සෙනසුරු චක්‍ර ෙය් ග්‍රහදොස් දුරලන වත්පිළිවෙත් මෙන්න | සිළුමිණ

සෙනසුරු චක්‍ර ෙය් ග්‍රහදොස් දුරලන වත්පිළිවෙත් මෙන්න

වාරියපොළ කොළඹගම ශ්‍රී මියුගුණාරාම රාජමහා විහාරාධිකාරී, නේපාලයේ ලුම්බිණි නුවර නේපාල ශ්‍රී ලංකා මහා විහාරයේ භාරකාර විහාරාධිපති,

සම්මානිත ආචාර්ය පූජ්‍යපාද ගල්ලැහැපිටියේ පේමරතන ස්වාමීන් වහන්සේ (කොළඹගම පොඩි හාමුදුරුවෝ)

සිළුමිණ ඉසිවර පාඨක පින්වත් ඔබ වෙත අද දින අප ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන්නේ මේ දිනවල බොහෝ පිරිසකගේ කතාබහට ලක්ව ඇති "සෙනසුරු " ග්‍රහයාගෙන් ඇති වන ඍජු සහ වක්‍ර පීඩාකාරී බලපෑම් පිළිබඳවයි. ශ්‍රී ලංකා ජනරජ කේන්දරයේ ලග්නය මකර ලග්නයයි. මකර ලග්නයට ශනි ග්‍රහයා මිත්‍රව කටයුතු කිරීම යම් ප්‍රමාණයකට සතුටු විය හැකි කාරණයකි.

2023 ජූනි මස 17 වන දින සිට 2023 නොවැම්බර් මස 8 වැනි දින දක්වා ශනිගේ වක්‍ර වීම සිදු වේ. ශනි නමින් හැඳින් වන්නේ සෙනසුරුය. ශනි යන වචනයේ තේරුම ‘සෙමින් ගමන‘ යන්නයි. මන්දගාමී යන නම ශනිට භාවිත වන්නේද මෙම සෙමින් ගමන නිසාය. සෙනසුරුට එක් රාශියක ගමන් කිරීමට අවුරුදු 2, 5 පමණ ගත වේ. මේ අනුව රාශි චක්‍රය වටා සෙනසුරුට එක රවුමක් යාමට අවුරුදු 30ක් පමණ ගත වේ.

ජ්‍යොතිෂයට අනුව සෙනසුරු යනු රවිගේ පුත්‍රයාය. මව චායා දේවියයි. චායා දේවිය යනු සූර්ය දිව්‍ය රාජයාගේ බිසවකි. සෙනසුරුට නියම කර ඇති පැහැය කළු හෝ තද නිල් පැහැයයි. ඔබගේ කේන්දරයේ චන්ද්‍රයා පිහිටි රාශියත් ඊට දෙපැත්තේ පිහිටි රාශි දෙකත් ඇතුළුව රාශි තුනේම ශනි ග්‍රහයා ගමන් කරන කාලය සෙනසුරු ⁣ඒරාෂ්ටක අපල කාලයයි. එසේම චන්ද්‍රයා සිටි රාශියෙන් අටවැනි රාශියේ ශනි ගමන් කිරීමද සෙනසුරු ඒරාෂ්ටක කාලයයි. මේ රාශි හතරේ ශනිගේ ගමනට අවුරුදු 10ක් ගත වේ. රාශි චක්‍රය වටා සෙනසුරු වසර 30ක් ගමන් කරන විට ඉන් වසර 10ක්ම සෙනසුරු ඒරාෂ්ටක අපල කාලය බව අමතක නොකරන්න. ඔබගේ ආයුෂ අවුරුදු 120ක් නම් එයින් අවුරුදු 90ක් ම සෙනසුරු අපල කාලය බව පැහැදිලිය. මෙය විහිළුවක් යැයි ඔබට පෙනී යා හැක. එහෙත් සත්‍යය නම් ඔබ දුක් ගොඩක් මැද ජීවත් වීමයි. එහෙත් ඔබට මඟ පෙන්වන්නා ඔබට දැනමුතුකම් පෙන්වා දෙන්නා දුක්බර වේදනාකාරී අත්දැකීම් තුළින් ඔබේ ජීවිතය හැඩගස්වන්නේ සෙනසුරු බව මොහොතකටවත් අමතක නොකරන්න. සෙනසුරුගෙන් විද්‍යමාන වන්නේ ආයුෂය, රෝග පීඩා, රැකියා දුක් පීඩා, පැවිදි බව, දිළිඳු බව, විරාගී බව ආදී දේයි.

මේ තුළින් මරණය, රෝග පීඩා, දුක, තනි වීම, ආර්ථික දුෂ්කරතා, ගිහිගෙය කලකිරීම, ව්‍යාපාර බිඳවැටීම, රැකියා අහිමි වීම් ආදිය ඇතිවිය හැක. කෙසේ වෙතත් තෙරුවන් සරණ ගිය බොදුනුවන් හැටියට මෙම ග්‍රහ පීඩා යනු සසර අකුසල සංස්කාරයන්ගේ විපාකයි. ග්‍රහ තත්ත්වය යහපත් වී ඔබට සෞභාග්‍යය උදාවීම යනු අතීත කුසල සංස්කාරයන්ගේ විපාකයි. මෙම සෙනසුරු ග්‍රහ පීඩාවන් තුරන් කර ජීවිතයට සැනසීමක් බලාපොරොත්තු වන පින්වතුන් බුදුරජාණන් වහන්සේ දිවි හිමියෙන් සරණ යාමත් සද්ධර්මය හා සංඝරත්නය සරණ යාමත් සිදුකර නිවසේ තෙරුවන් වඳින ස්ථානයේ හෝ විහාරස්ථානයේ බුදු මැඳුර එසේ නොමැතිනම් බෝධීන් වහන්සේ අබියස පානීය පරිභෝජනය සඳහා ප්‍රමාණවත් භාජනයක පිරිසිදු පැන් බඳුනක් පූජා කරන්න.

නිවසේ නම් ඔබට එය උදේ සවස සිදු කළ හැක. පන්සිල් සමාදන් වී ඉතා සිහි කල්පනාවෙන් ශික්ෂා පද ආරක්ෂා කරගත හැකි නම් උතුම් ශීලයේ රැකවරණයද ඔබට නිතැතින් සැලසෙනු ඇත. තෙරුවන් වන්දනා කර මල් පහන් ආදී පූජෝපහාර පවත්වා තෙරුවන් සමා කරගෙන පිරිත් පොතෙහි ඇති මෙම ලෝක ධාතුවේ ඇති උතුම් සූත්‍ර දේශනාවක් වූ ධජග්ග සූත්‍ර දේශනාව පිරිත් පොත බලාන කියවන්න. සෙනසුරු ප්‍රධාන ග්‍රහ මණ්ඩලයට අධිපති වන්නේ ශ්‍රී මහා විෂ්ණු දිව්‍ය රාජයාණන් බැවින් සියලු වතාවත් නිමවා මෙම ගාථාවෙන් ශ්‍රී විෂ්ණු දිව්‍ය රාජයාට පින් දෙන්න.

"සම්බුද්ධ සාසන වරං යති පුංග වන්ච

සම්පාලනාය පටිලද්ධ වරෝ යසස්සී

පුඤ්ඤානි මානි අනුමොදිය වාසු

දේවෝ පාලේ තුමං සතත සහත හිතා වහන්තු"

මෙසේ පින් දීමෙන් අනතුරුව මෙම අතිශය ආනුභාව සම්පන්න පුරාණ සෙනසුරු ජපය 21 වතාවක් තම සෙනසුරු අපලය දුරු වේවා යන අධිෂ්ඨානයෙන් මහත් ගෞරවයෙන් කියවන්න.

හ්‍රීං නීලාඤ්ජන සමාභාසං

රවිපත්‍රංයමාග්‍රජම්

ඡායාමාර්තණ්ඩ සම්භූතං

තං නමාමි ශනෛශ්වරම්

මෙම සියලු වතාවන් නිමවා පහත සඳහන් ඖෂධ යොදා සෙනසුරුට හිමි ⁣ඖෂධ ජලයෙන් ස්නානය කිරීම මැනවි. එම ඖෂධ නම් තල, ලොත් සුබුලු, අන්ජන, බැබිල, සතපුප්ප, ස්නානයට පෙර මෙම පහත සදහන් ශනි ප්‍රශාදක මන්ත්‍රය හත් වතාවක් ඖෂධවලට මතුරා ස්නානය කිරීම මැනවි.

ප්‍රසාදක මන්ත්‍රය,

"ඕං ශුක්‍රංතෙ අන්යද්‍ය ජන්තතෙ අන්‍යද්විසුරෑපෙ අහනී ද්‍යෙරිවාසි විශ්වාහිමායා අවසිස්ව ධාවො භද්‍රාතෙ පුෂන්නිහරාති රස්තු"

සෙනසුරුට හිමි සෙනසුරාදා දිනක සෙනසුරුට හිමි බස්නාහිරට මුහුණලා මෙම සියලු වතාවත් සිදු කිරීමෙන් ඉමහත් ශාන්තියක් ගෙන දෙන අතර දුප්පතුන්ට හා සිල්වතුන්ට දන් දීම, ඉතා පරිස්සමින් හා මනා සිහි කල්පනාවෙන් කටයුතු කිරීම, තමා උපන් ආගමට අනුව කටයුතු කිරීම, මෙම කාලය තුළ ඉතාමත් යහපත් බව සිහිපත් කරනු කැමැත්තෙමි.

Comments