ඉලක්කයට වැඩ කරනවා නම් ජීවිතේ අපට බැරි දෙයක් නෑ... | සිළුමිණ

ඉලක්කයට වැඩ කරනවා නම් ජීවිතේ අපට බැරි දෙයක් නෑ...

88- 89 ජවිපෙ භීෂණ සමයයි. යමක් සඳහන් වූ තුණ්ඩු කෑල්ලක් බැංකුවට එයි. එහි සඳහන්ව ඇත්තේ තර්ජනයකි. ඒ එදින බැංකුව වසා දමන ලෙස ය. එහෙත් බැංකුවකට තම ගනුදෙනුකරුවන්ගේ විශ්වාසය බිඳිය නොහැකි ය. ඉදිරිපස දොර බාගයක් වසා දමා පිටුපස දොර විවෘත කර ඔහු ඇතුළු සේවක පිරිස සිය ගනුදෙනුකරුවන්ගේ අවශ්‍යතා පූර්ණය කරන්නේ සිය සේවය පිළිබඳ ඔවුන්ගේ විශ්වාසය වැඩි කරමිනි. ඊළඟ දිනයේ කාර්යාලයට එන්නට ප්‍රවාහන පහසුකම් නැත. එහෙත් සේප්පුවේ යතුර ඔහු ළඟ ය. කෙසේ හෝ පැමිණිය යුතුමය. ටී ෂර්ටයකින් හා කලිසමකින් සැරසෙන ඔහු ගල්කිස්සේ සිට අතුරු පාරවල් ඔස්සේ දාඩිය පෙරාගෙන නුගේගොඩ සම්පත් බැංකු ශාඛාවට එන්නේ පාපැදියක් පැදගෙනය. බැංකුවට පැමිණ මූණ කට සෝදා ෂර්ටයකින් සැරසී ටයි පටිය පැලඳ ගන්නා ඔහු අනතුරුව ගනුදෙනුකරුවන් ඉදිරියේ පෙනී සිටින්නේ ය. කනිෂ්ඨ විධායක නිලධාරී තනතුරේ සිට කළමනාකාර අධ්‍යක්ෂ ධූරය දක්වා ඔහු එන ගමන සුන්දර නැත. අභියෝගාත්මක ය. අභියෝගාත්මක ඕනෑම දෙයක් ඔහු සලකන්නේ අවස්ථාවක් ලෙසිනි. බාලදක්ෂයකු ව සිට බාලදක්ෂ නායකයකු දක්වා ආ ගමන ඊට බෙහෙවින් බලපාන්නට ඇත. වත්මන සම්පත් බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂවරයා වන ඔහු නමින් නන්ද ප්‍රනාන්දු ය. සිය වසර 41ක බැංකු ක්ෂේත්‍රයේ අත්දැකීම් අප හා බෙදා ගත් ඔහු සිය සාර්ථකත්වයේ රහස වන්නේ අසීමිත කැපවීම හා සැලසුම් සහගතව වැඩ කිරීම බව මේ සංලාපයේදී අවධාරණය කරයි. මේ ඔහුගේ දිවිසැරියේ සැමරුම් මතක පිළිබඳ සංක්ෂිප්ත සංලාපයෙකි.

නම

නන්ද ප්‍රනාන්දු

ගම් පළාත

මම උපදින්නේ බිබිලෙ. නමුත් හැදුණෙ වැඩුණෙ ගල්කිස්සෙ.

උපන්දිනය

1962 නොවැම්බර් 07 වැනිදා

අම්මා තාත්තාගේ නම් සහ වෘත්තීන්

අම්මා ශ්‍රියාවතී, ඇය ගෘහණියක්. තාත්තා කරුණාරත්න. තාත්තා පෞද්ගලික අංශයේ විධායක කළමනාකරුවෙක් විදියට සේවය කළා.

සහෝදර සහෝදරියන්

මට අක්කා කෙනෙක්, මල්ලි සහ නංගිලා දෙන්නෙක් ඉන්නවා

පාසල් යන්නේ

ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයේ තමයි මම අධ්‍යාපනය ලැබුවේ

බාලදක්ෂ ව්‍යාපාරයත් එක්ක ඔබේ තියෙන බැඳීම එන්නෙ පාසලෙන්ද?

ඔව්. පාසලේ බාලදක්ෂ ව්‍යාපාරය ක්‍රියාත්මක වුණා. 1975 දී වයස අවුරුදු 12 දී මමත් බාලදක්ෂ ව්‍යාපාරයට සම්බන්ධ වුණා. ඒක මගේ ජීවිතේ හැරවුම් ලක්ෂ්‍යයක්. ඒ වැඩසටහන් ඇතුළෙ මම අර කලින් කළ සියලු ක්‍රියාකාරකම් තිබුණා. ඒ නිසාම පොඩි කාලෙ ඉඳන් මට බාලදක්ෂ ව්‍යාපාරය ගැන ලොකු ලැදියාවක් තිබුණා. එහි දැක්ම වුණු එළිමහන් ජීවිතයෙන් කුඩා ළමයින් යහපත් පුරවැසියන් කිරීම කියන එකට මම ගොඩක් කැමැති වුණා. මොකද එළිමහන් ජීවිතයට තමයි මම කැමැති. රටේ තිබුණෙත් සාමකාමී පරිසරයක්. කුඩා කාලයේදී තාත්තා නැති වුණා. ඒ වුණාට අපිට අම්මා නිදහස දුන්නා. මම ගොඩක් එළිමහන් කටයුතුවලට දායක වුණා.

නායකත්වය කියන දේ හැදෙන්නෙ එතැනින්?

ඔව්. කුඩා කණ්ඩායම් සහ ඒ කණ්ඩායම්වල නායකයන් හිටියා. වැඩිහිටි නායකයන්ගේ බලපෑම බොහොම අඩුයි. එයාලා පිටුපස ඉඳන් බලන් ඉඳලා යම් අඩුපාඩුවක් වුණොත් විතරක් නිවැරදි කිරීමක් කළා. මට කුඩා කණ්ඩායම්වල නායකත්වය දරන්න ලැබුණා අවුරුදු 12 ඉඳන් ම. ටිකෙන් ටික මට නායකත්වය ගැන අත්දැකීම් සහ අවස්ථා ලැබුණා. බාලදක්ෂ නායකයෙක් වුණාට පස්සෙ කොළඹ දිස්ත්‍රික් බාලදක්ෂ වැඩවලට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණා. තව ටික කාලයක් යද්දි උප කඳවුරු නායක, කොළඹ සංවිධායක වගේ ක්‍රියාකාරී අවස්ථා ලැබීම නිසා විශාල පිරිස්වලට නායකත්වය දීමේ හැකියාව හා පුහුණුව මට ලැබුණා. නායක හා නායකයන් පුහුණු කිරීමේ වැඩමුළුවලට සම්බන්ධ වෙන්න මට අවස්ථාව ලැබුණා. අන්තිමට මම ලංකාවේ බාලදක්ෂ ව්‍යාපාරයේ පුහුණු කිරීමේ නායකයෙක් බවට පත් වුණා.

මේ දේවල් එක්ක පාසල් වැඩ අතපසු වුණේ නැද්ද?

ඉස්කෝලෙ වැඩ අතපසු වුණා. මේවා විතරක් නොවෙයි, අපි පාසල ළඟ තිබුණු සිනමාහල් දෙකේම චිත්‍රපට බැලුවා. පාසල් කට් කරන ඒවා එහෙම අනන්තවත් කළා. හැම සිකුරාදාම පාසල් යන්නෙ නෑ, මොකද හැම සිකුරාදාවක ම බාලදක්ෂ කඳවුරක් තියෙනවා.

කොහොමද විභාග ටික කර ගත්තේ?

අන්තිම මාස තුනේ වගේ තමයි අපි පාඩම් කළේ. අන්තිම මාස තුන වෙද්දි අපි මේ වැඩ සියයට සීයක් ම නතර කළා. ඒ පුරුද්ද දිගටම ගියා. පස්සෙ බැංකුවේ විභාග කළෙත් එහෙමයි.

උසස් පෙළට කළ විෂය ධාරාව මොකද්ද?

මම හැම විෂයය ධාරාවක් ම කළා. මුලින් ම ගණිතය විෂයයන් කළේ. හැම සිකුරාදාම ඉස්කෝලෙ නැති නිසා පාඩම් වැඩ හරියට කෙරෙන්නෙ නෑ. ඒ දවස්වල සති දෙකකට වරක් පාසලේ විභාග තිබුණා. රිපෝට්ස්වල ලකුණු නෑ ඉතින්. ඉගෙන ගෙන නැතිව කොහොමද විභාග ලියන්නෙ. පළවැනි මාස තුනක් යද්දි මට ගණිත විෂයයන් හතරම මඟ හැරිලා. පස්සෙ මම විද්‍යා විෂයයන් කරන්න ගත්තා. හැබැයි ඒකට වුණෙත් අර විදියම තමයි.

තාත්තා ඒ වෙනකොට ජීවිතයෙන් සමු අරන් නිසා අධ්‍යාපනයට වැඩි නැඹුරුවක් ඇති කරන්න කෙනෙක් ඔබ පිටුපස්සෙන් හිටියෙ නැද්ද?

තාත්තා හිටියා නම් අධ්‍යාපනයට මීට වඩා තැනක් දෙන්න කියලා කියාවි තමයි. අම්මා අපට එච්චර බල කළේ නෑ. නිදහස දුන්නා. නමුත් පාඩම් කරන්න කියන එක කියමින් අම්මා පිටුපස හිටියා. ඒ දවස්වල පන්තියක හිටියෙ ළමයි 30ක් විතර. මම ඒ අතරේ පළමු දහවැනියා අතර හිටියා. ඒනිසා අම්මා එච්චර කලබල වුණේ නෑ.

විද්‍යා විෂයයනුත් මඟින් අතහරින්න ඇති?

මම කල්පනා කළා, විද්‍යා විෂයයන් කරනවා නම් මේ දෙකෙන් එකක් නවත්තන්න ඕන කියලා. එක්කො අධ්‍යාපන වැඩ, නැත්නම් බාලදක්ෂ. මම ඉතින් විද්‍යා විෂයයන් හදාරන එක නතර කළා. එතැනින් මම කලා විෂයයන් කරන්න මාරු වුණා

මෙහෙම වරින් වර මාරු වෙද්දි පාසලෙන් ගැටලුවක් දැම්මෙ නැද්ද?

ඇත්තටම ඉස්කොලෙන් එහෙම නිතර නිතර මාරු වෙන්න ඉඩකඩක් තිබුණෙ නෑ. හැබැයි ඉතින් මම කොහොම හරි කරගත්තා. මාස 6ක් විතර කරද්දි මට තේරුණා, ඒකත් අමාරුයි කියලා. සාහිත්‍ය, ඉතිහාසය... මේවා පාඩම් කරන්න ඕන. මම කටපාඩම් කරන්න අකමැතියි. මූලධර්ම ටික ඉගෙන ගත්තොතින් ගොඩක් දේවල් කරන්න පුළුවන් කියලා මට හිතුණා. දැන් උසස් පෙළ අවුරුදු දෙකහමාරෙන් අවුරුද්දක් ම ගිහින්. අන්තිමට මම වාණිජ විෂයයන් කරන්න ගත්තා. මගේ බාලදක්ෂ නායකයා තමයි වාණිජ විෂයය ධාරාවෙ දෙපාර්තමේන්තු ප්‍රධානියා විදියට හිටියෙ. අනික් ළමයිව අවුරුද්දක් විතර ගියාට පස්සෙ ගන්නෙ නෑ. හැබැයි මම හොඳට බාලදක්ෂ වැඩ කරන නිසා එයා මාව ගත්තා. පළවැනි අවුරුද්දෙ මට පාඩම් නෝට්ස් මොකුත් නෑ. අවුරුදු එකහමාරෙන් මම උසස් පෙළ කළා. ඊට පස්සෙ මම හැටන් නැෂනල් බැංකුවට අයදුම්පතක් දැම්මා.

විශ්වවිද්‍යාලෙට ඇතුළත් වුණේ නැද්ද?

නෑ, මට කවදාවත් විශ්වවිද්‍යාලෙ යන්න උවමනාවක් තිබුණෙ නෑ.

ඔබ හැටන් නැෂනල් බැංකුවේ සේවයට එකතු වෙනවද?

ඔව්. මම ඒ ඇතුළත් වීමේ විභාගෙන් හොඳට සමත් වුණා. ඉස්සෙල්ලම මම නුගේගොඩ ශාඛාවේ වැඩ කළේ.

කුමන තනතුරට ද බැංකුවෙ ඇතුළත් වෙන්නේ?

කනිෂ්ඨ විධායක නිලධාරී විදියටයි වැඩ කළේ. ලේක්හවුස් මුද්‍රණාලයේ වැඩ කරපු මගේ යාළුවෙක් දවසක් කිව්වා අලුත් බැංකුවක් පටන් ගන්නවා... මම තමයි චෙක් පොත් මුද්‍රණය කරන්නෙ.... කියලා. Investment and Credit Bank කියලා තමයි මේ අලුත් බැංකුව පටන් ගත්තෙ. මමත් ඒකට අයදුම්පතක් දැම්මා. පස්සෙ තමයි සම්පත් බැංකුව කියලා නම වෙනස් කළේ. බැංකුව පටන් ගත්තෙ 1987. බැංකුව පටන් ගත්ත අවුරුද්දෙම බැංකුවට බැඳුණු අය දැන් හැමෝම වගේ විශ්‍රාම ගිහින්. ඒකෙත් මම කනිෂ්ඨ විධායක නිලධාරී විදියට තමයි හිටියෙ.

කීයද පළවැනි වැටුප?

හැටන් නැෂනල් බැංකුවෙත් ටික කාලයක් වැඩ කරලා තිබුණු නිසා මට ටිකක් වැඩි වැටුපක් ලැබුණා. මට මතක විදියට රුපියල් 1,100යි. හැටන් නැෂනල් බැංකුවේ අපට අතිකාල දීමනා ගෙව්වා. ඒවගේ ම බෝනස් ලැබුණා. හැබැයි සම්පත් බැංකුවෙදි අපට කිව්ව දෙයක් තමයි බෝනස් ලැබෙන්නෙ ආයතනය ලාභාංශ පෙන්නද්දි. පටන් ගත්ත ගමන් ආයතනයකින් බෝනස් නම් ගෙවන්නෙ නෑ කියලා.

ලැබීම් පාර්ශ්වය අඩු වෙද්දිත් ඇයි සම්පත් බැංකුවටම යන්න හිතුණෙ?

අලුත් බැංකුව පටන් ගනිද්දිම ඒ අය කියපු දෙයක් තමයි මේ බැංකුව මුල ඉඳලම පටන් ගන්නේ පරිගණක තාක්ෂණය මත ක්‍රියාත්මක වෙන බැංකුවක් කියලා. ඉතින් ඒකට තමයි මම ආස වුණේ. මම අර කැප කිරීම් කරලා සම්පත් බැංකුවට යන්න තීරණය කළේ ඒකයි.

ගත්ත තීරණය ගැන පස්සෙ සතුටක් දැනුණද?

ඇත්තටම සම්පත් බැංකුව වෙනස්. ආරම්භයේදී ම සම්පත් බැංකුව ප්‍රධාන වෙනස්කම් කිහිපයක් හඳුන්වා දුන්නා. ඒක බැංකු ක්ෂේත්‍රයේ විප්ලවීය වෙනසක් වුණා. ගනුදෙනුකරුවන් ප්‍රධාන කරගෙන, ඒ අය ගැන වැඩි අවධානයක් හා පහසුකම් ලබා දෙමින් ඒ කළ වෙනස නිසා බැංකුව පාරිභෝගිකයන් අතර අතිශය ජනප්‍රිය වුණා. මම මුලින් ම වැඩ කළේ නගර ශාඛාවේ. 1988 දී නුගේගොඩ ශාඛාව විවෘත කළා. මම නුගේගොඩ ශාඛාවෙ අවුරුදු 4ක් හිටියා. ප්‍රධාන කාර්යාලයට ආවට පස්සෙ ණය අංශවල අවුරුදු 4ක් විතර වැඩ කළා. ඊට පස්සෙ මට මාතර ශාඛාවේ කළමනාකරු විදියට වැඩ කරන්න ලැබුණා.

ඒ කියන්නේ උසස්වීමක්?

ඒ වෙනකොට මට උසස්වීම් දෙක තුනක් ලැබිලා තිබුණා. මම මාතරට යද්දි ජ්‍යෙෂ්ඨ විධායක නිලධාරියෙක්. මම මාතර අවුරුදු හතරක් විතර වැඩ කළාට පස්සේ පරණ යෝන් වීදියේ ශාඛාවට ආවා.

88-89 ජේවීපී කලබල ඔබට බලපෑමක් කළාද?

බලපෑම් කළා. හිටිය ගමන් අපට හවසට තුන්ඩුවක් එනවා බැංකුව වහන්න කියලා. එක දවසක් කොළ කෑල්ලක් ආවා පැය භාගයක් ඇතුළත බැංකුව වැහුවෙ නැතොත් ජීවිත ඉවරයි කියලා. සේප්පුවෙ එක යතුරු කැරැල්ලක් මම ගාව තිබුණෙ. අපිට වාහන මුකුත් නෑ. මම ගොඩක් වෙලාවට ගල්කිස්සෙ ඉඳන් පොඩි පොඩි අතුරුපාරවලින් පාපැදියක් පැදන් එන්නෙ. කොහොම හරි මම බැංකුවට ආවා. මොකද ගනුදෙනුකරුවන් අතරමං කරන්න බැරි නිසා. සමහර වෙලාවට ඉස්සරහ දොර භාගෙට වහලා පිටුපස්සෙ දොරෙන් ගනුදෙනු කළා. ටී ෂර්ට් එකක් ඇඳගෙන පුෂ් බයිසිකලේ පැදන් බැංකුවට ගිහින් එහෙදි මූණ කට හෝදගෙන ෂර්ට් එකයි ටයි එකයි ඇඳගෙන ආපහු එද්දි ආව විදියට ඇඳුම් මාරු කරගෙන තමයි ගෙදරට ආවෙ.

බැංකු විභාග කළා ද ඒ අතරේ?

බැංකුවට සම්බන්ධ වුණු දවසේ ඉඳන් මම ඒ අදාළ විභාග කළා. වැඩ අතරේ විභාගත් කළා.

බාලදක්ෂ ව්‍යාපාරයෙත් දිගටම කටයුතු කළාද?

සහකාර සාමාන්‍යාධිකාරී වෙලා ඉන්නකොට කොළඹ දිස්ත්‍රික්කයේ යම් ගැටලුකාරී තත්ත්වයක් තිබිලා මට ජාතික මධ්‍යස්ථානයෙන් ඉල්ලීමක් කළා, කොළඹ දිස්ත්‍රික්කයේ කොමසාරිස් තනතුර භාර ගන්න කියලා. මම ඒ වෙලාවෙ ඒක භාර අරගෙන ඒ ප්‍රශ්නය සමනය කෙරුවා. මම භාර ගත්තේ අවුරුද්දකට වුණාට අවුරුදු දෙකක් මම ඒ තනතුරේ වැඩ කළා. ඊට පස්සෙ ඉවත් වුණා.

බැංකුවෙන් ඉවත් වෙලාද මේ වැඩ කළේ?

නෑ, ඒක කළේ අමතර දෙයක් විදියට. බැංකුවෙ වැඩ කරන අතරේ කළේ. මට දෙගුණයක් වෙහෙසෙන්න වුණා. හැබැයි ඉවත් වුණාට පස්සෙ මට බාලදක්ෂ වැඩවලට ඒතරම් යොමු වෙන්න බැරි වුණා. එතන ඉඳන් මම සියලු මෙහෙයුම් කටයුතු කළා.

ඔබ පියවරෙන් පියවර බැංකුවේ උඩට එනවා. ඒ ගමන් මඟ ගැන කතා කළොත්?

පටන් ගත්තේ කනිෂ්ඨ විධායක නිලධාරියෙක් විදියට. ටිකෙන් ටික ඉහළට ඇවිත් සහකාර සාමාන්‍යාධිකාරී, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී, සාමාන්‍යාධිකාරී, ප්‍රධාන මෙහෙයුම් නිලධාරී වෙලා ඉඳලා තමයි 2016 කළමනාකාර අධ්‍යක්ෂ වුණේ.

තමන්ගේ සේවකයන් එක්ක තියෙන බැඳීම කවරාකාරද?

මම සාමාන්‍යයෙන් වෙනස් කෙනෙක්. එයාලා වැඩ කරන වෙලාවට උපරිම වැඩ කිරීමක් මම බලාපොරොත්තු වෙනවා. විනෝද වෙලාවටත් මමත් උපරිම මට්ටමෙන්ම එයාලගෙ මට්ටමටම බැහැලා විනෝද වෙනවා. කනිෂ්ඨ සේවකයන්ගෙ ඉඳන් හැමෝම මාත් එක්ක ඒ නිසා හරි එකතුයි.

මුල ඉඳන් ම ආව එක ඔබට පහසුවක් වෙන්න ඇති?

ඔව්, මම එතකොට හැමදේම දැනගෙනනෙ වැඩ කරන්නෙ. අනික එයාලගේ අවශ්‍යතා මොනවද, හැකියාවන් මොනවද කියලා මම දන්නවා. ඒ හින්දා මම බැංකුවෙ 80% කට වඩා සේවකයන් ඔවුන්ගෙ නම්වලින්ම දන්නවා.

ඔබට තියෙනවා හොඳ මතක ශක්තියක්?

සාමාන්‍යයෙන් මට හොඳ මතක ශක්තියක් තියෙනවා. විශේෂයෙන්ම ඒක දියුණු වුණේ මගේ තාත්තා අපි කුඩා කාලෙ චක්කරේ පාඩම් කරවපු එකෙන්. පොඩිකාලෙ එහෙම මතකය දියුණු කරන පොඩි පොඩි ව්‍යායාම කරවලා තියෙනවා. ඒ නිසා වෙන්න ඇති, මගේ මතකය ඉතාම හොඳයි.

තමන්ගෙ සේවයකයන්ගේ හැකියා නොහැකියා හඳුනා ගැනීම වැදගත් ඇයි?

මේ වගේ තනතුරක් කරන කොට කෙනකුගේ හැසිරීමේ විද්‍යාව ගැන අධ්‍යයනයක් කරන්න ඕන. මානව හැසිරීම් කියන එක පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස්. ඒ එක එක එක්කෙනාගේ හැකියාවන් අපි හඳුනා ගන්න ඕන. වඩු කාර්මිකයකුට විදුලි කාර්මිකයකුගේ වැඩ පවරලා වැඩක් නෑ. එක එක්කෙනාගේ හැකියාවන් හා නොහැකියාවන් ගැන මට අවබෝධයක් තියෙනවා. ඒක ගොඩක් වැදගත් වුණා වැඩ පැවරීමේදී.

වෘත්තිකයකුට කැපවීම කොච්චර වැදගත් ද?

මම කොච්චර කැපවීමෙන් වැඩ කරන කෙනෙක් ද කියලා මගේ සේවකයන් දන්නවා. මට ඇත්තටම වැඩ කරන්න වෙලාවක් නෑ. සමහර වෙලාවට පැය 20ක් විතර වැඩ කරන වෙලාවල් තියෙනවා. මම ගොඩක් වෙලාවට ඊළඟ දවසෙ කෙරෙන්න ඕන වැඩ ටික කලින් දවසෙ රෑට ඒ අදාළ අයට වට්ස්ඇප් හෝ ඊමේල් මඟින් යොමු කරලා තියෙනවා. එතකොට ඒ අය දන්නවා උදේට තමන් අද කළ යුතු වැඩ මොනවද කියලා. අනිත් එක පුහුණු කිරීම් කියන දේට වැඩි ප්‍රමුඛත්වයක් දුන්නා. ලංකාවෙ වගේම පිටරටවල විශ්වවිද්‍යාලවලටත් අදාළ අය යොමු කර පුහුණු වීම් කළා.

ඔබ කළමනාකාර අධ්‍යක්ෂ බවට පත්වෙන්නේ 2016 දි. එදා ඉඳගා ගත්තම ඔබ නායකත්වය දුන් කාලසීමාව ඇතුළත රටේ සහ ලෝකයේ බොහෝ ගැටලු ඇතිවුණු වකවානුවක්. කොහොමද මේ තත්ත්ව එක්ක වැඩ කටයුතු සමබරව කරගත්තේ?

2016 ඉඳන් මට අවුරුදු දෙකයි නිදහසේ වැඩ කරන්න ලැබුණේ. 2019 පාස්කු ප්‍රහාරය ආවා. 2020-2021 අවුරුදු දෙකම කොවිඩ් නිසා අතිශය ගැටලු ඇති වුණා. 2022 වසරේදී ආව අභියෝගය මේ හැම එකකටම වඩා වැඩියි. අපි අපිට විදේශ සඳහා ගෙවීමට ඇති ණය ගෙවිය නොහැකි බව දැනුම් දුන්නා. මගේ අවුරුදු 41 බැංකු අත්දැකීම් ඇතුළෙ විශාලම අභියෝගය ආවෙ 2022 වසරේ. මගේ අවුරුදු හතෙන් අවුරුදු 5ක් ම අසීරුම කාල.

ජීවිතේ හැරවුම් ලක්ෂ්‍ය ගැන කතා කළොත්? 

මට ජීවිතේ හැරවුම් ලක්ෂ්‍යය තුනක් තියෙනවා. ඒ තමයි බාලදක්ෂ ව්‍යාපාරයට එකතු වීම, උසස් පෙළට වාණිජ විෂයයන් හැදෑරීම සහ සම්පත් බැංකුවේ සේවයට එක් වීම.

සාර්ථකත්වයට හේතුව කුමක්ද?

ඕනෑම කෙනකුගේ සාර්ථකත්වයට ප්‍රධාන වශයෙන් හේතු වෙන්නේ ඒ අයට මුහුණ දීමට තිබුණු අභියෝග හා පසුබෑම්. එතකොට මම හිතෙන්නෙ ඕනෑම දෙයක පසුබැස්මක් බලාපොරොත්තු නොවෙන කෙනකුට හෝ පසුබැස්මක් වෙනවට බියවන්නකුට ඉස්සරට යන්න තියෙන අවස්ථා ගොඩක් අඩුයි. අපි යම් කිසි දෙයක් කරන්න බය නම් අපිට දුර ගමනක් යන්න බෑ. කෙටි කාලීන වේගය සහ දුර ගමන් කිරීම කියන්නෙ දෙකක්. අපි කිසිම දේකට බය වෙන්න හොඳ නෑ. අවදානම් ගන්න ඕන. බය නිසා කළ හැකි දේ නොකිරීම හෝ කිරීමට කල් ගැනිම නොකළ යුතු දෙයක්. හැම දවසක්ම අලුත් අවස්ථාවක්. අනික වැඩක් පටන් ගත්තම මම නම් ආයෙත් පස්ස බලන්නෙ නෑ. විරෝධතා එනවා, තර්ජන එනවා. නමුත් මම ඒවා ගණන් ගන්නෙ නෑ.

ඒවගේම මගේ සාර්ථකත්වයට තවත් හේතුවක් තමයි වැඩ කිරීමට වඩා ඒ දේ සැලසුම් කිරීමට මම කාලය යෙදවීම. සැලසුම් කරගෙන ගියොත් ඕනෑම දෙයක් කරන්න පුළුවන්.

කවුද ඔබේ ජීවන සහකාරිය

1993 තමයි අපි විවාහ වුණේ. ඇගේ නම දේශානි. 1994 දි පුතා ලැබුණා. එයාගෙ නම ගිහාන්. පුතා මෘදුකාංග ඉංජිනේරුවරයෙක්. එයාට වෙනම ව්‍යාපාරයක් තියෙනවා.

පොත් කියවන්න කැමතිද?

මම ගොඩක් වෙලාවට පොත් කියවනවා. ගෙදර ලොකු පුස්තකාලයක් තියෙනවා. පිටරට යද්දි ගොඩක් වෙලාවට මම කියවනවා. ව්‍යාපාරික දැනුම හා ව්‍යාපාරික අත්දැකීම් මම කියවන්න කැමතියි. දක්ෂ ව්‍යාපාරිකයන්ගේ චරිත කතා කියවන්න කැමැත්තක් තියෙනවා.

කොහේද සංචාරය කරන්න කැමති?

ගොඩක් සුන්දර දේවල් ප්‍රධාන පාර අයිනෙ නෑ. ඒවා හොයාගෙන ඇතුළට යන්න ඕන. කැලෑවල, කඳුවල ඇවිදින්න කැමතියි. අලුත් අත්දැකීම්, වෙනස් දේවල් දකින්න කැමතියි

විවේක වෙලාවට මොකද කරන්නෙ

එකම දේ මම දන්නෙ නෑ, විවේකයි, විවේක නැති වෙලාවයි අතර වෙනස. නිදිමත වෙනකම් හැමවෙලාවෙම මම වැඩ. මම කරන රැකියාව මම ගොඩක් කැමැත්තෙන් කරන්නෙ. ඕනෑම කෙනෙක් තමන් කරන කාර්යයෙන් තෘප්තියක් ලබන්නෙ නැතිනම් ඒක කරන් යන්න අමාරුයි. කැපවීම කියන එක ගොඩක් වැදගත්. මම කරන ඕනෑම දෙයක් හරිම ඇතුළාන්තයෙන්ම කරන්නයි මගේ කැමැත්ත. තමන් දෙයක් ඉලක්ක සහගතව කරනවා නම් ඒකට ඒකාකාරීව කැප වෙන්න ඕන. එහෙම කරනවා නම් ජීවිතේ අපට බැරි දෙයක් නෑ.

Comments