
ජීවිතයේ මුල් කාලය අභියෝගවලින් ගහනයි
කුකුල් කේන්තිකාරයෝ මිනිසුන් අතර ප්‍රියමනාප අය
නමේ මුල් අකුරෙන් කියවෙන ඔබේ චරිතය පිළිබඳ ලිපි මාලාවේ තවත් අකුරක් පිළිබඳව කතා කරන්නටයි මේ සූදානම. මෙම ලිපියෙන් ඉංග්‍රීසි භාෂාවේ V අකුරෙන් නම පටන් ගන්නා අයගේ චරිත ස්වභාවය පිළිබඳව විස්තර කරන අතර මෙයට පෙර ලිපිවලින් A අකුරේ සිට U අකුර දක්වා විස්තර පැහැදිලි කරන ලදී.
මෙහිදී ඔබ මතක තබා ගත යුතු කරුණක් වන්නේ V අකුර මුලට යෙදී නමක් පටන් ගන්නවා සේම ඒ නම ඔබ නිතර භාවිත කරන නමක් බවට පත්වීම තුළ මේ කියන කාරණාවන් වඩාත් ඔබ තුළින් ඉස්මතු වන බවයි. ඔබට V අකුරින් පටන් ගන්න නමක් තිබුණත් එය භාවිත නොකරන්නේනම් එහි බලපෑම අවම වෙයි.
ඉතින් ඔබත් ඉංග්‍රීසි භාෂාවේ V අකුරෙන් පටන් ගන්න නමක් භාවිත කරන කෙනෙක්නම් බලන්න මේ කියන කාරණාවන් ඔබේ ජීවිතයට කෙතරම් සමීපද කියා.
බොහෝ විට V අකුර හිමියන්ගේ ජීවිතයේ මුල් කාල වකවානුව විවිධ දුෂ්කරතා මෙන්ම අභියෝගවලින් ගහන කාල පරිච්ඡේදයක් ලෙස දැක්විය හැකිය. මේ අකුරින් නම පටන් ගන්න යම් කෙනෙක් සාර්ථකත්වයට පත්ව සිටීනම් ඔවුන් මුල්ම තැනින් පටන් ගත් උදවියයි. ඒ නිසාම මොවුන්ට ජීවිතය පිළිබඳ ඉතා හොඳ අත්දැකීම් සමුදායක් ඇත. ජීවිතයේ තමන්ට වැරදුණු තැන්වලින් පාඩමක් ඉගෙන ගෙන අනාගතය පිළිබඳ තීන්දු තීරණ ගැනීම මොවුන්ගේ ස්වභාවයයි.
V අකුරෙන් නම පටන්ගන්නා උදවිය කිසිවෙකුටත් යටහත් පහත් වීමට කැමති පුද්ගලයන් නොවේ. තරමක් අහංකාර ස්වභාවයක් චරිතය තුළින් දැකිය හැකිය.
කෙසේ හෝ තමාගේ අරමුණු බලාපොරොත්තු ඉෂ්ට කරගැනීමට දක්ෂ වෙයි. බොහෝ මිනිසුන් අතර ප්‍රියමනාප පුද්ගලයෙක් මෙන්ම ගෞරවනීය පුද්ගලයකු ලෙස ද කටයුතු කරයි. කොහොම වුණත් මොවුන්ට අන්‍යයන්ගේ ගෞරවයටත් ඇගැයීමටත් පාත්‍ර වීමේ භාග්‍යය ඇත.
මොවුන් අන් අයට බලපෑම් කර බලෙන් කිසිවක් ලබා ගන්නා අය නොවේ. සුහදශීලීව සිත් නොරිදෙන ආකාරයෙන් වැඩ ගැනීමට දක්ෂ වෙයි. මොවුන්ගේ ගමනබිමන හැසිරීම තුළ ද යම් විනයක් ශික්ෂණයක් දැකිය හැකි අතර යම් ප්‍රියමනාප භාවයක් ඇත. අන් අයගේ අවධානය නිරන්තරයෙන් බලාපොරොත්තු වෙයි.
සාමාජීය සහ අන් අය සමඟ එකතු වී කරන කටයුතුවල දී නායකත්වය, මූලිකත්වය ගෙන කටයුතු කිරීමට කැමැති වෙයි. අනිත් අයට වඩා තමා තරමක් හෝ ඉදිරියෙන් සිටිය යුතු යැයි නිතර සිතයි.
V අකුර හිමියන් වගකීම් දැරිය හැකි පුද්ගලයන් කොටසක් ලෙසද හඳුන්වන්න පුළුවන්. විශ්වසනීයභාවය ද මේ අය තුළ පවතී. නීති කැඩීමටත් වැරදි වැඩ කිරීමටත්, පවු කිරීමටත් මොවුන් තුළ දැඩි බියක් පවතී.
බොහෝවිට දෙයක් කිරීමට පෙර එහි ප්‍රතිඵලය ගැන සිතන ගතියක් පවතී. අන් අයට තම අදහස් තර්කානුකූලව ඉදිරිපත් කිරීමේ හැකියාව මොවුන්ට ඇත. පහසුවෙන් කිසිවෙකු සමඟ තරහ වන්නේ නැත.
නමුත් ඉක්මනින් කේන්ති යන ස්වභාවය මොවුන්ට තිබේ. එම දුර්වලතාව මඟ හරවා ගැනීම ඉතා වැදගත් වෙයි. නිතරම සැහැල්ලුවෙන් ජීවත්වීමට කැමති වෙයි. මොවුන්ට වයස අවුරුදු 30න් පසුව පමණ ජීවිතය ස්ථාවර වීමට පටන් ගනී.
කෙසේ වෙතත් මෙම පුද්ගලයන් ඉතා සාර්ථක මෙන්ම වාසනාවන්ත ජීවිත ගත කරන පුද්ගලයන් බව සඳහන් කළ හැකිය.
W අකුර පිළිබඳ ලබන කලාපයෙන් බලාපොරොත්තු වන්න.
ඒ. ජේ. දීපාලෝක (ප්‍රවීණ ජ්‍යොතිර්වේදී සහ පාඨශාලාචාර්ය ඉසිවර සහන ජ්‍යොතිෂ සේවය)