දැක්කොත් දරු ප්‍රසූතියක් ළඟ ළඟම ධන ලාභයක් | සිළුමිණ

දැක්කොත් දරු ප්‍රසූතියක් ළඟ ළඟම ධන ලාභයක්

කිරි දෙන මවක් දුටුවොත් සියල්ලන්ගෙන් ගරු බුහුමන්

හඬ හඬා වැලපුණොත් ප්‍රශ්නයකට විසඳුමක්

නින්දේදී  දකින සිහින කියන පලාපල

ප්‍රවීණ ජ්‍යොතිර්වේදී සුදත් රත්නායක

අලසයා උගේ බඩ නිසා නපුරු සිහින දක්නා බව කියති. හොඳින් නොදිරවන ආහාර අනුභව කොට නිදන අලසයාට සිහින උපදින්නේ උදරයෙන් බවද කියති. නන්දිරාජ වග්ගයේ නන්දිකයාගේ කතාව ඊට නිදසුනකි. නන්දිකයා සෝවුරන් සත්දෙනෙකුගෙන් යුත් පවුලක බඩපිස්සාය. වැඩිමහල් සෝවුරෝ ගොවිතැන් වෙළෙඳාම් ඈ කර්මාන්ත කරමින් මවුපියන් රකිති. නන්දිකයාද සෝයුරන් උපයන දෑ කකා ගෙයිම ලගියි.

"මේ හොරා බඩ පුරා බත් කාලා බිජුවට රක්නා කිකිළියක සේ ගෙට වැදිලා සිහිල් සෙවණැ හින්ද දී අපි කුමක් පිණිස මෙහෙ කරමු දැ"යි වැඩිමහලු සෝවුරෝ නන්දිකයාට ගරහති.

එහෙත් නෑසුණු කන් ඇතිව සිටින නන්දිකයා දිනක් සෙන්පතියෙකුගේ ගෙයින් බඩකට පුරා බත් කා අලසව නිදයි.

තුඹසකින් සුදු නයි පතයෙකු ඇදෙන්නා සේ නන්දිකයාගේ කටින් පිටතට ඇදෙන බඩවැල මුළු දඹදිව පුරා පැතිර යළිත් ඔහුගේ බඩ තුළටම වදියි. බර ආහාරයෙන් වැඩුණු උදරය විසින් කුප්පන ලද අලස සිතින් නැඟුණු මේ සිහිනය දැක බියපත් නන්දිකයා මුර ගාගෙන නැගිටියි.

නිමිති කියන්නන් ඒ සිහිනය තෝරන්නේ නන්දිකයා රජකම ලබන බව කියන පෙර ලකුණක් ලෙසය.

අනතුරුව තවත් දවසක සිටු ගෙදරකින් බඩ පුරවා ගත් ⁣නන්දිකයා ගොස් රජ වාසල උයනෙහි වැතිර හිස සිට දෙපය තෙක් වැසෙන සේ රෙදිකඩක් පොරවාගෙන නිදයි.

එදින රජු මියගිය බැවින් ඇමතිවරු සුදු අසුන් යොදන ලද මඟුල් අස්රිය සරසාගෙන රජකමට සුදුස්සෙක් සොයා යති. මඟුල් අස්රිය නවතින්නේ නිදා හුන් අර අලසයා ළඟය. ඉතින් නන්දිකයාට ඒ රටේ රජකම ලැබෙයි. නන්දිකයාට පල දුන්නේ පෙර කළ පිනකි. හෙතෙම පෙර ආත්මයකදී පසේබුදු කෙනෙකුන්ට සළුවක් පිදීමෙන් රැස් කළ පින් ඇත්තෙකි. රජකම ලැබෙතොත් අලසකමද නරක නැත.

01. තම සිරුරේ තුවාලයක පණුවන් නළියන අයුරු - බලාපොරොත්තුවෙන් සිටි භූමි ලාභයක් හිමි වේ.

02. තල් ගෙඩිය - දැඩි ලෙස කම්පාවට පත් වන ශෝකජනක සිදු වීමකට මුහුණ දෙන්නට සිදු වේ.

03. තමාගේ විරුද්ධකාරයින් නැත්නම් සතුරන් - බලවත් විපතක් ළඟදීම උදා වේ.

04. තමා නොහඳුනන රෝගී දුබල මහලු උදවිය - ඉතා උනන්දුවෙන් විශාල වියදමක් දරා ආරම්භ කරන කටයුත්තකට බරපතළ බාධා මතු වේ.

05. තවුසෙක්, පූජකයෙක් හෝ ශාස්ත්‍රකරුවෙක් - හදිසි අසනීපයකට භාජනය වේ.

06. තමාගේ මිතුරියකගේ වැලපීම - ඉතා වටිනා දෙයක් සොරු ගෙන යාම හෝ වෙනත් ලෙසකින් අහිමි වීමක් සිදු වේ.

07. තමා හඬ නඟා හඬා වැලපෙන අන්දම - බරපතළ ලෙස සිතට වධ දෙන ප්‍රශ්නයක් සතුටුදායක ලෙස නිමා වේ.

08. තමාම සීසාන අයුරු - අසුබ සිහිනයකි. අතේ ඇති මුදල් වැය කරන්නට කරුණු මතු වේ.

09. තමාගේ උදරය විවෘත වී තිබීම - ඉතාම ඉහළ රාජ වරප්‍රසාද සහ මහත් වූ ධන ලාභ අයත් වේ.

10. තම පුතා හෝ දුව තමාට බැණ වැදීම - බලවත් දුකකට හේතු වේ.

11. තනිවම විශාල මාර්ගයක ගමන් කිරීම - විශාල වශයෙන් මුදල් වැය කරන්නට සිදුවන නමුදු උදා වන්නේ ප්‍රීතිමත් කාලයකි.

12. තමන් තනිවම නටන අයුරු - අනුන්ගෙන් ධන සම්පත් හිමි වේ.

13. තම හුස්ම හිර වන බව හෝ කිසිවකු විසින් තම ගෙල සිර කරන අයුරු - පපුවේ ආබාධයක් මතු වන බවට පෙරනිමිත්තකි.

14. තැඹිලි හෝ කුරුම්බා - තමාගේ දරුවකුට බරපතළ විපතක් සිදු වේ.

15. තියුණු මුවහත් කඩුවක් රැගෙන දුර ගමනක් යාම - නිසැකවම රජ පදවියට පත් වේ.

16. තෙල් ඇඟ ගැල්වීම - භයානක විපතක් සිදු වීමට ආසන්නය.

17. තොණ්ඩුවක් හෙවත් මන්දක් අතින් ගත් තැනැත්තෙක් - නොකළ වරදකට නීතිය හමුවේ කරදර විඳින්නට සිදු වේ.

18. දර - බලාපොරොත්තු නොවූ පරිදි මහ විපතක්

19. දර කපනවා දැකීම - තම පවුලේ තත්ත්වය හේතුවෙන් පිටස්තර පුද්ගලයින් වෙතින් අපහාස අවමන් විඳින්නට සිදු වේ.

20. දබරයකට පැටලීම - එක්වරම අන්‍යයන්ගෙන් වෙන් වී තනි වීමට සිදු වේ.

21. දළඹුවා - සොරුන්ගෙන් තදබල හානියක්

සිදු වේ.

22. දබර කරගන්නා පුද්ගලයින් දෙදෙනෙක් - එක්වරම ශාරීරික ආබාධ මතු වේ.

23. දරු ප්‍රසූතියක් - විශාල ධන සම්පතක් සහ වස්තු ලාභයක්

24. දරුවකුගේ අවමංගල්‍ය - ආර්ථිකය ශක්තිමත් වේ.

25. දරුවකු නොනවත්වා සිනාසීම - තිබෙන දුක් කරදර නිමා වේ.

26. දම් පාටැති ඇඳුමින් සැරසී සිටීම - පදිංචි ස්ථානයේ හෝ රැකියා ස්ථානයේ වෙනස් වීමක් සිදු වේ.

27. දරුවකු වඩාගෙන සිටින කෙනෙක් - කවර හෝ ධන ලාභයක් ඇති වේ.

28. දබර කරන කාන්තාවක් - නුදුරේදීම ඉතාම ශෝචනීය තත්ත්වයකට මුහුණ පාන්නට සිදු වේ.

29. දන්නා හඳුනන කාන්තාවක් සමඟ කතාබහ කරන අන්දම - තමාගේ සියලුම වැඩ කටයුතුවලට බාධා සිදු වේ.

30. දරුවාට කිරි දෙන මව - සියල්ලන්ගෙන් ගරුබුහුමන් ලබයි.

31. දළ ඇති සතුන් වෙතින් පීඩා ලබන අන්දම - ඉහළම පදවියකට පත් වීමට අවස්ථාව උදා වේ.

32. දර මිටියක් හිස තබා ගෙන යාම - රැකියාවෙන් හෝ රැකියා ස්ථානයේ කරදර ඇති වේ.

33. දකුණු දිසාවට ගමන් කරන අන්දම - බලවත් විපතක් සිදු වේ.

34. දලු වර්ග සහිත බඳුනක් - නියත වශයෙන්ම දුකට පැමිණේ.

35. දත් කැඩී වැටීම - තදබල ශාරීරික පීඩාවක් ලබන්නට සිදු වේ.

 

Comments