EPF රකින්න නීතියක් එයි | සිළුමිණ

EPF රකින්න නීතියක් එයි

දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමත් සේවක අර්ථසාධක අරමුදලට බලපෑමක් ඇති නොවීම සඳහාත් සේවක අර්ථසාධක අරමුදලට සියයට 9% අවම පොලී අනුපාතයක් ලබාදීම සහතික කිරීම සඳහාත් වන නීතියක් පාර්ලිමේන්තුවේ සම්මත කරගැනීමට කටයුතු කරන බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර පැවසීය.

ඒ අනුව සේවක අර්ථසාධක පනත් කෙටුම්පතට සංශෝධනයක් ගෙන ඒම සඳහා කැබිනට් අනුමැතිය කඩිනමින් ලබාගෙන එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කර ගැනීමට කටයුතු කරන බව ද ඇමැතිවරයා වැඩිදුරටත් අනාවරණය කළේය.

දේශීය ණය ප්‍රතිව්‍යුගතකිරීම සේවක අර්ථසාධක අරමුදලට බලපාන ආකාරය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සහ වෘත්තීය සමිති නියෝජිතයන් අතර සාකච්ඡාවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවති අතර එහිදී සේවක අර්ථසාධක අරමුදලට සියයට 9ක අවම පොලී අනුපාතයක් ලබාදීමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහයන් සහතික වී ඇත. එසේ සේවක අර්ථසාධක අරමුදල සඳහා සියයට 9ක අවම පොලී අනුපාතයක් ලබාදීම ස්ථිර කිරීම සඳහා වන නීති ගෙන එන ලෙස ජනාධිපතිතුමා මෙහිදී අමාත්‍යවරයාට උපදෙස් ලබාදී තිබේ. ඒ අනුව ඉදිරි වසර තුන සඳහා සේවක අර්ථසාධක අරමුදලට සියයට 9ක අවම පොලී අනුපාතයක් ලබාදීම තහවුරු කිරීම සදහා සේවක අර්ථසාධක අරමුදල් පනත සංශෝධනය කිරීමට කටයුතු කරන බවද ඇමැතිවරයා මෙහිදී වැඩිදුරටත් හෙළි කළේය.

Comments