ධනය- ජයග්‍රහණය හිමි කරවන කූඩැල්ලෝ | සිළුමිණ

ධනය- ජයග්‍රහණය හිමි කරවන කූඩැල්ලෝ

 

කුරුල්ලන්ට හෝ මාළුන්ට කෑම දෙනවා දුටුවොත් වස්තුව සහ ධනය ලැබේවි

සිරිලක පහළ වූ අද්විතීය රණශූරයෙක් ලෙස අවිවාදයෙන් පිළිගැනෙන සීතාවක රාජසිංහ රජතුමා කිසිවෙකුගේ බහට අවනත නොවන හිතුවක්කාර පාලකයෙකි. රණසිංහ නම් උප සෙන්පතිවරයෙක් බළන්ගොඩ මුරපොළ බාරව රාජසිංහ රජතුමාට පක්ෂපාතව කටයුතු කළේය. එහෙත් රණසිංහ කෙරෙහි ඊර්ෂ්‍යා කළ සතුරෝ ඔහු ගැන රජුට බොරු කේළාම් කීහ. ඒවා පිළිගත් රජතුමා රණසිංහ ගෙන්වා සිරගත කොට පසු දිනයේ හිස ගසා දමන ලෙස නියෝග කළේය.

මේ අවනඩුවෙන් තම සොහොයුරාට නිදහස ඉල්ලා රණසිංහගේ සොහොයුරා පත්තිනි මෑණියන්ට කන්නලව් කළේය.

එදින රැයේ රක්ත වර්ණ සාරියකින් සැරසුණු කාන්තාවක් තමන්ගේ සිරියහන් ගබඩාවට පිවිසෙන අයුරු රජතුමා සිහිනෙන් දුටුවේය. සැණෙකින් ඇය රජු සැතපී සිටියදීම සිරියහන ඔසවා පොළොවේ ගැසුවාය. අනතුරුව කෝපයෙන් යුතුව රජු දෙස බලා “රණසිංහ නිවැරැදියි... ඌව නිදහස් කරපන්“ යනුවෙන් නියෝග කළාය.

එදින රැයේ සිහිනෙන් දර්ශනය වූයේ පත්තිනි මෑණියන් බව වටහා ගත් රජතුමා රණසිංහ සෙනෙවි නිදහස් කොට පත්තිනි මෑණියන් වෙනුවෙන් කබුළුමුල්ලේ දේවාලයක් ඉදිකරවා එහි නඩත්තුවට ගම් පවරා එදින රෑ තමා සැතපුණු යහනේ බාපතද පූජා කළේය. එසේ ඔබ අප දකින සිහින පිළිබඳව ජ්‍යොතිෂයෙහි සඳහන් වන්නේ මෙලෙසිනි.

1. කුරුල්ලන්ට හෝ මාළුන්ට ආහාර දීම - වස්තුව සහ ධනය ලැබේ.

2. කුඹුරක ගොයම් කපන අයුරු- තමාගේ සමීප ඥාතියකු හට බලවත් විපතක්

3. කුඹුරක වී කරල් එකතු කිරීම - බලාපොරොත්තු නොවූ අධික වියදමක් දරන්නට සිදු වේ.

4. කුකුළා - අමනාප වී හැරගියවුන් යළිත් තමා වෙත පැමිණෙති.

5. කුඩය - හොඳ කලදසාවක් ලබයි.

6. කුඹුරක් මැද මඩ තවරාගෙන සිටින අයුරු - බලාපොරොත්තු නොවූ ලෙස දුර බැහැර ගමනක යෙදෙන්නට සිදු වේ.

7. කුරුණිය - තම නොකළ වරදකට අපවාද අසන්නටත්, ඇතැම් විට වැරදිකරු වීමටත් ඉඩ තිබේ.

8. කුදු පුද්ගලයෙක් - තමන් කරන කියන දේවල් සඳහා අන් අය කැමැත්තෙන්ම උපකාර කරති.

9. කූඩැල්ලන් - ධනය ද ජයග්‍රහණයන් ද හිමි වේ.

10. කෙවිලිය/ කොවුල් ධේනුව - විවාහ අපේක්ෂකයකු විසින් සිහිනයෙන් දක්නා ලද්දේ නම් යහපත් බිරියක් හිමි වේ.

11. කෙවිටක් හෝ වේවැලක් - දරුවකුගේ ක්‍රියා කලාපය නිසා තමාට අන්‍යයන් වෙතින් අපවාදවලට ලක්වන්නට සිදු වේ.

12. කොඩියක්/ කොඩි ගසක්/ කොඩි වැලක් - විඳිනවාට වඩා සැප සම්පත් ඒකාන්තයෙන්ම ලබන්නට පුළුවන.

13. කොල්ලු (බීජ වර්ගයක්) - අතක හෝ පයක නහර සම්බන්ධ රෝගී තත්ත්වයක් මතු වේ.

14. කොටළුවා - තියුණු ආයුධවලින් සිදුවන කැපීම්, කෙටීම් ආදිය නිසා බරපතළ තුවාල සිදු වේ.

15. කොටළුවකු පහරදීම පිණිස හඹා ඒම - තදබල ලෙස රෝගී වීමට නියමිතය.

16. කොටහළු මංගල්‍යයක් - සිතට බලවත් දුකක් ඇති වන මරණයක් ගැන අසන්නට ලැබේ.

17. කොස් කපනු දැකීම - සිතට බලවත් දුක් උපදවන අවස්ථාවක් එළඹේ.

18. කොටියකු ගොරවමින් සිටීම - සොර සතුරන් වෙතින් කරදරයක් සිදු වේ.

19. කොරහක දමා යමක් සේදීම - සතුරු වී සිටියවුන් යළි මිතුරු වේ.

20. ක්‍රීඩා කරන අන්දම - තමාට වාසිදායක ආරංචියක් ඉතාම ඉක්මනින් අසන්නට ලැබෙනු ඇත.

21. ගලන ගංගාව - හදිසියේ හමුවන පිරිසකගේ සිත් දිනා ගන්නට ලැබේ. ඒ සිත් දිනා ගැනීම ජීවිත කාලයටම බල පවත්වයි.

22. ගව රැළක් - යහපත් සිහිනයකි. වස්තු ලාබ හිමි වන බවට පෙර නිමිත්තකි.

23. ගසකට නැඟීම - තමා සිටින තත්ත්වයෙන් ඉහළ තත්ත්වයකට පත් වේ.

24. ගල් කුළක් මතින් පහළට පනින අන්දම - දැඩි ලෙස සිත් වේදනා විඳින්නට සිදු වන අයුරින් බලාපොරොත්තු සුන් වේ.

25. ගල් පර්වතයක් මතට නැඟීම - හදිසි ධන ලාභයකට හේතු වේ.

26. ගං තෙරක සිටියදී නෙලුම් පතක තබා ගත් කිරිබත් අනුභවය - නිසැකයෙන්ම රජ පදවියට පත් වේ.

27. ගසක් කඳ මැදින් කඩා වැටීම - තමාගේ සමීපතම ඥාතියෙක් /ඥාතිවරියක් බලවත් විපතකට පත් වේ.

28. ගල් වැස්සක් - බලවත් අසුබ සිහිනයකි. යමකුගේ අකල් වියෝවක් හේතුවෙන් දැඩි ලෙස කම්පාවට පත් වන්නට සිදු වේ.

29. ගරා වැටුණු ගෙයක් - තම වහලයට සිදු වන සිදුවීමකින් දැඩි ශෝකයක් උපදී.

30. ගසක් මුලින් කපා බිම හෙළීම - තමාට පමණක් නොව මුළු පවුලටම විපත් සිදු වන කාලයක් උදා වේ.

31. ගංවතුරට හසු වී ගසාගෙන යාම - ළඟින්ම ඇසුරු කරන්නන් අතර මතභේද ඇති වේ.

32. ගසක අත්තක් මත කොළ පැහැති කටුස්සකු සිටින අයුරු - විශාල වංචාවකට හසුවීමට නියමිතය.

33. ගසක සිටින රිලවකු තමා දෙස බලා සිටීම - දැඩි ලෙස මානසිකව පීඩා විඳින්නට සිදු වේ.

34. ගවයෙක් ගෙතුළට වැදී පිදුරු හෝ වියළි තණ බුදින අයුරු - ගෙයි වහලය යටදීම සිදු වන නොනිසි සබඳතාවක් නිසා මහත් වූ විපතක් සිදු වේ.

 

ප්‍රවීණ ජ්‍යොතිර්වේදී සුදත් රත්නායක

Comments