
පත්තිනි මෑණියන්ට වන බාර ඔප්පු කිරීමට පෙර නිවසේ නොකළ යුතු දේවල් ගැන දැනගන්න
ඕනෑම කාරණාවකට එවෙලේම පිහිට
පත්තිනි මෑණියන්ට නිවැරදිවපුද පූජා තබන්නේ මෙහෙමයි
පූජාව සඳහාකිරිබත් අනිවාර්යයි
පත්තිනි මෑණියන් පිළිබඳව අපි කවුරුත් අසා ඇත්තෙමු. එතුමිය මහා බලගතු දේව මාතාවකි. මෙම උත්තමාවිය සිරිලක පුරා දස දෙසම මහත් ගෞරවයෙන් සහ භක්තියෙන් යුතුව ගෞරවාදරයට පත්ව කීර්තිය පතුරුවමින් තම පතිවෘත්තියේ සත්‍ය ක්‍රියා බලයෙන් සියලු දෝෂ රෝග බිය අලුකර දවාලමින් කුඩා දරුවන්ට ස්ත්රීන්ට පමණක් නොව පිරිමි උදවියට ද පිහිට ආධාරය එක සේම ලබා දෙන්නීය.
විශේෂයෙන් දරු පල ප්‍රමාද ස්ත්‍රීන්, කතාවේ අඩුවක් පවතින දරුවන්ට සහ විවිධ රෝගාබාධවලට ගොදුරුවී අසහනකාරිත්වයට, පීඩනයට පත් සැමට මෙතුමියගේ පිහිට ආධාරය පැතිය හැකිය.
පත්තිනි මැණියන් යනු අතිශයින්ම පාරිශුද්ධ මාතාවකි. පිරිසිදුකම කිලිකුණු නැතිකම සහ නිවැරදි බව අනිවාර්යයෙන්ම මෙතුමියගේ පිහිට ලැබීමට තිබිය යුතුමය. සාමාන්‍යයෙන් මෙතුමියට බාරයක් වූ විට ගෙදර පිටි කෙටීම, රසකැවිලි තෙලින් බැදීම සපුරා තහනම්ය. පත්තිනි මෑණියන් තම අපේක්ෂිත කාරණාව ඉටුකර දෙනවා සත්‍යයි. ඒ අනුව එතුමියට කළ භාරය ඔප්පු කරන තුරු නිවසේ ඉහත සඳහන් දෑ නොකළ යුතුය. සාමාන්‍යයෙන් පත්තිනි මෑණියන්ට පූජාවක් පැවැත්වීමේදී දින 7ක කාලයක්වත් අඩුම තරමේ පෙහෙවස් වීම අනිවාර්ය බව සැලකිය යුතුය.
මෙතුමියගෙන් ලැබෙන පිහිට ආධාරය මෙතැකැයි තක්සේරු කළ නොහැක. ඕනෑම ගැටලුවක් සඳහා කල් නොගොස් එවලේම පිහිට ආධාරය ලැබෙන බව නම් සත්‍යයි. එතුමියට නිවැරදිව පූජා තැබීම තුළින් පිහිට ලැබීම කඩිනමින් කර ගත හැකිය.
පත්තිනි මැණීයන්ට තබන පූජාව සඳහා අනිවාර්යයෙන්ම කිරිබත් අවශ්‍යය. කිරිබත්, ඉඹුල් කිරිබත් තැබීම තවත් විශේෂත්වයකි. බුලත්, පුවක්, කහ පැහැති මල්, සුවඳ, කට්ටකුමන්ජල් ආදිය වෙනත් දෙවිවරුන්ට වාගේම යහන් පහන් සඳහා අවශ්‍ය මල් පහන් පත්තිනි මෑණියන්ට ද තැබිය යුතුය. පත්තිනි මෑණියන්ට යහන් තැබීම, ශ්ලෝක කියවීම එතුමියගේ වතාවත් නිසි ලෙස කෙරෙන දේවාල භූමියක තැබීම ප්‍රතිඵල ඉක්මන් වීමට හේතු වේ. සාමාන්‍යයෙන් නිවෙස්වල පහන් තැබීම, යහන් දීම කිරි අම්මාවරුන්ගේ දාන කටයුතු හැර නොකළ යුතු කාර්යයි. පත්තිනි මෑණියන්ට වතාවත් කිරීම සාමාන්‍යයෙන් බදාදා, සෙනසුරාදා වැනි කෙම්මුර දිනයන් සුබකොට සැලකේ. මතු බුදු බව ප්‍රාර්ථනා කිරීම පත්තිනි මෑණියන්ගේ අරමුණය. යහපත් ප්‍රාර්ථනා හැර කිසිවකුට දඬුවම් කිරීම වැනි දේ එතුමියගෙන් ඉල්ලීම නොකළ යුතුය. ඔබගේ තුන්සිත පහදා ඉතාම භක්ති පූර්වකව පහත සඳහන් ක්‍රියා පිළිවෙත ඔබට අකුරටම ඉටුකිරීමට හැකිනම් ඔබගේ ජීවිතයේ ලෙඩ දුක් බිය දුරු වී ආරක්ෂාව, සැපය සතුට සෞභාග්‍යය ලැබී ධන ධාන්‍ය මිල මුදල්වලින් ජීවිතය පිරී ඒකාන්තකොට සතුට ලැබෙනු නිසැකය. ඔබ පත්තිනි පිළිරුවක් ළඟ කහ පැහැති මල් මිටක් තබා බුලත් කොළයක් මත මැටි පහනක් එළඟි තෙල්වලින් දල්වා පළමුකොට පන්සිල්ගෙන ත්‍රිවිධ රත්නය වැඳ එතුමියට ආරාධනා කරන්න.
පත්තිනි මෑණි නමස්කාරය
නානා සුන්දර ජනවතිනා ගුණ
තාරපති ඉම ශ්‍රී දේහං
නානා වර්ණක ශාධක ධාරණා
මාලා දාම පිලන්ඩං
නානා ශාස්ත්‍ර ප්‍රජාන විජානන
ඥාන විශාරද කීර්ති ධරං
දා දා තුතේ පත්තිනී මාතා
මෙම නමස්කාරය එකවර කියා ඔබගේ තුන්සිත ඒකරාශි කර නවගුණ සිද්ධි මන්ත්‍රය 7 වර කියවන්න. මෙම නවගුණ සිද්ධි මන්ත්‍රය අතිශයින්ම ගුණ දෙන ශාන්තිය ලැබෙන ආරක්ෂාව රැකිවරණය දවස පුරා ලැබෙන මහා බලගතු මන්ත්රයකි. බුදු රජාණන් වහන්සේට පූජා සත්කාර පැවැත්වීම අලුයම් කාලයේ සිදු කිරීම සාමාන්‍ය සිරිතකි. දෙවියන් උදෙසා පහන් තැබීම සවස් භාගයේ සිදු කිරීම සිරිතයි. පත්තිනි මෑණියන් දෙවි මෑණියක් වුවද මෙතුමියට පහන් තැබීම අලුයම උදය වරුවේ සිදු කිරීම නියමයක්ය.
නවගුණ සිද්ධි මන්ත්‍රය
ඕං නමෝ භගවා සම්මා සම්බුද්ධානං නමඃ
ඕං නමෝ අරහං සම්මා සම්බුද්ධානං නමඃ
ඕං නමෝ සුගතෝ සම්මා සම්බුද්ධානං නමඃ
ඕං නමෝ ලෝක විදු සම්මා සම්බුද්ධානං නමඃ
ඕං නමෝ අනුත්තරෝ සම්මා සම්බුද්ධානං නමඃ
ඕං නමෝ පුරිසධම්ම සාරථි
සම්මා සම්බුද්ධානං නමඃ
ඕං නමෝ සත්ථා සම්මා සම්බුද්ධානං නමඃ
ඕං නමෝ සම්බඤ්ඤු සම්මා සම්බුද්ධානං නමඃ
ඕං නමෝ දිපදුත්තමෝ සම්මා සම්බුද්ධානං නමඃ
එතේන සච්ච වජ්ජේන ජයෝ ජයස්තු තේ(මේ) සදා
මෙම නව ගුණ සිද්ධි මන්ත්‍රය ඔබ පත්තිනි දේව වන්දනාවේදී පමණක් නොව ඕනෑම දේව වන්දනාවකදී භාවිත කිරීම සුදුසුය.
එය විශිෂ්ට ගුණ ලබා දීමට හේතුයි. නවගුණ සිද්ධි මන්ත්‍රය 7 වර කියා එහි සිද්ධි ඵලය ලබා ගැනීමට පහත සඳහන් සිද්ධි මන්ත්‍ර රත්නය 21 වර කියන්න. දිනපතා භාවිතයට ද සුදුසුය.
සිද්ධි මන්ත්‍ර රත්නය
ඕං ශ්‍රී බුද්ධ ජය ජය ඒස්වාහඃ
ඕං ශ්‍රි මුණි ජය ජය ඒස්වාහඃ
ඕං ශ්රීයං වර්යතු සර්ව කාර්යාර්ථ
සිද්ධයේ නමෝ නමඃ
අනතුරුව පත්තිනි මෑණියන් ඉදිරියේ පිළිරුව දෙස බලා බුද්ධ ධම්ම සංඝ යන ත්‍රිවිධ රත්නයේ ආනුභාවයෙන් එක් සත්‍යයෙන් මතු බුදු බව ප්‍රාර්ථනා කරන සත්පත්තිනි දේව මෑණියනී මාගේ මේ දැවෙන තැවෙන ........................ (ප්රශ්නය) විසඳා සෙතක් ශාන්තියක් ලබාදී පින් ගන්න. පස්වාන් දහසකට ආයු බෝ වේවා යනුවෙන් ඔබට ඔබගේ භාෂාවෙන් දැනෙන විදිහට ප්රශ්නය හෝ ප්‍රශ්න මාලාව කියා පත්තිනි මෑණියන්ට පින් දෙන්න. ඔබගේ යහපත් ප්‍රාර්ථනා ඒකාන්ත ලෙස ඉටු වනු ඇත.
පින් දීමේ ගාථාව
මාතාපත්තිනි නාමා
භයා වේරා ච මද්දිනී
ගණ්හාතු පුඤ්ඤ රාසිං මේ
දදාතු විපුලං සුඛං
අර්ථය
බය වෛරය ආදි පාප ධර්ම මැඩැලන්නී වූ
පත්තිනී නම්ලත් මාතාවුණි මා විසින් මේ
අනුමෝදන් කරනා පින් ගනිත්වා මා වෙත
බොහෝ වූ සුව සහන ලබා දුන මැනව
ගාථාව
ආමිස පටිපත්ති පූජාසු
යන්යන් පුඤ්ඤං මායචිතං
පත්තිනී මාතානුමෝදිත්වා
මාංච රක්චතු සබ්බදා
අර්ථය
සියලු ආකාර වූ ආමිස සහ ප්‍රතිපත්ති පූජා කර්මයන්හි නියැළීම් වශයෙන් මා විසින් රැස් කරන ලද යම් පිනක් ඇත්නම් පත්තිනි මෑණියන් වහන්සේට පින් අනුමෝන් වීමෙන් පිනට පිහිට වී මා ද සියලු කල්හි රක්ෂා කෙරෙත්වා.
ගාථාව
පතීව්රත්තා ධම්ම ගුණග්ග සෙට්ඨං
සක්කාදිහි දේව ගණා සුපිපිතං
සත්තානුකම්පාය සුකතං සුසිලවං
පුඤඤානුමෝදතු පත්තිනී දිබ්බ මාතා
අර්ථය
පතීවෘතාව නැමැති ධර්ම ගුණයෙන් අග්‍ර වූ ශක්‍රයා වැනි ශ්‍රේෂ්ඨ රාජයකු සහ අනෙක් දේව සමූහයා විසින් ද පූජනීය භාවයෙන් සලකන ලද සිල්වත් වූ සියලු සත්ත්වයා වෙත අනුකම්පාවෙන් මනාකොට නිම වන ලද්දා වූ පුණ්‍ය කෘත්‍යය ඇති උතුම් වූ පත්තිනි දිව්‍ය මාතාවනි ඔබ මෑණියන් මේ පින් අනුමෝදන් වන්න.
ඇල්ලේ වැල්ලේ වසනා දේවියනී
පොළොවට නායක මිහිකත් දේවයනී
මේ පින් දුටු සක්වළ දේවියනී
පින් අනුමෝදන් සක්වළ දේවියනී
ඇත්තෙන්ම ඔබගේ දුක පත්තිනි මෑණියන් අසනු ඇත. ඔබ ළඟම එතුමිය සිටිනවා සේ ඔබට දැනේ. වර්තමානයේ අනියම් සබඳතා නිසා අසරණ වන බිරින්දෑවරු බොහෝය.
එවැනි බිරින්දෑවරු තම පති භක්තිය ආරක්ෂා කර ගනිමින් එය සත්‍ය ක්‍රියාවක් කොට තම ස්වාමියා රැකදී දරු පවුල ආරක්ෂා කර දෙන ලෙස ඉතාම භක්තියෙන් සහ විශ්වාසයෙන් යුතුව ඉල්ලන්න.
දින 7 වන විට තම ස්වාමියාගේ අනිසි සබඳතා කැඩී බිඳීගොස් තමාට ළෙන්ගතුව ආදරයෙන් සෙනෙහසින් ප්‍රේමයෙන් යුතුව අපිරිමිත ස්නේහයෙන් කටයුතු කරනු ඇත. තමා අතද වර තබා කීමෙන් පලක් නොවන බවද සිහි තබා ගන්න. අවසානයේ එතුමිය විමන්ගත කරන්න.
පත්තිනි මෑණියන් විමන්ගත කිරීම
පත්තිනි මෑණියන් මා දුන් පින් ලබන්නේ
ඔබට තැනූ මල් පුද පිළිගන් සැණිනේ
හැම දුක් නසා උවදුරු දුරු කරන්නේ
පත්තිනි දෙවි පින්ගෙන විමනට වඩින්නේ
ජ්‍යොතිර් විද්‍යා විශාරද කේ. එස්. එස්. යෝදින්ගේ