සෙත් කවි යොමු කළ යුතු දෙවිවරු | සිළුමිණ

සෙත් කවි යොමු කළ යුතු දෙවිවරු

එක් එක් රෝගවලට ප්‍රතිකාර කරන විශේෂඥ වෛද්‍යවරු සිටින්නා සේම එක් එක් අපලයට සහන සලසා දිය හැකි දෙවිවරු සිටිති. සෙත් කවියක් මඟින් සුවසෙත අපේක්ෂා කරන අයගේ අපලයට විසඳුමක් දිය හැකි දෙවිවරු අමතා සෙත් කවි ලිවීම සෙත් කවි රචකයන්ගේ වගකීමකි. ඒ පිළිබඳව පුළුල් දැනුමක් සෙත් කවි රචකයන් සතුව ඇත.

තමා කරන කටයුතු අසාර්ථක වන විට නොපැහැදිලි බාධා පැමිණෙන විට, ලෙඩ දුක් බහුල වන විට, ගෘහ ජීවිතය අවුල් වන විට බොහෝ දෙනා ජන්ම පත්‍රය පරීක්ෂා කරවා ගැනීමට පෙලඹේ.

එහිදී සුදුසුකම්ලත් පළපුරුදු ජ්‍යොතිර්වේදියෙකු හමුවට ගියහොත් වැල් වටාරම්වලින් තොරව තමාට දැන් පවත්නා දශා දෝෂ දැනගත හැකි වනු ඇත. ඒරාෂ්ටක අපල තිබේනම් ඒවාද දැනගත හැකිය. එපමණක් නොව ඒ සියල්ලට ම කළ යුතු පිළියම් දැනගත හැකිය.

කිසියම් ග්‍රහ අපලයකට විසඳුමක් වශයෙන් සෙත් කවියක් මඟින් දේව කන්නලව්වක් කරන ලෙස උපදෙස් ලැබූ අයෙකු සෙත් කවි රචකයෙකු හමු වනුයේ එකී කාර්ය ඉටු කරවා ගැනීම පිණිසය. එහිදී සෙත් කවි රචකයා සෙත් කවිය අවශ්‍ය පුද්ගලයාගේ ජන්ම පත්‍රය ලබාගෙන දැනට ගෙවී යන දශාව සහ අතුරු දශාව හඳුනා ගනී.

එම දශාවේදී ඇති විය හැකි පල විපාකද නිශ්චය කර ගනී. ඊට අමතරව ඒරාෂ්ටකයක් තිබේදැයි පරීක්ෂා කෙරේ. සෙත් කවි රචකයා පළපුරුදු ජ්‍යොතිර්වේදියෙකුනම් සෙනසුරු ග්‍රහයා තමා සිටින රාශියේ කුමන අංශකයක සිටීදැයි ගණනය කොට ඒ අනුව ඒරාෂ්ටක ලබන හා ගෙවී යන දින වකවානු පවා නිවැරදිව ගණනය කරයි.

සෙත් කවි රචනා කිරීමට පෙර සෙත් කවි රචකයා ඉහත කී කාර්යන් සිදු කරනුයේ නිවැරදිව ම නිසි පිළියම සිදු කළ යුතු බැවිනි. ගෙවී යන දශාව පරීක්ෂා කොට බලන සෙත් කවි රචකයා ඉන් පසු සොයා බලනුයේ එම අපල දුරු කළ හැකි දෙවියන් කවුරුද යන්නයි. සෙත් කවි රචකයා වෙත රැගෙන පැමිණි ජන්ම පත්‍රයේ කොටස් අඩුනම් මෙකී ගැඹුරු විශ්ලේෂණවලට යාමට නොහැකි වේ. එක් එක් අපල සඳහා සෙතක් ශාන්තියක් සලසා දිය හැකි දෙවිවරු සිටිති. අපල ඇති කරන ග්‍රහයන් සහ පිළියම් ලබා දීමට සමත් දෙවිවරු මෙසේය.

මේ පිළිබඳව සාමාන්‍ය ජනතාවද දැනුම්වත් වී සිටිය යුතුය. සෙත් කවි රචකයන් පමණක් දැනුම්වත් වී සිටිම ප්‍රමාණවත් නොවේ. ග්‍රහ අපල තිබෙන අය බෝධි පූජාවන්ට සහභාගි වූ පසු පින් අනුමෝදන් කළ යුත්තේද තම අපලය දුරු කළ හැකි දෙවියන්ටය.

ග්‍රහ අපල පිළිබඳව කන්නලවු කළ යුත්තේද අදාළ දෙවියන්ටය. එබැවින් තම අපලය හඳුනා ගැනීමද තම අපලයට විසඳුම් දිය හැකි දෙවියන් හඳුනා ගැනීමද බෙහෙවින් ප්‍රයෝජනවත්ය.

සෑම දිනකම එකම මහ දශාවක් නොපවතී. එම දශා වෙනස් වේ. ඒ අනුව තමා පින් අනුමෝදන් කළ යුතු දෙවියන්ද කාලීනව වෙනස් කර ගත යුතුය. රවි මහ දශාව වර්ෂ හයක් පවතින අතර ඉන් පසු එළඹෙන සඳු මහ දශාව වර්ෂ දහයක් පවතී. ඉන් පසු කුජ මහ දශාව එළැඹෙන අතර එය වර්ෂ හතක් පවතී. රාහු මහ දශාව ඉන් අනතුරුව එළැඹෙන අතර එය වර්ෂ දහ අටක් පවතී. ඉන් පසු එළැඹෙන ගුරු මහ දශාව වර්ෂ දහසයක් පවතී.

සෙනසුරු මහ දශාව වර්ෂ දහනවයක් පවතින අතර ඉන් පසු බුධ මහ දශාව වර්ෂ දාහතක් පවතී. කේතු මහ දශාව වර්ෂ හතක් පවතින අතර ඉන් පසු සිකුරු මහ දශාව වර්ෂ විස්සක් පවතී. ඉන් පසු යළි රවි මහ දශාවේ සිට දශාවන් බල පවත්වයි. රවි මහ දශාවේ ආරම්භයේ සිට සිකුරු මහ දශාවේ අවසානය තෙක් කාලය වසර එකසිය විස්සකි.

සෙත්කවි රචකයා ඉහත දැක්වූ කාල වකවානු ගණනය කොට, සෙත් කවියක් ඉල්ලා සිටින අයට ඒ වන විට බලපා ඇති මහ දශා, අතුරු දශා සැලකිල්ලට ගෙන ඊට ගැළපෙන දෙවියන් උදෙසා සෙත් කවිය රචනා කර දෙයි. තම අපල කාලය දුරු වන තෙක් දෙවියන්ට බැති සිතින් පින් අනුමෝදන් කරමින් සිටීම මඟින් සෙත් කවියෙන් උපරිම ප්‍රයෝජන ලබා ගත හැකිය.

 

 

Comments