නව ගුවන් හමුදාපති ඉදිරි වැඩපිළිවෙල කියයි - සයිබර් ආරක්‍ෂවට වැඩි අවදානයක් | සිළුමිණ

නව ගුවන් හමුදාපති ඉදිරි වැඩපිළිවෙල කියයි - සයිබර් ආරක්‍ෂවට වැඩි අවදානයක්

ශ්‍රී ලංකා ගුවන් හමුදාව සතු ගුවන් බලය රටේ තිරසාර සංවර්ධනයට ඉදිරියේ දී වැඩා කාර්යක්‍ෂම අයුරින් යොදු ගැනීමට පියවර ගන්නා බව නව ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්‍ෂ මහතා කියා සිටියි.
 
ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 19 වැනි ගුවන් හමුදාපති ලෙස එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතා අද (30) උදෑසන ගුවන් හමුදා මූලස්ථානයේ දී සිය ධුරයේ වැඩ බාර ගත්තේය. ඉන් අනතුරුව පැවැති මාධ්‍ය හමුවකදී ඒ මහතා පැවසුවේ මාතෘ භූමියේ ඒකීයභාවය හා භෞමික අඛණ්ඩතාව සුරැකීම ගුවන්හමුදාවට පැවරී ඇති ප්‍රමුඛ වගකීම බවයි. එසේම කාලානුරූපීව ඇතැම් අරමුණු වෙනස්වන බවද ඔහු පෙන්වා දුන්නේය.
 
විශේෂයෙන්ම ගුවන්හමුදාවේ මුඛ්‍ය අරමුණ වන්නේ රට සතු ගුවන් තලයේ ආරක්‍ෂාව සුරැකීමයි. ඒ වෙනුවෙන් ගුවන් හමුදාව සතු යානා සහ සෙබළ ශ්‍රමය තවදුරටත් ශක්තිමත් කිරීමට තමන් සූදානම් බව ගුවන් හමුදාපතිවරයා සදහන් කළේය. 
 
සයිබර් තාක්‍ෂණය සම්බන්ධයෙන් ඉදිරියේ දී වැඩි අවදානයක් ශ්‍රී ලංකා ගුවන් හමුදාව යෙදවීමට නියමිතය. සයිබර් ආරක්‍ෂාව ඉතා වැදගත් කොටසක් ලෙස සලකමින් විශේෂ අවදානයක් සහ පුහුණුවක් ලබා ගැනීමට ගුවන් හමුදාව සූදානම් බව උදේනි රාජපක්‍ෂ මහතා පැවසීය. 
 
මේ වන විට එක්සත් ජාතීන්ගේ සාම සාධක කටයුතු වෙනුවෙන් ගුවන් හමුදා යානා 03ක් යොදවා ඇති අතර එයින් අමෙරිකා ඩොලර් මිලියන 100ක මුදලක් ශ්‍රී ලංකා රජයට උපයා දීමට සමත්ව ඇත. මේ සදහා ශ්‍රී ලංකා ගුවන් හමුදාවට යහපත් ප්‍රතිචාර ලැබී ඇති බවත් මෙම වැඩපිළිවෙල ඉදිරියේ දී තවදුරටත් පුළුල් කිරීමට අපේක්‍ෂිත බවත් නව ගුවන් හමුදාපතිවරයා කීය. 
 
මුහුදු මාර්ගයෙන් සිදු කෙරෙන මත්ද්‍රව්‍ය ඡාවාරම් සහ අන්තර්ජාතිකව සිදුවන විවිධ ඡාවාරම් මැඩපැවැත්වීම සදහාද නියමුවන් රහිත යානා යොදා ගනිමින් සිදු කරන මෙහෙයුම් තවදුරටත් සිදු කරන බව නව ගුවන් හමුදාපතිවරයා මෙම මාධ්‍ය හමුවේදී කියා සිටියේය. 
 
එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතා ශ්‍රී ලංකාවේ 19 වන ගුවන් හමුදාපතිවරයා ලෙස අද රාජකාරී ආරම්භ කළ අතර ගම්පහ බණ්ඩාරවත්ත පරාක්‍රම විද්‍යාලයෙන් සහ ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයෙන් මූලික අධ්‍යාපන ලැබූ ඔහු ද්වීතික අධ්‍යාපනය ලැබුවේ කොළඹ ආනන්ද විද්‍යාලයෙනි.
 
කොළඹ ආනන්ද විද්‍යාලයෙන්  බිහි වු පළමු ගුවන් හමුදාපතිවරයා උදේනී රාජපක්ෂ මහතා ය.
 
ඔහු 1988 වසරේ දී කැඩෙට් නිලධාරියෙක් ලෙස රත්මලාන ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විද්‍යාපීඨයට එක්වෙමින් ගුවන් හමුදා වෘත්තිය ආරම්භ කළේය. 
 
කොතලාවල ආරක්ෂක ඇකඩමියේ විදුලි ඉංජිනේරු විද්‍යාව පිළිබඳ විද්‍යාවේදී උපාධිය හැදෑරු නව ගුවන් හමුදාපතිවරයා අනුරාධපුර කඳවුරේ අංක 1 මූලික පියාසර පුහුණුව සාර්ථකව නිමකරමින් 33 වන ගුවන් ශිෂ්‍යභට පාඨමාලාවේ හොඳම ගුවන් ශිෂ්‍ය භටයා බවට පත්විය.
 
ඔහු VVIP කපිතාන් නියමුවෙක් වීමේ ගෞරවය හිමිකරගෙන ඇති අතර, CESSNA-150, HARBIN Y-12, HS-748, SF-260TP, IA-58 PUCARA, B-200T, AN- ඇතුළු ගුවන් යානා වර්ග 10 ක් පියාසර කිරීමට සුදුසුකම් ලබා තිබේ. 
 
එමෙන්ම සටන් සහ ප්‍රවාහන මෙහෙයුම් ආවරණය කරමින් උදේනී රාජපක්ෂ මහතා පියාසර කර ඇති පැය ගණන 7,000 කට අධිකය. 
 
ඔහු බංග්ලාදේශයේ අණ හා මාණ්ඩලික පුහුණු ආයතනයේ කනිෂ්ඨ අණ හා මාණ්ඩලික පාඨමාලාව, පාකිස්ථානයේ ගුවන් ගමන් ආරක්ෂක නිලධාරීන්ගේ පාඨමාලාවට සහ එක්සත් ජනපදයේ උසස් ආරක්ෂක සහයෝගීතා පාඨමාලාවට සක්‍රීයව සහභාගී වී තිබේ. 
 
එමෙන්ම, නව ගුවන් හමුදාපතිවරයා අමෙරිකා එක්සත් ජනපදයේ ඇලබාමා හි ගුවන් විශ්වවිද්‍යාලයෙන් හමුදා මෙහෙයුම් කලාව පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය සහ එක්සත් රාජධානියේ ලන්ඩන් හි කිංග්ස් කොලේජ් වෙතින් ජාත්‍යන්තර ආරක්ෂාව සහ උපාය මාර්ග පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය ලබාගෙන ඇත.
 
ජාත්‍යන්තර ආරක්‍ෂාව සහ උපාය මාර්ග පිළිබඳ විශේෂඥතාවක් ඇති එක්සත් රාජධානියේ ආරක්‍ෂක අධ්‍යයන රාජකීය විද්‍යාලයේ (RCDS) ද ඔහු ඉගෙනුම ලැබීය.
 
මානුෂීය මෙහෙයුම්වලදී නව ගුවන් හමුදාපතිවරයාගේ නිර්භීත සහ පරාර්ථකාමී දායකත්වය අගයමින් අවස්ථා තුනකදී “රණ ශූර පදක්කම” පිරිනමා තිබේ.
 
එමෙන්ම, ඔහුගේ ආදර්ශවත් සහ නොකැළැල් සේවය නිසා “විශිෂ්ට සේවා විභූෂණ” සහ “උත්තම සේවා පදක්කම” යන පදක්කම් වලින් පිදුම් ලබා ඇත.
 
ගුවන් හමුදා මේසපන්දු, ටෙනිස් සහ ගොල්ෆ් ක්‍රීඩා නියෝජනය කළ නව ගුවන් හමුදාපතිවරයා ගුවන් හමුදා මලල ක්‍රීඩා සභාපතිත්වය ද දරා තිබේ. ඔහුට ටෙනිස් සහ ගොල්ෆ් සඳහා ගුවන් හමුදා වර්ණ පිරිනමා ඇත්තේ ඔහුගේ ක්‍රීඩා ජයග්‍රහණ අගයමින්ය. 
 
ගුවන් හමුදාපති ධූරයේ රාජකාරී ආරම්භ කිරීමට පෙර උදේනී රාජපක්ෂ මහතා ගුවන් හමුදාවේ මාණ්ඩලික ප්‍රධානී ලෙස කටයුතු කළේය.

Comments