
නිවස - ව්‍යාපාරික ස්ථානය ආරක්ෂා කරගත හැකි බලගතු පිරිතක්
භාවිත කරන ඖෂධවලට පිරිත් කරගෙන පාවිච්චි කිරීමේදී අපමණ ගුණ
මෙතෙක් ඔබට අසන්නට නොලැබුණු හාස්කම් පිරි පිරිතක්
108 වතාවක් සජ්ඣායනා කර පිරිත් කරගන්න
සිළුමිණ ඉසිවර පාඨක පින්වත් ඔබ වෙත අද දින ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වන්නේ බොහෝ දෙනා ඉතා ප්‍රියකරන උතුම් ජලනන්දන පිරිතයි. පිරිත් පොතේ සහ නිතර - නිතර ඔබ විසින් කට පාඩමින් කියවනු ලබන ප්‍රසිද්ධව පවතින ජලනන්දන පිරිත නොව මෙතෙක් ඔබට අසන්නට නොලැබුණ මහා බලසම්පන්න හාස්කම් පිරි උතුම් "ජලනන්දන" පිරිතයි අප අද ඔබ වෙත ලබා දෙනුයේ.
මෙම අතිශය දුර්ලභ "ජලනන්දන" පිරිතෙන් නොසිතූ ආශිර්වාදයක් සහ හාස්කම් සහිත ප්‍රතිඵල ඔබට ලබාගත හැකිය. "ජලනන්දන" පිරිත බුද්ධ භාෂිතයක් යැයි කිව හැකි කිසිදු තොරතුරක් - ධර්මය තුළින් අපට හසු නොවන අතර අනඳ හිමියන් සහ සැඩොල් තරුණිය පිළිබඳ කතා පුවත ජන වහරේ එන කතාවක් පමණි. "ජලනන්දන පිරිත" කාලයෙන් කාලයට එක් - එක් අය අතට යෑමෙන් වචනවල තේරුම නොදන්නා අය ඒවා ලිවීමේදී වෙනත් - වෙනත් අදහස් ඇති වචන එකතු වීමෙන් මෙම උතුම් පිරිතේ බල බිඳී ඇති බවක් පෙනේ.
"ජලනන්දන" පිරිත කියවීමේදී හා පාඩම් මතක තබා ගැනීමේ දී වෙනත් මන්ත්‍ර බල බිඳෙන බව මතයකි. නමුත් එහි කිසිදු සත්‍ය පදනමක් නොමැති අසත්‍ය මතයකි. "ජලනන්දන" පිරිතෙ හාස්කම් සොය සොයා වෙහෙසුණ ඔබට ජීවිතේ කිසිදා හමු නොවන අති ප්‍රබල ජලනන්දන පිරිත අද අපි ඔබට තිළිණ කරන්නෙමු.
මෙම උතුම් "ජලනන්දන" පිරිතෙන් ප්‍රයොජන ගනු කැමැති අය ලාභ - ප්‍රයෝජන - මිල මුදල් අපේක්ෂාවෙන් කිසි විටෙකත් මෙය කෙනෙකුට සිදු කර නොදිය යුතුය. හුදෙක් පින් පතා ‘අන් අයට යහපතක් වේවා‘ යන ප්‍රාර්ථනාවෙන්ම සිදුකර දිය යුතුය.
මෙය පාඩම් වන තුරු කොළය බලා කියවීම කිසිදු වරදක් නොමැත. වෙනත් අයෙකුගේ මැදිහත් වීමක් නොමැතිව තමන්ටම මෙම උතුම් ජලනන්දන පිරිතෙන් වැඩ කටයුතු ඉටුකර ගත හැකිය. තමා මුලින් තිසරණ පන්සිල්හි පිහිටා තෙරුවන් වන්දනා කර හැකි පිරිත් සූත්‍රයක් සජ්ඣායනා කර ශ්‍රී මහා විෂ්ණු දිව්‍ය රාජයාණන් ප්‍රධාන ආර්ය කාන්ත දෙවිවරුන්ට පින් දෙන්න.
තමාගේ සිත එකඟ කරගෙන මෙම උතුම් ශාන්තියේ බල පිහිටාව යන අධිෂ්ඨානයෙන් යුතුව අඩුම තරමින් 108 වතාවක්වත් මෙම පිරිත කියා පිරිත් කරගෙන තම නිවස, ව්‍යාපාරික ස්ථාන භූමිය ආරක්ෂා කර ගත හැකිය.
තමා භාවිත කරන ඖෂධවලට පිරිත් කරගෙන පාවිච්චි කිරීමේදී අපමණ ගුණ ලැබේ. ගලා යන ඇළකින් නොපෑගුණ ගල් කැට 08ක් සපයා ගන්න. නොපෑගුණ මුහුදු වැලි, පිරිසිදුව හිඳගත් පොල්තෙල්, හත් වතාවක් පමණ පෙරා පිරිසිදු කර ගත් පැන් භාජනයක් යන මේ සියල්ල ඉතා පිරිසිදු අසුනක තැන්පත් කර පිළිවෙළට මල් තබා අසුන මත පහනක් දල්වා සුවඳ දුම් පුදා ඉහත සඳහන් කළ වතාවත් සිදුකර අනුහස් පිරි මෙම "ජලනන්දන" පිරිතෙන් පිරිත්කර ගන්න.
හිමිදිරි උදෑසනක 05.30ට පමණ උදෑසන තම නිවසේ ඇතුළත පිටත සහ වත්ත මිදුල යන සෑම තැනම මුලින් පැන් ඉස ගන්න. ඉන් අනතුරුව ඒ සෑම තැනකම මුහුදු වැලි ඉස නිවස හතර කොන සහ භූමිය හතර කොන ගල් කැට වළලාගන්න.
කුඩා මුට්ටි 08කට ගල් කැට යොදා වළලා ගැනීම ඉතා වැදගත්ය. පිරිත් කරන ලද පිරිසිදු පොල්තෙල්වලින් හැකි දින ගණනාවක් නිවස ඇතුළත සුදුසු ස්ථානයක පහන දල්වා ගන්න. ඉසින ලද මුහුදු වැලි වරු තුනක් පමණ නිවස තුළ තිබීමට ඉඩ හරින්න. මෙම සියල්ල සිදුකර ගැනීමේදී නිර්මාංශ වීම ඉතා වැදගත් වන අතර උරු මස් සහ හරක් මස් භාවිතය සම්පූර්ණයෙන් නවතා ගැනීම ඔබට වැදගත් වේ.
මෙහි සඳහන් වතාවත් සියල්ල මැනවින් ඉටුකර ගත හැකිනම් ඔබ නොසිතූ විරූ සෞභාග්‍යයක් උදා වනු නිසැකය. මෙම උතුම් ‘ජලනන්දන‘ පිරිතේ අනුහස් පහත සඳහන් පුරාණ කවි දෙක තුළ සඳහන්ව ඇත.
සදෙවු ලොවේ දෙවියොත් හිස නමතී
යක් භූ පිසසුන් බිය වී දුවතී
ජලේ සැඟෙව්වත් වින දොස් පුපුරති
ලොවේ සතට මින් සුවසෙත් සැලසෙති
ඇඟේ තිබුණ සැම බන්දන
දුරු වෙයි කරමින නන්දන
මුනිඳු දෙසූ ජල නන්දන
පිරිතෙන් දුරු වෙයි නන්දන
ඉතා දුර්ලභ ජලනන්දන පිරිත
නමෝ තස්ස භගවතො අරහතො සම්මා සම්බුද්ධස්ස
1. චත්තාරො වීසති බුද්ධා - ආනුභාවො මහබ්බලො යක්ඛ දේව බ්‍රහ්මානං - වන්දිතො පූජිතො වරෝ
2. එතෙසං ආනුභාවෙන - සබ්බ භූතානි මද්දිනො චතුවීසති තෙජෙන - සබ්බ වින විනස්සතු
3. ගොතමො බුද්ධ තෙජේන - චණ්ඩාල වින විනස්සතු සාරි පුත්තානුභාවේන - සබ්බ වින විනස්සතු
4. මොග්ගල්ලානස්ස තෙජේන - චණ්ජාල සූනියං නහි අසීතිං ථෙර තෙජේන - වින සබ්බේසු අග්ගිහී
5. ථෙරො අංගුලි මාලෙන - ඡින්දිතො සබ්බ සූනියං චතුරාසීති සහස්සෙන - ධම්මක්ඛන්ධෙසු අක්ඛරෙ
6. සබ්බානි අනුභාවානී - මම හත්ථෙ පතිට්ඨිතා එතානි ආනුභාවෙන - සබ්බානි වින විනස්සතු
7. අසීති සත සහස්සෙන - ධම්මක්ඛන්ධෙන තෙජසා සබ්බ චණ්ඩාල කම්මානි - වින දොසානි විනස්සතු
8. දෙව බ්‍රහ්මාච බුද්ධාච - ධම්මං සංඝංච තෙජසා සබ්බානි අරි දොසානි - වින දොසානි විනස්සතු
9. ආනන්දොති මහා ථෙරං - ධම්ම භාණ්ඩක මුත්තමං ආනන්ද ථෙර තෙජෙන - නීචකුලබන්ධන ඡෙදනං
10. සම්බුද්ධස්ස තෙජෙන - වින බන්ධන ඩයිහතු තිණ්ණං රතනානු - වින මන්ත්‍රානි විනස්සතු
වාරියපොළ කොළඹගම ශ්‍රී මියුගුණාරාම රාජමහා විහාරාධිකාරී, නේපාලයේ ලුම්බිණි නුවර නේපාල ශ්‍රී ලංකා මහා විහාරයේ භාරකාර විහාරාධිපති සම්මානිත ආචාර්ය පූජ්‍යපාද ගල්ලැහැපිටියේ පේමරතන ස්වාමීන් වහන්සේ
(කොළඹගම පොඩි හාමුදුරුවෝ)