
මස් මාංසවලින් වැළකීමද වැදගත්
විහාරස්ථානයක බෝධියකට සතියකට වරක් පැන් කළයක් වත් කරන්න
බෝධි පූජා 7ක් පවත්වා බාරහාර වීම අනිවාර්යයි
සිඟන්නන්-ලෙඩුන් - මහලු අයට ඉතා හොඳ කෑම බීම දෙන්න
ඒරාෂ්ටක අපලවලින් බේරීම සඳහා කළ යුතු ශාන්තිකර්ම රැසකි. ඒ ගැන ඉසිවර පාඨක ඔබ දැනුම්වත් කිරීම සඳහා සකස් කරන ලද සුවිශේෂී ලිපියක් ලෙස මෙය සැලකිය හැකිය.
01.බෝධි පූජා 7ක් කර බාර වන්න. නිල් මල්, තල තෙල්, පහන්, නිල් කොඩියක් හෝ කොඩි වැලක්, අගිල්, ගුගුල් හා හඳුන් මිශ්‍ර දුම් පූජා කරන්න. බෝධිය ළඟ තුන් සූත්‍රය කියා මෛත්‍රී භාවනා කොට දෙවියන්ට පින් දී ආරක්ෂාව ඉල්ලා බාර වන්න. තමන් වූ බාරය නොවරදවා නිසි පරිදි ඔප්පු කරන්න. මේ බෝධි පූජාව සෙනසුරාදා රාත්‍රී 8.00 - 9.00 අතර කිරීමට පටන් ගන්න. අපල කාලය තුළ වරින්වර කරන්න.
02. තල, තල තෙල්, උඳු, කොල්ලු, පොල්, නිල්වන් රෙදි අසරණයන්ට පිනට දෙන්න. මේවා වරින් වර කරන්න.
03. සිඟන්නන්ට, ලෙඩුන්ට, මහලු අයට, අඳගොළු බිහිරි අයට, සිල් ඇත්තන්ට පිරිසිදු ඉතා හොඳ කෑමබීම දෙන්න. අපලවලට පිහිටවන අතිවිශිෂ්ට පූජාව මෙය බව සලකන්න. අපල කාලය තුළ මෙය වරින් වර කරන්න. ආබාධිතයන්ට ද ගැබිනි මවුන්ටද උදවු කරන්න.
04. දෙමවුපියන්ට, වැඩිහිටියන්ට, සිල් ඇත්තන්ට උපස්ථාන කරන්න. මෙය ඉතාම ආදරයෙන් භක්තියෙන් කළ යුතුය.
05. බණ ඇසීම, සිල් රැකීම, දහම් පඬුරු පූජා කිරීම සහ භාවනා කරන අතරම මස් කෑමෙන් වැළකීමෙන් ධාර්මික ජීවිතයක් ගත කළ යුතුයි.
06. විහාරස්ථානයක ඇති බෝධීන් වහන්සේ නමකට සතියකට වරක් හෝ දෙවරක් පැන් කළයක් දෙකක් වත් කරන්න.
07. පස්ලෝ මිශ්‍ර මුද්දක් හෝ සුදු යකඩ මුද්දක් සාදවා ඇඟිල්ලේ ගෑවෙන අන්දමට එහි කාක නිල් අල්ලවාගෙන නියමිත ස්තෝත්‍රවලින් ජපකොට සුබ නැකතකින් පැලඳ ගන්න.
08. ශනි මෘත්‍යුංජය, නීල මණ්ඩලය, විෂ්ණු පඤ්ජරය, කවනාථය යන මින් යන්ත්‍රයක් 1008 වාරයක් ජප කරවා පැලඳ ගන්න.
09. මරණයට කැපවූ, ගවයෙකු මරණින් මුදාගෙන නොමරා හදාගන්නා කෙනෙකුට පිනට දී බෝධි පූජා කොට එම පින් දෙවියන්ට අනුමෝදන් කර තම සුවසෙත පතන්න. මෙම පූජාවේ වටිනාකම කියා නිම කළ නොහැකිය.
10. කපුටන්ට ගිතෙල් මුසු කිරිබත් සෙනසුරාදා උදේ 6 - 7 අතර දින 8ක් දෙන්න. මෙයද වරින් වර කළ යුතුය.
11. සෙනසුරු රූපයක් බුදුරජාණන් වහන්සේට වඳින තැන තබා හඳුන්කූරු සහ තලතෙල් පහනක් දල්වා පහත සඳහන් ස්තෝත්‍රය දිනකට 21 වාරයක් කියන්න. පිරිසිදු වී මහත් භක්තියෙන් මෙය කළ යුතුය.
නිලංජන සමාහසං -
රවී පුත්‍රං යමාග්‍රජං
ඡායා මර්තාණ්ඩ සමි භූතං තං -
නමාමි ශනෛශ්චරම්
12. පහත සඳහන් ඖෂධ වර්ග සම ප්‍රමාණයෙන් ගෙන නැවුම් කළයකට දමා උණු කොට කකාරවා නිවා ස්නානය කරන්න. මෙය වරින් වර සෙනසුරාදා 7ක් වත් කළහොත් යහපති.
බැවිල, විෂ්ණුක්‍රාන්ති, රසකිඳ, කළු තල, විලඳ, ජටාමාංශ, කලාඳුරු, සතකුප්ප උණු කරවා ගත් වතුරින් නාන්න. ඇඟේපතේ ඇති අසනීපවලට සහනයක් මින් ලැබේ.
තදබල අපල කාලවලදී මෙම ශාන්තිකර්ම කිරීම සඳහා වියහියදම් නොකිරීම හා ධාර්මික ලෙස කටයුතු නොකිරීම නිසා සොර සතුරු කරදර නින්දා අපහාස ලෙඩදුක් හදිසි අනතුරුවලට මුහුණ දීමට සිදු විය හැකි බව සලකන්න.
එවිට ශාන්තිකර්මවලට යන වියදමට වඩා දහපහළොස් ගුණයකින් වියදම් වැඩි විය හැකි බවත් මහා විපත්තිවලට මුහුණ දීමට සිදු විය හැකි බවත් අමුතුවෙන් කිව යුතු නොවේ.
ප්‍රවීණ ජ්‍යොතිර්වේදී, විශ්‍රාමලත් විදුහල්පති කොස්ගොඩ කේ.ඩී.ආර්.පී. රාජකරුණා