
චිත්ත ශක්තිය - බුද්ධිය - මානසික තත්ත්වය සහ චරිතය ගැනද හෙළි කරයි
මැද ඇඟිල්ල අනෙක් ඇඟිලිවලට වඩා දිග නම් සෑම අතින්ම වාසනාවන්තයි
දෙවැනි පුරුක කුම්භ රාශියට අයත්
මැද ඇඟිල්ලේ වාසනාව ගෙනෙන රේඛා ගැන දැනගන්න
අපේ අතේ ඇඟිලි එකකට එකක් සමාන නොවන්නා සේම එක් එක් පුද්ගලයාට පිහිටන ඇඟිලිවල ස්වභාවය සහ ප්‍රමාණයන් ද විවිධාකාරය. මෙම ඇඟිලිවල ස්වභාවය හා ප්‍රමාණය අනුව ඔවුන්ගේ ජීවන තොරතුරු හෙළි කර ගැනීමට හස්ත රේඛා විද්‍යාව හැදෑරූ අයෙකුට පුළුවන. දැන් අපි බලමු අතේ ඇඟිලි පහ ග්‍රහයන්ට බලපාන්නේ කෙසේද කියා. මේ අයුරින් මහපට ඇඟිල්ල සිකුරු ග්‍රහයාටත් දබරැඟිල්ල ගුරු ග්‍රහයාටත්, මැදඟිල්ල සෙනසුරු ග්‍රහයාටත්, වෙදඟිල්ල රවි ග්‍රහයාටත්, සුළැඟිල්ල බුධ ග්‍රහයාටත් අයත් වෙයි. මේ අතරින් අද ඔබව දැනුවත් කරන්නේ සෙනසුරුගේ බලයට යටත් වන මැද ඇඟිල්ල පිළිබඳවයි.
සෙනසුරුගේ ගුණයන් වන ස්ථානෝචිත බව, ඉවසීම, ආත්ම විශ්ලේෂණය යන ලක්ෂණ හා චින්තන ශක්තිය, බුද්ධිය සහ චරිතය ද ඒ මඟින් හෙළි කරයි. එසේම පුද්ගලයා තුළ ඇති ආගම, දහම කෙරෙහි ඇති විශ්වාසය ද මැද ඇඟිල්ල මඟින් හෙළි කර ගත හැකිය.
රූපසටහනේ පරිදි නිය පිහිටා ඇති පුරුක අයත් වන්නේ මකර රාශියටයි. මකර රාශියට හිමි සලකුණ ද එහි පෙන්නුම් කර ඇත. එම පුරුක අනිත් පුරුක් දෙකට වඩා දිගින් වැඩිනම් එම පුද්ගලයා තද මසුරුකමින් යුත් අයෙකු විය හැකිය.
මැද ඇඟිල්ලේ දෙවැනි පුරුක කුම්භ රාශියට අයත් වෙයි. එය අනිත් පුරුක් දෙකට වඩා දිගින් වැඩි වීම වඩා සුබ පල දෙන පිහිටීමකි.
වගා කටයුතුවලින් මෙන්ම සත්ත්ව පාලන කටයුතුවලින් ද ඔවුනට දියුණු විය හැකිය. එම පුරුකේ මැද කොඩියක සලකුණක් දැකිය හැකි නම් හදිසි ධන ලාභයක් හිමි වීමට හේතු වේ.
තුන්වැනි පුරුක හිමි වන්නේ මීන රාශියටයි. මීන රාශියට හිමි සලකුණත් එහිම දැකිය හැකිය. එම පුරුක අනිත් පුරුක් දෙකටම වඩා දිගින් වැඩි නම් එම පුද්ගලයා අන් අය ගැනම සිතා කටයුතු කරන කෙනෙක් විය හැකිය. ඔවුන්ට කවදා හෝ දුෂ්කරතාවන්ට මුහුණ දීමට සිදු වන්නේත් දුර්ගුණ පුද්ගලයන්ට පිහිට වීමට යාම නිසාමයි.
මැද ඇඟිල්ල අනිත් ඇඟිලිවලට වඩා දිගින් වැඩි වීම හැම අතින්ම වාසනාවන්ත පිහිටීමකි. කිසිම දෙයකින් හිඟ පාඩුවක් නොමැති පින්වන්තයෙක් හෝ පින්වන්තියක් ඒ මඟින් පෙන්නුම් කරයි. මැද ඇඟිල්ල අනිත් ඇඟිලිවලට වඩා කොටනම් එම පුද්ගලයා මිනීමරුවෙක් වීමට බොහෝ විට ඉඩ ඇත. මැද ඇඟිල්ල වකුටු වී හෝ විකෘති වී ඇත්නම් ඔහුට හෝ ඇයට මානසික රෝග වැලඳිය හැකිය.
කුමන ක්‍රමයකින් හෝ මුදල් උපයාගන්න උනන්දු වන අයගේ මැද ඇඟිල්ලයි වෙද ඇඟිල්ලයි දෙකම සමාන උසකින් පිහිටා තිබෙනු දැකිය හැකිය. අසාධාරණ ලෙස මුදල් උපයා ගන්නා කළුකඩ වෙෙළඳුන්ගේ මැද ඇඟිලිවල එවැනි පිහිටීම් තිබෙන බව පර්යේෂණවලින් ඔප්පු වී ඇත. රහස් වැඩවලින් ධනවත් වන අයගේ මැද ඇඟිල්ලේ තුඩු හීනියට පිහිටීමද සුවිශේෂිය.
මත්පැන්, ගංජා විකුණන, හොර සල්ලි අච්චු ගසන නැති නම් ගණිකා මඩම් පවත්වාගෙන යන අයගේ අත්වල එවැනි පිහිටීම් දැකිය හැකිය.
මැද ඇඟිල්ලේ තුඩු හතරැස් හැඩයෙන් යුක්ත වීම හොඳ තත්ත්වයකි. තම ආත්ම ශක්තිය විහිදුවා තීරණ ගැනීමේ උපන් හපන්කම් ඇති ඔවුන් ඍජු ප්‍රතිපත්ති ඇති අය වේ. ඉහවහා ගිය දේව භක්තියෙන් යුක්ත අයගේ මැද ඇඟිල්ල දබර ඇඟිල්ල පැත්තට බොහෝ විට බර වී ඇත. කාගේ හෝ අතක මැද ඇඟිල්ල වෙද ඇඟිල්ල පැත්තට ඇද ගසා ඇත්නම් එම පුද්ගලයා නීරෝගි පුද්ගලයෙකු වශයෙන් හඳුන්වා දිය හැකිය.
මැද ඇඟිල්ලේ පුරුක් තුනම සම්බන්ධ වන සේ රේඛා එකක් හෝ කීපයක් දික් අතට (පහළ සිට උඩට) විහිදී තිබීම කලාතුරකින් දකින්නට ලැබෙන ඉතාමත් වාසනාවන්ත පිහිටීමකි. එවැනි පිහිටීම් ඇති අයට පුෂ්පරාග, පද්මරාග, රතු කැට, නිල් කැට, වෛරෝඩි ආදී ඉතාමත් වටිනා මැණික් ලැබීමේ වාසනාව හිමි වන බව සාමුද්‍රික ශාස්ත්‍රයේ සඳහන්ය.
එමෙන්ම ඔවුන් හට උසස් ප්‍රභූවරුන්ගේ ගරු බුහුමන් ලබන්නට ද හේතු වේ. එසේම මැදඟිල්ලේ දෙවැනි පුරුක මැද වක් වූ රේඛා සමූහයක් ඇත්නම් එය අසුබයි. අභාග්‍ය සම්පන්න අනාගතයක් ඉදිරියේදී උදාවන බවට එය සලකුණක් වේ.
යම් කාන්තාවකගේ මැද ඇඟිල්ලේ මුල පුරුකේ කතිර ලකුණක් පිහිටියේ නම් ඇයට ‘අම්මා‘ කියන උතුම් මවු පදවිය හිමි නොවේ. එමෙන්ම එම පුරුකේ තරු ලකුණක පිහිටීම අභාග්‍යවත් අවාසනාවන්ත සිදුවීමක් ප්‍රකට කරයි. අතේ ඇඟිලි දිග හැරිය විට මැදඟිල්ලත්, දබරඟිල්ලත් අතර පරතරයක් ඇත්නම් ඔහු හෝ ඇය සාමාන්‍ය සිරිත් විරිත් නොසලකන පැරණි සිරිත්වලට ගරු කරන්නෙක් වන අතර, නිදහස් මතධාරියෙක් ද වේ.
ලබන කලාපයෙන් වෙදඟිල්ල පිළිබඳව තොරතුරු ඉදිරිපත් කෙරේ.
ප්‍රවීණ ජ්‍යොතිර්වේදී
හිඹුටානේ පියතිලක ද අල්විස්