ශ්‍රී ලංකාවට විශිෂ්ඨ ජයක් - ශ්‍රී ලංකාව එක්දින ලෝක කුසලානයට සුදුසුකම් ලබයි ! | Page 2 | සිළුමිණ

ශ්‍රී ලංකාවට විශිෂ්ඨ ජයක් - ශ්‍රී ලංකාව එක්දින ලෝක කුසලානයට සුදුසුකම් ලබයි !

ඉන්දියාවේ පැවැත්වීමට නියමිත 2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය සදහා සුදුසුකම් ලැබූ 9 වැනි රට බවට පත් වීමට 1996 ලෝක ශූර ශ්‍රී ලංකා කණ්ඩායම අද (02) සමත් විය. 
 
ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලියේ සුපිරි හයදෙනාගේ වටයේ ශ්‍රී ලංකා සිම්බාබ්වේ තීරණාත්මක තරගය අද පැවැත්වුණි. ඒ අනුව අපරාජිත බව තවදුරටත් රැක ගනිමින් තරගයේ ජය හිමිකර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.
 
සිම්බාබ්වේ බුලවායෝහි දී ආරම්භ වූ මෙම තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායක දසුන් ශානක පළමුව පන්දුවට පහරදීමට සිම්බාබ්වේ කණ්ඩායමට ආරාධනා කළේය.
 
ආරම්භයේ සිටම පිතිකරුවන්ට තර්ජනයක් එල්ල කළ ඩිල්ෂාන් මධුසංක සිම්බාබ්වේ ඉදිරිපෙළ විනාශකර දැමීය. මැදපෙළ පිතිකරුවන්ට හිස එසවීමට ඉඩ ලබානොදුන් මහේෂ් තීක්ෂණ මෙන්ම මතීෂ පතිරණ සාර්ථක පන්දු යැවීමක නිරත විය. ඒ හේතුවෙන් සිම්බාබ්වේ කණ්ඩායමට පන්දුවාර 32යි පන්දු 2ක් තුළ සියලු දෙනා දැවී රැස්කරගත හැකිවූයේ ලකුණු 165 ක් පමණි.
 
මහීෂ් තීක්ෂණ කඩුලු 4ක් හා ඩිල්සාන් මධුසංක කඩුලු 3ක් දවාගත් අතර මතීෂ පතිරණ කඩුලු 2ක් බිදහෙළීය. 
 
පිළිතුරු ඉණිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 33යි එක් පන්දුවක දී එක් කඩුල්ලක් පමණක් දැවී ලකුණු 169ක් රැස්කරමින් කඩුලු 9ක ජයක් මෙම තරගයෙන් අත්කර ගැනීමට සමත්විය.
 
පැතුම් නිශ්ශංක නොදැවී 101ක් රැස්කළේය. දිමුත් කරුණාරත්න ලකුණු 30ක් රැස්කළ අතර කුසල් මෙන්ඩිස් නොදැවී ලකුණු 25ක් රැස් කළේය.
 
තරඟයේ වීරයා සම්මානය මහිෂ් තීක්ෂණ සඳහා හිමිවිය. 
 
එම ජයත් සමග සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ සුපිරි 6 වටයේ ප්‍රසාද ලකුණු සටහනේ පළමු ස්ථාන දෙකෙන් එකක් තහවුරු ගනිමින් අවසන් තරගය සදහා සුදුසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකාව සමත් වුණි.
 

Comments