තෙද බල ඇති ශ්‍රී සුමන සමන් දෙවියෝ | සිළුමිණ

තෙද බල ඇති ශ්‍රී සුමන සමන් දෙවියෝ

 

ශ්‍රී සුමන සමන් දෙවියන්ට නිවැරදිව පුද පූජා තබන හැටි

සමනල ගිරි මුදුනට ශ්‍රී පාදස්ථානයට රත්නපුර මහ සමන් දේවාලය ඇතුළු සිද්ධස්ථානවලට සමන් දෙවිඳු බැල්ම හෙළයි

 

ජ්‍යොතිර් විද්‍යා විශාරද කේ. එස්. එස්. යෝදින්ගේ

අපි සුමන සමන් දෙවියෝ ගැන අසා ඇත්තෙමු. උන්වහන්සේගේ පුරා වෘත්තයන් පිළිබඳව බොහෝ විට නොඇසු නොදන්නා කෙනෙක් නැති තරම්ය. අපේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ ලංකා ගමනේදී බුදුරජුන්ගෙන් දහම් අසා සෝවාන් පලයට පත් බෞද්ධ දෙවි කෙනෙකි. සංසාරයේ දුක නැති කිරීමේ මාර්ගයේ පළමු අවස්ථාවට ප්‍රවිෂ්ට උන්වහන්සේ කෙලෙස් විශ්වසනය කිරීමේ පළමු මාර්ගයට පිවිස මතු සසර ගමනේදී කිසිම අවස්ථාවක සතර අපාගත නොවී ධර්ම මාර්ගයට පිවිස ඇත. ශ්‍රී සුමන සමන් දේව ආත්මයට පසු තවත් ආත්මභාව 6ක් සසර ගමනේ උපදින උන්වහන්සේ උතුම් නිර්වාණය අත්පත් කිරීම සඳහා තවත් පින් මදි නම් එම ආත්මභාව තුළ එය සපුරා ගනු ඇත.

අපගේ භාග්‍යවතුන් වහන්සේගේ උතුම් ශ්‍රී පතුල සුරැකීමෙන් සමනල කඳු මුදුන වාසස්ථානය කර ගනිමින් සුදු ඇතකු වාහනය කර ගනිමින් වැඩ වාසය කරනා උන්වහන්සේ අති පාරිශුද්ධ තේජස් අනුභාවයෙන් යුක්තය. මුළුමනින්ම බුදුවරයෙකු දැක දහම් අසා සෝවාන් පලයට පත් උන්වහන්සේ බෞද්ධ දෙවි කෙනෙකු වශයෙන් ප්‍රචලිතය.

සමනල ගිරි මුදුනට ශ්‍රී පාදස්ථානයට රත්නපුර සමන් දේවාලය ඇතුළු සිද්ධස්ථානවලට බැල්ම හෙළමින් ජනී ජනයාගේ දුකට පිහිට වෙමින්, ආරක්ෂා කරමින් දේවත්වයෙන් සැරිසරනා අපේ ශ්‍රී සුමන සමන් දෙවියන්ගෙන් නිසැක පිහිට ආධාරය ලබා ගැනීමේ නිවැරදි ක්‍රමවේදය අපි දැන ගනිමු.

උන්වහන්සේ නිවෙස්වලදී ඇදහීම වරදක් නැත. උන්වහන්සේට සිදු කරනු ලබන සියලු පුද පූජා සත්කාර ඉතා පිරිසිදුව මහත් ගෞරවයෙන් යුතුව සිදු කළ යුතුය. සාමාන්‍යයෙන් අප බුද්ධ ප්‍රතිමාවට මඳක් පහළින් දේව ප්‍රතිමා තැබීම සිරිතකි. දෙවියන් බඹුන් මිනිසුන් සහිත ලෝකයෙහි අතිඋත්තම එකම ශෘස්තෘවරයාණන් වහන්සේ වන්නේ බුදුරජාණන් වහන්සේය.

උන්වහන්සේට සම කළ හැකි වස්තුවක් හෝ පුද්ගලයකු ජීවී අජීවී වශයෙන් තුන් ලෝකයේම නැත. එම ගෞරවය දැක්වීම සඳහා බුද්ධ ප්‍රතිමා හා සමානව දේව ප්‍රතිමා තබා වන්දනාමාන නොකළ යුතුය. එම නිසාම වෙනම හෝ ඊට මඳක් පහළින් දේව ප්‍රතිමා තැබීම සුදුසුය. එසේ සමන් දේව ප්‍රතිමාවක් හෝ රූපයක් තබා ඔබට පහසු ආකාරයෙන් නිවස තුළම උන්වහන්සේට පූජා පැවැත්වීම වරදක් නැත. ඉතා පිරිසිදුව සකස් කරගන්නා ලද දේව මණ්ඩපයේ උන්වහන්සේගේ පිළිරුව තැන්පත් කර සුදු නෙලුම්, සමන්පිච්ච, අරලිය වැනි සුදු මල් මණ්ඩපය පුරා අතුරා පිරවූ පැන් බඳුනක් තබා බුලත් කොළයක් මත නැවුම් මැටි පහනක් තබා එළඟි තෙල්වලින් දල්වා සුවඳ දුම් දී සුවඳ කූරු, කපුරු දල්වා මුලින්ම පන්සිල් ගෙන තුණුරුවන් වන්දනාමාන කරන්න.

අනතුරුව ඉතා පිරිසිදු සිතින් යුතුව පහත සඳහන් ආරාධනාව එක්වර කියවන්න. උන්වහන්සේ සැණෙකින් දේව මණ්ඩපයට බැල්ම හෙළනු ඇත. මෙය දීර්ඝ කාලීනව පුරුද්දක් වශයෙන් සිදු කිරීමෙන් ලැබෙන ප්‍රතිඵල අනුව ඔබ පුදුමයට පත්වනු නිසැකය.

සුමන සමන් දේව ආරාධනාව

ශ්‍රී මුනින්දා පාද පද්ම සංරක්ෂණ නීතසං

ශ්‍රී සමන්ත භූඨා වාස ශුභ වර්ණ දේහං

ශ්‍රී ලංකා රක්ඛදේව ශාසනේ පකාරං

ශ්‍රී සමන්ත දේව රාජා ආසන ප්‍රවිශ්ටං

ශුභ වර්ණාභි දේවේන

දිව්‍ය බරණ භුෂිතම්

කඤජර වාහනං වෛව

සුමන දේවෝ නමෝ වරං

 

ශ්‍රී ලංකාම්භර පාතු භාත්‍ර සදෟසං

තෙජඃ පුතාපාන් විතඃ

නානා වෛරි ඝණාන්ධකාර පුචතං

ආදිත්‍ය බිම්මෝ පමඃ

සර්ව ස්ත්‍රෝත්‍ර ගුණාකරං සුරවරං

දසග්‍රාංගජෝ වාහනං

ශ්‍රීමත් සුමන සුරේන්ද්‍ර දේව රාජ පුවර

කුර්වන්තෙතේ මංගලම්

 

ශ්‍රී පද්ම හස්ත ගජ වාහන කාන්ත නේත්‍ර

සම්බුද්ධ පාද පරිපාලන ශාක්‍ය භන්ත

සෞමත්‍ය වාස බවලාබ සමන්ත භද්‍ර

ත්වං මාං දයර්ද්‍ර භෟදයං ස්මනාභිදේව

 

ඉහත දේව ආරාධනාව එක්වර කියා ඔබගේ දැවෙන ප්‍රශ්නයට නිසි ලෙස විසඳුම් ලබා දෙන ලෙස උන්වහන්සේගෙන් ඉල්ලා සිටින්න.

ඔබ පිනට දහමට පින් කැමැති අයෙක් නම් සර්ව සමාජය තුළ දැහැමි පිළිවෙතක් රකින්නේ නම් ඔබගේ දිවි මඟට සුමන සමන් දෙවිඳුන්ගෙන් ඒකාන්ත පිහිට ආධාරය ලැබෙනවාමය. එක් උදාහරණයක් මෙහි දක්වනු කැමැත්තෙමි. ඔබට උන්වහන්සේගේ අනුහස් බව අත්හදා බැලීමට අවශ්‍ය නම් ඔබට දැරිය හැකි වියදමක් හිතේ දරාගෙන වෙහෙර විහාරස්ථානයක බුද්ධ ප්‍රතිමාවක්, දේව මන්දිරයක්, චෛත්‍යයක් ආදී කුසල් වැඩෙන පින්කමක් ගැන සිතා උන්වහන්සේ වන්දනාමාන කරන්න. ඔබට උන්වහන්සේගේ උපකාරයෙන් එය අනිවාර්යෙන්ම සිදු කිරීම සඳහා මූල්‍ය අවශ්‍යතා ලැබෙනවාමයි. ඒකාන්තයි සත්‍යයි. අවංක සිතින් යුතුව උන්වහන්සේ වන්දනා කරන්න. එවැනි පින්කම් තුළින් තමන්ගේ සසර පවා යටපත් වී පින ඉස්මතු වේ. ඉස්මතු වන පින තුළින් ඔබ සිතන පතන ප්‍රාර්ථනා මුදුන්පත් වී ජයග්‍රහණය ලැබී ජීවිතයට වසන්තය උදාවේ.

සුමන ශ්‍රී සමන් දෙවිඳුට කන්නලව්ව

පස්වාහන් දහසකට අවසර සෝවාන් පලය පිහිටුවාගෙන යහතින් වැඩ සිටින සුමන සමන් දේව උත්තමයාණෙනි, ශ්‍රීපාද පද්මයට රන් මාලිගා සත් පව්වට ආකාශ ගව්වට

මහ ගිරිදඹේට ඇලි ඇත් වාහනේට බදන සමනලට දිවා ගුහාවට සබරගම්මේ හිම මාලිගාවට දැරණියගලට නිවිතිගලට එල්ලක්කලට උණවටුනට යහතින් බැල්ම හෙළන ඔබ වහන්සේ යමුනා අචිරවතී සරබු මහා ගංගා විල් තටාක හිමාල වනයට බැල්ම වුවා සත්‍යවාදී සැබෑ නම් ඔබ වහන්සේට මම මේ කරනා කන්නලව්ව බුදුම කරුණාවෙන් කරුණාවට ගන්නයි පිනට පිහිට වන්නයි පින් ලබන්නයි (ඔබගේ කාරණාව) මතු බුදු වන්නයි පස්වාහන් දහසකට ආයු බෝ වේවා...

ඔබගේ කාරණාව ඉතා පැහැදිලිව කියා පහත ආකාරයට උන්වහන්සේට නිවැරදිව පින් දෙන්න.

 

පින් දීමේ ගාථාව

සම්බුද්ධ පාද වරලංජන සෝභිතස්මිං

වාසෝ සමන්ත ගිරිමුද්ධනී දේව රාජා

පුඤ්ඤානුමෝදිය ඉදං සුමනාභිධානෝ

පාලේතු මං සතත සාත සුචාවහන්තෝ

 

අනතුරුව අර්ථය මෙනෙහි කරන්න

සම්බුද්ධ වූ සර්වඥයාණන් වහන්සේගේ පාද ලකුණෙන් හෙබි සමනොළ ගිරි මුදුනෙහි වාසය කරන්නා වු ශ්‍රී සුමන සමන් දිව්‍ය රාජයාණන් වහන්ස මා රකිමින් සැප පලවමින් මේ පින් ලබා මා වෙත පිහිට වේවා. ඔබ නිවසේ උන්වහන්සේට පූජා සත්කාර කරන්නේ නම් අනිවාර්යෙන්ම විමන්ගත කරන්න.

සුමන සමන් දෙවියෝ විමන් ගත කරවීම

උතුම් සමන් දෙවියනි ඔබ වඩින කොට

රටක් විතර ඇති මගේ හද මඬල යට

මටත් බලන්නට දෙව්සිරි දෙනෙත් පිට

මේ පිං පඬුරු ලැබ වඩිනුයේ විමානෙට

Comments