
ධනය ලැබෙන්නට පෙර ආත්මවලදී කළ පුණ්යකර්ම බලපානවා
මේ ග්‍රහ පිහිටීම් ඔබේ කේන්දරේ ඇත්දැයි බලන්න
කේන්දරයක 2-9 -11 මූලාධාරක ලෙස හැඳින්වේ
ජ්‍යොතිෂවේදියෙකු වෙත එන අය වැඩිපුරම අසන්නේ තමාට ධන සම්පත් ලැබේද? එසේනම් කිනම් කාලයකදී කුමන මාර්ගයකින්ද? නැත්නම් හැමදාම මේ විදියට මුදල් ලැබීම් නැතිව ඉන්නට සිදුවේද? යන ප්‍රශ්න රැසකි. හැම දෙනාටම පාහේ අවශ්‍යය. කේන්දරයක් බලවා නිවැරදි අනාවැකියක් දැන ගැනීමට අකමැති අයෙකු නොමැතිය. ජ්‍යොතිෂ විද්‍යාත්මක කරුණු නිරීක්ෂණය කිරීමේදී කේන්දරයේ 2-9-11 වැන්න ‘මූලාධාරක මේ සම්පත්‘ මූල්‍ය ධනය ලැබීමට 2 වැන්න ධනයත් 9 වැන්න භාග්‍යය සහ මුදල් ඉපැයීම් පැත්ත ගැන කියයි.
මෙකී භාවයන් තුනේම වැදගත්කම අනුව හිමි වන ධන සම්පත් ලැබීමට පෙර කරන ලද පුණ්යකර්මයන්ගේද ශක්තිය හිමි වීම අනිවාර්ය වන්නේය. දෛවයෙන් ඒ සඳහා හේතු වාසනා හිමි සුළු පිරිසකට පමණක් භාග්‍යය ලැබෙන බැව් පැහැදිලිය.
පෙර ආත්මවලදී ජන්මියා විසින් රැස් කරන ලද කුසල් පූර්ව පුණ්‍යකර්මයන් හරහා දැනගත හැකි වන්නේ නව වැන්නෙනි. 9 වැන්න කේන්දරයක ඉතාම බලවත්නම් දේවාශීර්වාදය ලැබෙන බවත් මෙලොව දියුණුවට මග පෑදෙන බවත් පැහැදිලි වේ. තවද ලග්නාධිපතියාගේ බල දුබලතාවය මත ජන්මියාගේ ධනය මිල මුදල් සමාජ තත්ත්වය පිළිබඳව විශාල බලපෑමක් කෙරෙනු ඇත.
ඊළඟට වැදගත්ම කරුණ වන්නේ නිසි කළමනාකාරිත්වය සහ උත්සාහයයි. 2 වැන්න සහ 9 වැන්න ගැන ගැඹුරින් බැලිය යුතු වේ. එහි අධිපති ග්‍රහයින් සහ බල දුබලතා ග්‍රහ දෘෂ්ටි එල්ල වන ඒ ඒ ග්‍රහයන්ගේ හැසිරීම් රටාව ජන්මියාගේ අනාගත මූල්‍යමය තත්ත්වය හා ආර්ථික දියුණුව පිළිබඳ සැබෑ තතු හෙළි කර ගත යුතු වේ.
මහාචාර්ය බී.වී. පඬිතුමාගේ යෝග 30ට වැනි ග්රන්ථයන්හි ආර්ථිකය දියුණු වන අන්දම පැහැදිලි කර ඇත. රවි 2 වැන්නේ මේෂ හෝ සිංහ රාශියක් වී නම් ආර්ථිකය ඉතාම යහපත් වේ. මුදල් විශාල ලෙස අත්පත් වේ. රජයේ කොන්ත්‍රාත් සහ ඖෂධ නිෂ්පාදනය මෙන්ම අලෙවියෙන්ද මුදල් උපයා ගනී. ශුක්‍ර, බුධ, ගුරු තිදෙනාම හෝ ඉන් එක් ග්‍රහයෙක් රවි සමඟ එක්වීමෙන් ජන්මියා සම්පත් ලාභියෙක් ධනවතෙක් වේ. කුජ, ශනි කේතු 2 වැන්නේ රවි සමඟ වීනම් ධනය ලැබීමට බාධක මතු කරයි. රාහු රවි දෙදෙනා 2 වැන්නේ යෝග වීම ඔස්සේ සෑහෙන මුදල් ප්‍රමාණයක් ලබන අතර පසුව විනාශයට පත්වේ.
මේෂ, වෘෂභ, කටක රාශියක් දෙවැන්න වී පුරපස චන්ද්‍රයා උපතේදී එහි වීනම් මිල මුදල් විශාල ලෙස අතට ලැබේ. අවපසනම් වහා වැය වේ. බුධ 2 වැන්නේද යහපත් ආර්ථිකමය ලැබීම්වලට සුබයි. 2 වැන්න මිථුන හෝ කන්‍යාව වීම වඩාත් සුබයි.
රවි සමඟ යෝග වූ බුධ 2 වැන්න වූ මිථුන කන්‍යා හෝ සිංහ රැසක සිටීමෙන් ප්‍රකාශන අංශයෙන් පුවත් කලාවට ප්‍රචාරණ කලාව මුද්‍රිත සහ විද්‍යුත් අංශයේ විශාල දියුණුවක් ලැබේ. මුදල් වහා වර්ධනය වන්නේය. ගුරු 2 වැන්නේ මිල මුදල් ලැබෙන ක්‍රමයක් පෑදේ. පාරම්පරික දේපළද හිමි වේ. දෙවැන්න කටක, ධනු, මීනවලින් එකක්නම් මුදල් වහා ලැබේ. 2 වැන්නා මකරය නීච ගුරු ධනය අහිමි කරයි. ශුක්‍ර දෙවැන්නේ වෘෂභ, තුලා, මීන හිමියන්ට යහපත් ආර්ථිකයක් ගොඩනඟා දේවි. ශනි 2 වැන්නේ තුලා, මකර, කුම්භ රැසක් දෙවැන්නට වැටී එහි තැන්පත් ශනි මිල මුදල් ලබා දේවි. ඛනිජ සම්පත්, යකඩ, තෙල්, ගල් අඟුරු, කෘෂිකර්මයෙන්ද සම්පත් ලැබේ. ධනය ලැබේ. මේෂ 2 වැන්න වී ශනි සිටීනම් අපේක්ෂා කඩවේ. මුදල් හානිවේ.
2 වැන්නේ යහපත්ව රාහු සිටීනම් මස්, මාළු, මත්පැන්, සම් වර්ග බිත්තර වැනි අංශවලින් විශාල ලෙස මුදල් උපයයි. හදිසි ධන ලාභයන්ටද හිමිකම් ලැබේ. 9 අධිපතියා 6, 8, 12 තැනක නම් ජන්මියාට මුදල් කටයුතුවලදී එතරම් ශුභ නැත. වාසනාව ගිලිහී යයි. ගුරු 11 වැන්නේ ප්රබලව පිහිටීමෙන් විශාල ලෙස මුදල් ලැබේ. බුධ 11 වැන්න මිථුන හෝ කන්‍යාවේ නම් වාණිජ කටයුතුවලින් විශාල ලෙස මුදල් උපයයි. කටක, ධනු, මීන රාශිවලින් එකක් වී 11 වැන්න වීනම් ගුරු සිටීම නිසා ධනවත් වේ. මුදල් ලැබේ. ශුක්‍ර 11 බලවත්ව ඇත්නම් කලා කටයුතුවලින් සම්පත් අත්පත් වේ. සිනමා ශාලා, චිත්‍රපට නිෂ්පාදන, වේදිකා ප්‍රසංග, ගීත ප්‍රසංග සහ ප්‍රකාශන මාධ්‍ය හරහා ධනවත් වේ.
මකර හෝ කුම්භය වී 11 වැන්නේනම් විශාල ධනයක් ලැබේ. විවිධ කර්මාන්තවලින් 11 වැන්න මේෂය වී ශනි සිටීම නිසා මිල මුදල් ලැබීමක් නොමැත. රාහු 11 වැන්නේ ගුප්ත අන්දමට මුදල් උපයයි. මේෂයේ සිට කන්‍යා දක්වාම රාශි 6න් එකක රාහු වීනම් මිල මුදල් අතට ලැබේ. කේතු 11 වැන්නේ වීම ද වෙනත් බාධක නොමැතිවනම් මිල මුදල් යහමින් අතට ලැබේ. නවය අධිපතියා ලග්නයේනම් බොහෝ මහන්සි වී මුදල් උපයයි. 2වැන්නේ හෝ තුන්වැන්නේ සිටින නවය අධිපතියා ජන්මියා උගත් ධනවත් කෙනෙකු කරයි. 9 අධිපතියා 4 හෝ 10 සිටීනම් යහපත් ගතිගුණ ඇති ඉසුරුමත් ධනවත් අයෙකු කරයි. 4, 7 හෝ 9 අධිපතියා තැන්පත් වීනම් ධනවතෙකු වීමේ වරම් හිමි වේ. ජනප්‍රිය අයෙකු ද වේ.
5 වැන්නේ හෝ 11 වැන්නේ සිටි 9 අධිපතියා ජන්මියාට ජනප්‍රියත්වයක් ප්‍රසිද්ධියක් ධනයක් වාසනාවක් හිමිකර දෙනු ඇත.
නවය අධිපතියා 6, 8 හෝ 12 යන තැනක සිටියහොත් මුදල් මෙන්ම දෛනික වැඩ කටයුතුවලදී ගැටළු කාරී තත්ත්වයක් උදාකරනු ඇත.
පුරපස සඳු 9 වැන්නේ නම් භාග්‍යය උදා කර දෙනු ඇත. මෙහිදී 9 වැන්න කටක හෝ වෘෂභ නම් වඩාත් සුබදායක වේ. බුධ, ගුරු, ශුක්‍ර 9 වැන්නට ඉතාම සුබයි. වාසනාව ළඟාකර දෙනු ඇත. පුද්ගලයෙකු ධනවත් වන ග්‍රහ පිහිටීම් කේන්ද්‍රයක උපතින්ම සනිටුහන් වන්නේ පූර්ව කර්මානුරූපීවය. ධන වාසනාව ලැබීමේ ග්‍රහ තොරතුරු විශාල සංඛ්‍යාවක් ජ්‍යොතිෂයේ දැක්වේ. මෙය අල්ප මාත්‍රයක් පමණි.
ප්‍රවීණ ජ්‍යොතිර්වේදී ටී. හෙන්රි බෙම්මුල්ල