
වාරියපොල කොළඹගම ශ්‍රී මියුගුණාරාම රාජමහා විහාරාධිකාරී, නේපාලයේ ලුම්බිණි නුවර නේපාල ශ්‍රී ලංකා මහා විහාරයේ භාරකාර විහාරාධිපති, සම්මානිත ආචාර්ය පූජ්‍යපාද ගල්ලැහැපිටියේ පේමරතන ස්වාමීන් වහන්සේ (කොළඹගම පොඩි හාමුදුරුවෝ)
මහා බලගතු සිද්ධ ශ්‍රී සූනියම් දෙවිදුන් ගේ අපමණ පිහිට ලබාගත හැකි පූජෝපහාර පිළිවෙතක් ගැන සිළුමිණ ඉසිවර පාඨක පින්වත් ඔබ වෙත අප අද ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන්නේ මහා බලගතු සූනියම් දෙව් රඳුන් පහදවාගෙන අපමණ රැකවරණය ලබාගත හැකි පූජා පිළිවෙතකි. සිද්ධ සූනියම් දෙව් රඳුන් ශ්‍රී මහා විෂ්ණු දිව්‍ය රාජයා සමීපයෙහි වැඩ හිඳිමින් උන්වහන්සේගේ පණිවිඩ දේවතාවා හැටියට විෂ්ණු දිව්‍ය රාජයා වෙත පවරන ඕනෑම යහපත් කටයුත්තක් ඒ මොහොතේදීම ඉටුකර දෙමින් අසාධාරණයට බලවත් සේ කිපෙමින් දඬුවම් ලබා දෙන තමා කෙරෙහි විශ්වාසය තබන ඕනෑම බැතිමතෙකුට භේදයකින් තොරව අපමණ රැකවරණය ලබා දෙන දිව්‍ය රාජයාණන් වහන්සේයි.
ශ්‍රී විෂ්ණු දිව්‍ය රාජයාණන් සමඟ ඉතා කුලුපගව උන්වහන්සේ වෙනුවෙන්ම පෙනී සිටින සූනියම් දිව්‍ය රාජයාණන් ගම්භාර දිව්‍ය රාජයා ලෙසද බැතිමතුන් විසින් හඳුන්වන අතර "සව්" නියම් යන්න සූනියම් ලෙස ව්‍යවහාර වේ. එහි අදහස වන්නේ සියලු ගම් - නියම් ගම් යන්නයි. සූනියම් දිව්‍ය රාජයාණන් ශ්‍රී ලංකාවේ සියලු ගම් පළාත් සුරකින දිව්‍ය රාජයා ලෙස ඉන් ප්‍රකට වේ. මෙම උතුම් සිද්ධ සූනියම් දිව්‍ය රාජයාණන් පහදවාගෙන කටයුතු කළ හැකි නම් පින්වත් පියෙකු තම දරුවන්ට සෙනෙහසින් උපකාර කරන්නේ යම් සේද ඒ හා සමාන උපකාරයක් ලැබෙනු ඇත. ශ්‍රී සූනියම් දිව්‍ය රාජයා සැරපරුස ගති ඇති සතුරන්ට නොවළහා දඬුවම් දෙන පුර පක්ෂයට දේවතාවෙකු ලෙසත් අව පක්ෂයට සූනියම් යක්ෂයා ලෙසත් ක්‍රියා කරන බව සැබෑ විශ්වාසයයි.
පිච්ච මල් සුවඳ හමන සිරුරක් ඇති උන්වහන්සේ රාත්‍රී 10න් පසු ස්වේත වර්ණ අසු පිට නැගී සියලු ගම් නියම්ගම්වල සංචාරය කරන අතර සමහර අවස්ථාවලදී නිවෙස්වල ඇතිදැඩි කරන බල්ලන් උන්වහන්සේ වඩිනු දැක අහස දෙස බලා උඩු බුරන බවත් උන්වහන්සේ එවිට තම අතේ ඇති සෝලු ලීයෙන් පහර දෙන බවත් එසේ පහර කන බල්ලන් කොන්ද පණ නැතිවීමේ රෝගයකට ගොදුරු වී මියයන බවත් ප්‍රකටය.
ඉතා විශ්වාසයෙන් තහවුරු වූ තවත් කරුණක් වන්නේ තමා කෙරෙහි අපමණ ගෞරවයෙන් වතාවත් කර පින් දෙන බැතිමතුන් හට සිද්ධ ශ්‍රී සූනියම් දිව්‍ය රාජයා විවිධ ස්වරූපයෙන් දර්ශනය වීමයි.
උන්වහන්සේගේ ප්‍රසාදය ලබා ගනු කැමති බැතිමතුන් කිලි කුණුවලින් වැළකී බාහිර පිරිසිදු බවත් පංචශීලය සුරකිමින් තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව ඇතිකර ගෙන ආධ්‍යාත්මික දියුණුව ඇතිකර ගත යුතුය. තම නිවස ඇතුළතට හෝ නිවසෙහි ස්තොප්පුවට හෝ දල්වන පහනේ ආලෝකය නොවැටෙන ප්‍රමාණයට මිදුලේ පිරිසිදු තැනක ගොක් අත්තකින් මල් පැලක් සාදා ගන්න. ඒ තුළ කෙසෙල් කොළයක් එළා කහ වතුර ඉස පිරිසිදු කරගන්න. විලඳ හා මී පැණි ස්වල්පයක් එකට මිශ්‍රකර කොස් කොළයකින් හො බුලත් කොළයකින් සෑදූ ගොටුවකට දමා එයට පිච්ච මල් ස්වල්පයක් දමා එම විලඳ ගොටුව මල් පැලෙහි තැන්පත් කරන්න. ගිතෙල් හෝ පිරිසිදු පොල් තෙල් යෙදූ පහනක්ද මල් පැලෙහි තැන්පත් කරන්න. රාත්‍රි 10.36ට මෙම පහන දැල්විය හැකිනම් ඉතා බලවත් වේ. පන්සිල් සමාදන් වී තෙරුවන් වන්දනා කොට කරණීයමෙත්ත සූත්‍රය සජ්ඣායනා කර අනතුරුව පහත සඳහන් ගාථාවෙන් පින් දෙන්න.
"නානා වන්නෝ මහා තේජො
ඕදාත හය වාහනෝ
ග්‍රාම සංචාරකො දේවො
ඉමං පුඤ්ඤානු මොදතො"
එසේ පින් දීමෙන් අනතුරුව මෙම පහත සඳහන් මහා බලගතු සූනියම් දැහැන එක්වරක් හෝ තෙවරක් කියවන්න.
සිරස මිණි ක්‍රීට කනක රත්න - මිණී රුවන් රැසින් යුත්
වුවනත පුර සඳ මඬල සවන් සක් මද ගෙල උරගා භරණ යුත් පනිඳු බරණින් ළමැද
නීල මිණ භරණ සැදි
තුරඟ වාහනා රූඪව පාද සූකර අයුරු
දකුණත රන් කඩුව ගෙන වමත
ගිනි දැලින් සැදි
මෙසේ දස දිග දස අවතාරයෙන් දිවැස් ඇති ඔඩ්ඩි වඩිග පිල්ලි සූනියම්
දේවස්සාමි නමෝ නමඃ
හැකිනම් නිර්මාංශව ඉතා පිරිසිදුව පුරා දින 21 ක් මෙම වතාවත් සිදුකර ඔබගේ ඕනෑම යහපත් කටයුත්තකට පිහිට ආරක්ෂාව ලබාගන්න. ඒ සෑම දිනකම පහත සඳහන් සෙත් කවිය ඔබට සෙත් පතා කියවන්න.
සෙත් කවිය
සරණ හෙළදිව සියලු පෙදෙසම-බලන ලෙස හැම රැයෙහි මැදියම්
කරන උවදුරු කුරිරු සතුනට -දෙවන දඬුවම් ලෙසිනි ගිනියම්
දරන තෙද බල සුරිඳු වඳිනෙමි -දෙපද සර ගම්බාර සූනියම්
සැණින හල මැන මෙමගෙ,යක් බු - පිසස් උවදුරු නියම් අනියම්