අලුත උපන් දුවට පුතාට අවුරුදු 3 පිරෙන්න කලින් ඉටුකළ යුතු ප්‍රධාන චාරිත්‍ර 6ක් | සිළුමිණ

අලුත උපන් දුවට පුතාට අවුරුදු 3 පිරෙන්න කලින් ඉටුකළ යුතු ප්‍රධාන චාරිත්‍ර 6ක්

 

නම් තැබීම, රන්කිරි කට ගෑම, හිරු දැක්වීම, ආගමික ස්ථානයකට කැඳවාගෙන යාම, හිසකෙස් කැපීම,කන් විදීම, ඉඳුල් කට ගෑම, අකුරු කියවීම ‍ලෙස මූලික  චාරිත්‍ර 08යි

හිරු දැක්වීම ලෙස හඳුන්වන්නේ දරුවා පළමුවරට දොරට වැඩීමයි

අලුත විවාහපත් යුවතිපතියන්ගේ ප්‍රමුඛ බලාපොරොත්තුව විවාහයෙන් පසු කුලුඳුල් සිඟිති දරුවකුගේ දරු සුරතල් බැලීමේ අවස්ථාව උදාවන තෙක්ය. ඒ අනුව දරුවකු ඉපදුණු අවස්ථාවේදී මූලිකවම සිදු කරනු ලබන්නේ එම දරුවා මොලොව එළිය දකින මොහොත පදනම් කරගනිමින් නැගෙනහිර ක්ෂිතිජයේ පායා ඇති ග්‍රහ තාරකා පදනම් කොට ගනිමින් ජන්ම පත්‍රයක් දක්ෂ ජ්‍යොතිෂවේදියෙකු ලවා සාදවා ගැනීමයි. එම දරුවා පූර්ව ආත්ම භාවයෙන් සිදුකර ඇති පවු පින් අපල හා සපල ලෙස එම ජන්ම පත්‍රය හෙවත් හඳහනේ මැනවින් සටහන්ව ඇත.

අලුත උපන් දරුවකු වෙනුවෙන් දරුවාගේ මුල් අවුරුදු 03 ඇතුළත මූලිකව අප චාරිත්‍ර 08ක් ඉටු කරනු ලබන අතර ඒ අතරින් ප්‍රධාන චාරිත්‍ර 06ක් අනිවාර්යයෙන්ම දරුවා වෙනුවෙන් ඉටු කරනු ලබයි. එම මූලික චාරිත්‍ර 08 ලෙස නම් තැබීම, රන්කිරි කට ගෑම, හිරු දැක්වීම, ආගමික ස්ථානයක් වෙත දරුවා කැඳවාගෙන යාම, හිසකෙස් කැපීම, ගැහැනු දරුවන්ගේ කන් විදීම, දරුවාට ඉඳුල් කට ගෑම, අකුරු කියවීම එම චාරිත්‍ර 08 ලෙස අපට දැක්විය හැකිය. මෙහිදී හිරු දැක්වීම ලෙස හඳුන්වනනේ මවු කුසින් මොලොව ජන්ම ලාභය ලැබූ දරුවා පළමුවරට දොරට වැඩීමේ අවස්ථාවයි. දරුවෙකුගේ මතු ජීවිතය සම්පූර්ණයෙන්ම රඳා පවතින්නේ ඔහු හෝ ඇය පිළිබඳව ඒ ඒ අවස්ථාවල අනුගමනය කරනු ලබන නැකැත් පිළිවෙළ අනුවය. ඒ අනුව බත් කැවීමේ නැකතින් දරුවාගේ ශරීර සෞඛ්‍යයත් අකුරු කියවීමේ නැකතින් දරුවාගේ ඥාන ශක්තියත් ඇතිවේ. මෙම කටයුතුවලදී ජ්‍යොතිෂයට හිමි වන්නේ ප්‍රමුඛ ස්ථානයකි. ඒ අනුව මෙහිදී මූලික වන චාරිත්‍ර හයකි. එම චාරිත්‍ර හය නම්,

නිවැරදිව ගණ පිහිටුවා දරුවාට අර්ථවත් නමක් තැබීම

සුබ නැකතට නිවැරදිව ජීවම් කර පංචායුධයක් කර පැලඳීම

සුබ නැකතට මංගල හිස කෙස් රොද කැපීම

ගැහැනු දරුවන්ගේ කන් විදීම

සුබ නැකතට ඉඳුල් කට ගෑම

සුබ නැකතට අකුරු කියවීම

 

1. නිවැරදිව ගණ පිහිටුවා දරුවාට අර්ථවත් නමක් තැබීම

සිඟිති දරුවෙකුට ජන්ම පත්‍රයේ උපන් නැකත අනුව එම නැකතට සීහෙන ලෙස නිවැරදිව ගණ පිහිටුවා අර්ථවත් නමක් තැබිය යුතුය. අලුත උපන් දරුවකුට නමක් තැබීමේදී එය ඉතාමත්ම සුපරික්ෂාකාරීව කළ යුතුය. දරුවා උපන් ජන්ම නැකත පදනම් කොට ගනිමින් නමක් තැබිය යුතුය. එසේ අපහසු අවස්ථාවලදී පමණක් උපන් ලග්නයට හෝ උපන් දිනයට හිමි අක්ෂරයක් ගෙන අර්ථාන්විත නමක් තැබිය යුතුය. නම් තැබීමේදී ගණ පිළිබඳව සැලකිලිමත් වීම ප්‍රධාන සාධකයකි.

2. සුබ නැකතට නිවැරදිව ජීවම් කර පංචායුධයක් කර පැලඳීම

නිවරැදිව ජීවම් කරන ලද පංචායුධයක් දරුවා ඉපදී මාස 03කට පසු දරුවාගේ ගෙලෙහි සුබ නැකතකට අනුව පැලඳිය යුතුය. එමඟින් ඔබගේ සිඟිති දරුවාට ගුප්ත බලවේගවලින් මෙන්ම සියලු දෙයින් පිහිට ආරක්ෂාව ලැබෙනු ඇත.

3. සුබ නැකතට මංගල හිස කෙස් රොද කැපීම

සිඟිති දරුවන්ගේ මුල්ම හිසකෙස් රොද ප්‍රථම වරට කැපීම ‘මංගල හිසකෙස් කැපීම‘ ලෙස හඳුන්වයි. මෙය සුබ නැකතකින්ම කළ යුතුය. එයට හේතු වන්නේ අසුබ වේලාවක කෙස් කැපීමෙන් දරුවාට කරදර ඇතිවේ යැයි මතයක් පුරාණයේ සිටම පැවතීමයි. අසුබ වේලාවක මෙම කටයුත්ත සිදු කිරීම තුළ අනාගතයේ දරුවාට වචන උච්චාරණයේ දුබලතා, ගොත බව, ගොළු බව ඇති වේයැයි විශ්වාසයක් සමාජය තුළ පවතී. මංගල කෙස් රොද කැපීම දරුවා යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් සිටින අවස්ථාවක හිරු අවරට යාමට පෙර සුබ වේලාවක සිදු කළ යුතුය. දරුවාගේ ජන්ම (උපන්) නැකතට ගැළපෙන එසේම නැකැත් වශයෙන් අස්විද, රෙහෙණ, මුවසිරස, පුනාවස, පුෂ, උත්‍රපල්, හත, සිත, සා, සුවණ, දෙනට, සියාවස, රේවතී යන නැකතක් යෙදෙන පංචාංගය සුබ පුර පස සඳුදා, බ්‍රහස්පතින්දා හා සිකුරාදා යන දිනයන් මේ සඳහා යොදා ගැනීම ඉතාමත් සුබදායක වනු ඇත. එසේම ලග්න වශයෙන් වෘෂභ, මිථුන, කටක, කන්‍යා, තුලා, ධනු, මීන යන ලග්නයක් තක්කාල ලග්නය ලෙස උදාව ඇති රාහු කාලයෙන් තොර සුබ හෝරාවක යොදා ගැනීම ඉතාමත් යහපත් වනු ඇත. දරුවාගේ ජන්ම නැකත මේ සඳහා යොදා නොගත යුතුය. සුදු හඳුන්, විලඳ, පිච්ච මල් මිශ්‍ර කරගත් පිරිසිදු දිය ස්වල්පයක් හක් ගෙඩියකට දමා එම හක් ගෙඩිය දරුවාගේ හිස වටා තුන්වරක් කරකවා එහි ඇති වතුර ස්වල්පයක් දරුවාගේ හිස මුදුනට ඉසින්න. ඉන්පසු හිස මුදුනේ සිට හිස කෙස් කැපිය යුතුය. කෙස් රොද කීපයක් කපා එය බැස යන ජලාශයකට දැමිය යුතුය. හිසකෙස් කැපීමෙන් පසු දරුවා නෑවීම යහපත්ය. මෙහිදී පිරිමි දරුවන්ට ඉපදී මාස 3න් හෝ 5 න් ද ගැහැනු දරුවන්ට මාස 2, 4, 8 යන කාල සීමා ද හිසකෙස් කැපීමට සුදුසු වේ.

4. ගැහැනු දරුවන්ගේ කන් විදීම

මෙම චාරිත්‍රය ගැහැනු දරුවනට පමණක් වන අතර ඉතාමත් ම වැදගත් ය. මෙය ලේ වහනයකට සම්බන්ධ නිසා ඉතා කල්පනාකාරීව හා නිවැරදි සුබ නැකතකට ම කළ යුතුය. එය දුබල වුවහොත් දරුවාගේ අනාගත ගෘහ ජීවිතයට බලපාන සමාජය තුළ විශ්වාසයක් ඇත. මේ සඳහා නැකැත් යොදා ගැනීමේදී කනේ විස කලාව නැති දිනයක් තෝරා ගත යුතුය. විස කලාව පවතින විට කන් විදීම සිදු කළ විට කන්වල තුවාල හා කන් පෙති පැසවීම් ඇති වීමේ අවදානමක් පවතිනු ඇත. මේ සඳහා හිරු අවරට යාමට පෙර සුබ වේලාවක් මෙන්ම පංචාංගය සුබ පුර පස සඳුදා, බදාදා, බ්‍රහස්පතින්දා හා සිකුරාදා යන දිනයක් මේ සඳහා යොදා ගැනීම ඉතාමත් සුබ දායක වනු ඇත. කන් විදින තැනැත්තා හෝ තැනැත්තිය මනා වූ දයා කරුණාවෙන් යුත් ඒ සඳහා පළපුරුද්දක් ඇති අයෙකු විය යුතුය.

5. සුබ නැකතට ඉඳුල් කට ගෑම

මෙම චාරිත්‍රය ඈත අතීතයේ සිට ජ්‍යොතිෂයට අනුකූලවම ඉටු කරනු ලබන දෙයකි. මවු කිරෙන්, පලතුරු යුෂෙන් හෝ වෙනත් කිරි වර්ගයකින් පෝෂණය වූ දරුවා අප රටේ ප්‍රධාන ආහාරය වූ බත් හා ව්‍යාංජනයට හුරු වන ප්‍රථම අවස්ථාව ලෙස අපට සුබ නැකතට ඉඳුල් කට ගෑම හඳුන්වා දිය හැකිය.

ඉහත සඳහන් අන් කරුණු සේම මෙහිදීද දරුවාගේ ජන්ම (උපන්) නැකතට ගැළපෙන එසේම නැකැත් වශයෙන් අස්විද, රෙහෙණ, පුනාවස, පුෂ, උත්‍රපල්, උත්‍රසල, උත්‍රපුටුප, හත, සිත, සා, අනුර, සුවණ, දෙනට, සියාවස, රේවතී යන නැකැතක් යෙදෙන පංචාංගය සුබ පුර පස සඳුදා, බදාදා, බ්‍රහස්පතින්දා හා සිකුරාදා යන දිනයක් හා කාල හෝරාවක් මේ සඳහා යොදා ගැනීම ඉතාමත් සුබදායක වනු ඇත. මේ සඳහා හිරු අවරට යාමට පෙර සුබ වේලාවක් මෙන්ම පංචාංගය සුබ පුර පස දිනයක් මේ සඳහා යොදා ගැනීම ඉතාමත් සුබදායක වනු ඇත. මෙහිදී පිරිමි දරුවන්ට ඉපදී මාස 10න් හෝ 12/14 යන ඉරට්ටේ මාසවලද, ගැහැනු ළමයින්ට මාස 9,11, 13 යන ඔත්තේ මාසවල එම කාල සීමා ද යොදා ගත යුතුය.

ජීවිතයේ අත්‍යවශ්‍යම අංගය ආහාරය වන නිසාවෙන් මෙම කටයුත්ත දෙමාපියන් විසින් ඉතාමත් නිවැරදිවම ඉටු කළ යුතුය. නැකතට පෙර බුද්ධ පූජාව තබා දරුවාට අත ගස්සවා බුදුන් වැඳිය යුතුය. ඒ සඳහා නිවැරදි වත්පිළිවෙත් අනුගමන කිරීම බෙහෙවින්ම සුබ දායක වනු ඇත.

දරුවා නීරෝගිව සිටින අවස්ථාවක් මේ සඳහා යොදා ගත යුතුය. පිරිසිදු ඇතිරිල්ලක් නිවසේ මැද බිම එළා ඒ මත සියලු ආහාර ස්වල්පය බැගින් වෙන වෙනම තබන්න. කිරිබත්, කැවිලි වර්ග, කෙසෙල් හා වෙනත් පලතුරු වර්ග, රෙදිපිළි, රන් රිදී, ළමා පින්තූර, සෙල්ලම් බඩු ද එම ඇතිරිල්ල වටේ තබා නැකතට විනාඩියකට පෙර දරුවා ඒ මත තබන්න. දරුවා යමක් රැගෙන කටේ තබා ගත හොත් එය සුදුසු සේ සැලකේ. නැතහොත් නැකැත් වේලාවට බත් ටිකකට කිරි හොදි ස්වල්පයක් දමා පිඬුකොට පිරිමි දරුවෙකුට මව විසින් ද ගැහැනු දරුවෙකුට පියා විසින්ද කැවිය යුතුය.

6. සුබ නැකතට අකුරු කියවීම

මෙම චාරිත්‍රය දරුවකුගේ ජීවිතයේ අතිශය වැදගත් වූවකි. දරුවා සමාජයේ යහපත් මෙන්ම දැන උගත් පුරවැසියෙකු වීමටනම් ඉතාමත් සුබ වේලාවක මෙම කටයුත්ත ඉටු කළ යුතුය. මෙම චාරිත්‍රය එදා මෙන්ම අදත් සුබ වේලාවකට සිදු කිරීමට අප ජන සමාජය තුළ ඇත්තේ ඉමහත් වූ උනන්දුවකි. ඒ අනුව පුරාණයේ නම් දරුවාට අකුරු කියවීම යෙදී ඇති සුබ වේලාව තුළ කැවුම්, කිරිබත් ආදිය රැගෙන ගමේ පන්සලට හෝ අකුරු කියවන වියතාණන්ගේ නිවෙසට හෝ යාම සිරිතයි. ඒ අනුව ජ්‍යොතිෂානුකූලව දරුවාගේ උපන් ජන්ම නැකතට සීහෙන ලෙස යොදා ගත් සුබ වේලාව තුළ හාමුදුරුවන්ට හෝ ගුරුවරයාට බුලත් අතක් පිළිගන්වන ළමයා ගුරුවරයාගේ දෙපා මත සිරස තබා පළමුව වඳී. ඉන් අනතුරුව ගුරුවරයා විසින් අදාළ පොත දරුවා අත තබා "ස්වස්ති සිද්ධම්" (යහපතක්ම වේවා) යැයි පවසා දරුවා පොතට වැඳීමෙන් අනතුරුව අකුරු කීපයක් දරුවාට කියවා අකුරු කීපයක් දරුවා ලවා ලියවනු ලබයි. මුල් කාලීනව මෙම කටයුත්ත ගමේ පන්සල හෝ පාසලේ මුල් ගුරුවරයා මූලික කොටගෙන සිදු වුවත් අද වන විට එය වෙනස්ව එය ගෙදරම වැඩිහිටියෙකු විසින් කරන තත්ත්වයට පත් වී ඇත.

කෙසේ වෙතත් මෙම සුබ කටයුත්ත දරුවාට හිතවත් උගත් බුද්ධිමත් ගුණගරුක වැඩිහිටියෙකු විසින් කළ යුතුය. අකුරු කියවීම අස්විද, රෙහෙණ, මුවසිරස, පුනාවස, පුෂ, හත, සිත, සා, අනුර, සුවණ, සියාවස, රේවතී යන නැකතක් යෙදෙන පංචාංගය සුබ පුර පස සඳුදා, බ්‍රහස්පතින්දා හා සිකුරාදා යන දිනයක සුදුසුම හෝරාවක සුදුසුම පංචම කාල හෝරාවක් මේ සඳහා යොදා ගැනීම ඉතාමත් සුබ දායක වනු ඇත. එසේම රාහු කාලයෙන් තොර සුබ හෝරාවක යොදා ගැනීම ඉතාමත් යහපත් වනු ඇත. එසේම අට වැන්නේ කිසිම ග්‍රහයෙකු නැති උභය ලග්නයක් උදා වූ වේලාවක මෙම නැකත සකස් විය යුතුය. අකුරු කියවීම මුල් කාලීනව වයස අවුරුදු 05ට පෙර සිදු කළ යුතු වුවද, වත්මනේ එය පෙර පාසල් සංස්කෘතියත් සමඟින් වයස 03ට පෙර කියවිය යුතු යැයි මතයක් ගොඩ නැගී ඇත.

අකුරු කියවීමේ අවස්ථාවේදී ගණ දෙවියන්ට විශේෂ ස්ථානයක් හිමි වන අතර ධාරණ ශක්තිය ඇති වීම, සබකෝලය දුරු වීම, විභාග, සම්මුඛ පරීක්ෂණ ආදියට පෙනී සිටීමට ආත්ම ධෛර්යය ඇති වීම ආදිය සඳහා ගණ දෙවි පූජාවක් මඟින් ආශිර්වාදය ලබා ගැනීම මෙම කටයුත්තේදී ඉතාමත් වැදගත් වනු ඇත.

ඔබත් ඔබේ සිඟිති දරුවා වෙනුවෙන් ඉහත සඳහන් චාරිත්‍ර නිසි පරිදි ඉටු කිරීම ඔබේ දරුවාගේ මතු අනාගතය යහපත් වීමට හේතු වනු නොවනු මානය.

 

ප්‍රවීණ ජ්‍යොතිර්වේදී බණ්ඩාරගම සම්පත් එස්. කල්පගේ

Comments