවියන් හමුවේ එම බාරය විය යුතුය. බාර විය යුත්තේ කුමක් පූජා කරන්නදැයි තීරණය කළ යුත්තේ අප මිස වැටුපට දේවාලයේ වැඩ කරන කපු මහතා නොවේ. විහාරස්ථානයේ අඩුපාඩු සම්පූර්ණ කර ගැනීමට දෙවි බැතිමතුන් බිලීබා ගන්නේනම් එය නිර්ලඡ්ජිත සූරා කෑමක් මිස අන් කිසිවක් නොවන බව පැහැදිලිව සඳහන් කළ යුතුය.
ජ්‍යොතිර්වේදියෙකු නිර්දේශ කරන ලද බෝධි පූජාවන්ට සම්බන්ධ වීමද බැති සිතින් කළ යුතුය. බෝධි පූජාවන්ට සම්බන්ධ වී රැස් කරගත් පින් තම අපලය දුරු කිරීමට සමත් දෙවියන්ට අනුමෝදන් කොට පන්සලෙන් පැමිණීමට අමතක නොකළ යුතුය. බෝධි පූජාවට සම්බන්ධ වු පමණින් අපල අඩු වන්නේ නැත. ඒ සඳහා දෙවි පිහිට නො අඩුව ලැබිය යුතුය. පින් අනුමෝදන් කරනුයේ දෙවි පිහිට ඉල්ලා සිටීම සඳහාය. කිසිඳු දෙවි කෙනෙකු මුදල් බාරගන්නේ නැත. එබැවින් බෝධි පූජා සිදු කිරීමට හා දෙවියන්ට පින් දීමට මුදල් අවශ්‍ය නොවේ.
සෙත් කවි ගායනා කර ගන්නැයි ලබා දී ඇති උපදෙස් ද වහ වහා පිළිපැදිය යුතු මිස කල් දමමින් සිටිය යුතු නොවේ. දිව්‍ය අක්ෂර ඇසුරු කර ගනිමින්, නිසි ලෙස ගණ පිහිටුවමින්, කදිම මාත්‍රා සුසංයෝගයක් සහිත සෙත් කවි රචනා කරන්නෙකු හමු වී තම සෙත් කවිය ලියවාගෙන තමා විසින්ම ගායනා කරන්නට කටයුතු කළ යුතුය.
දෙවියන් සතුටු කිරීම සඳහා මනා ලෙස සුවඳ විහිදෙන සේ සකස් කළ පලතුරු පූජා වට්ටියක් පූජා කිරීම වැදගත් දෙයකි. ඒ සඳහා ගත යුතු පලතුරු වර්ග මොනවාදැයි තීරණය කළ යුත්තේ තමා මිස අන් කවරෙකුවත් නොවේ. දේවාල කපු මහත්වරු ප්‍රිය කරන පලතුරු වර්ග පූජා වට්ටියට තැබීම අවශ්‍ය නොවේ. තම සෙත් කවිය ගායනා කර ගැනීමට දේවාලය අබියස ම සිටිය යුතු නැත. බෝධිය අසල හිඳ සෙත් කවිය ගායනා කිරීමද සුදුසු ය.
යාචකයන්ට ඇඳුම් පැලඳුම්, මුදල්, කෑම බීම ලබා දෙන්නැයි ජ්‍යොතිර්වේදියෙකු නිර්දේශ කර තිබේ නම් එහිදී අප කළ යුතු හොඳම දෙය නම් පාදයක් හෝ පාද දෙකම හෝ ආබාධයට ලක් වී ඇති යාචකයෙකු තෝරා ගැනීමයි. යාචක 'හොරුන්ට' යමක් දීමෙන් අපල අඩුකර ගත නොහැකිය. එමෙන්ම දිග කලිසම හැඳ දුම්රියේ බටනළා පිඹින්නන්ද සැබෑ යාචකයන් නොවේ. ඔවුන් යාචක මහත්වරුන්ය. ඔවුන්ට ආධාර කිරීමෙන්ද අපල අඩු නොවේ.
සෙනසුරාදාවන්හි උදෑසන ගිතෙල් මිශ්‍ර කිරිබත් සාදා කපුටන්ට ආහාර පිණිස ලබා දීමද නිර්දේශ වී තිබිය හැකිය. එහිදී හැකි තාක් උදේ පාන්දරින් කිරිබත් දානය කපුටන්ට ලබා දිය යුතුය. වෙනත් ආහාරයක් ගැනීමට පෙර කපුටන්ට කිරිබත් දානය ලබා දීම සුදුසුය. ඇතැම් අය මේ සමඟම පහන්තිර කැබැල්ලක්ද කපුටන්ට ලබා දෙයි. එහිද වරදක් නැත.
නුග වෘක්ෂයකට හෝ නුග පැළයකට හෝ සාත්තු කිරීමක් නිර්දේශ විය හැකි අතර ඇතැම් විට වැටකේ ගසකට හෝ වැටකේ පැළයකට හෝ සාත්තු කිරීමක්ද නිර්දේශ වී තිබිය හැකිය. මෙයද ක්‍රියාවට නැංවීම අපහසු නැත. වර්තමාන වෙළෙඳ පොළේ ඕනෑම ගස් වර්ගයක් පැළ වශයෙන් විකිණීමට තිබෙන බැවිනි.
මීට අමතරව විවිධ ඖෂධ තැම්බු වතුර ස්නානය කිරීමක්ද නිර්දේශ වී තිබිය හැකිය. මේ ආකාරයට ජ්‍යොතිර්වේදීහු ලබා දෙන විවිධ නිර්දේශ ක්‍රියාවට නැංවීම මඟින් ඔබගේ බොහෝ අපල උපද්‍රව අවම කර ගත හැකි බව අවධාරණය කරමි.
ප්‍රවීණ ජ්‍යොතිර්වේදී විශ්‍රාමලත් පාඨශාලාචාර්ය අසෝක විජයසේකර