සුබ යෝග රැසක් හිමි මීන ලග්න හිමියෝ | සිළුමිණ

සුබ යෝග රැසක් හිමි මීන ලග්න හිමියෝ

සුබ යෝග ගැන කතා කිරීමට ප්‍රථමයෙන් මීන ලග්නය ගැන මඳක් විමසා බලමු. රාශි මණ්ඩලයේ 12 වැන්න මීනයි. ස්ත්‍රී රාශියක් වන මෙහි සලකුණ මාළුවාය. මීන ලග්නයෙන් උපන් තැනැන්තා කැපී පෙනෙන තොලකින්ද මාළුන්ගේ මෙන් ඇස් ඇති කඩිසර ක්‍රියාශීලි ස්ථිර ආලය ඇති අය වේ. යම් ජන්මියෙකු මෙලොව එළිය දකින අවස්ථාවේදී නැඟෙනහිර ක්ෂතිජයෙන් උදා වෙමින් පැවැතියේ මීන රාශියනම් ඒ අයට හිමි වන ලග්නය මීන ලග්නය.

රාශි අතර උභය රාශියට මීනය අයත් වන නිසා ඉහත සඳහන් කාරණාවලට අමතරව ප්‍රතිවිරුද්ධ ලක්ෂණ ද පෙන්නුම් කෙරේ. එසේ වන්නේ අදාළ ක්ෂේත්‍රයේ ග්‍රහ පිහිටීම් අනුවයි. එනම් මීන ලග්න හිමියන් තම අරමුණු ඉටුකර ගැනීමට හොඳින් හෝ නරකින් ක්‍රියා කරන අවස්ථා තිබෙන නිසාය.

මීන ලග්නයේ අධිපති ග්‍රහ ලොව සුරගුරු ලෙස හඳුන්වන බ්‍රහස්පති හෙවත් ගුරුය. සුබ පල ප්‍රබලව ලබා දෙන ග්‍රහයින් (මීන ලග්නයට) කුජ නොහොත් අඟහරු සහ සඳු ග්‍රහයින්ය. බාධක කම්කටොලු මෙන්ම බාධක ගෙන දෙන බාධක ග්‍රහයා වන්නේ බුධයි.

මීන ලග්නය සහ ග්‍රහයින් අතර සම්බන්ධතාවය

මීන ලග්නයට

1.සිකුරු උච්චයි.

2. බ්‍රහස්පති / කේතු - ස්වක්ෂේත්‍රයි

3. රවි/කුජ - මිත්‍රයි

4. සඳු / සෙනසුරු - සමයි

5. බුධ / රාහු - නීචයි

මීන ලග්නාධිපති සහ අනෙකුත් ග්‍රහයින් අතර සම්බන්ධතාවය ලග්නාධිපති වන ගුරු නොහොත් බ්‍රහස්පතිට

1. බුධ සහ සිකුරු - සතුරු රාශිගතයි

2. සෙනසුරු සහ රාහු - සමයි (සමසේ සලකයි)

3. රවි / සඳු / කුජ / කේතු - මිතුරයි

කේන්ද්‍රයේ 7 වැන්න මීන ලග්න හිමියන්ගේ බාධක ස්ථානය වේ. මේ අනුව මීන ලග්න හිමියන්ගේ අධිපති බුධගේ බල දුබලතා විවාහයට බලපායි. විවාහය ප්‍රමාද වීම / පෙම් සම්බන්ධතා බිඳ වැටීම / තමා අපේක්ෂා කරන සහකරු / සහකාරිය නොලැබීම ආදී කරුණු බුධ දුර්වල වූවන්ට අයත් වේ. බුධ බලවත්ව පිහිටියේ (එනම් බුධ උච්ච රාශිගතව - ස්වක්ෂේත්‍ර රාශිගතව මිත්‍ර රාශිගතව) සුබ පල ගෙන දේ.

මේ ඕනෑම කේන්ද්‍රලාභියෙකුට අසුබ පල දෙන ග්‍රහයා වන 22 වන දෙර්කාණධිපති 64 වන දෙර්කාණධිපති මීන ලග්න හිමියන්ට බලපාන ආකාරයයි. (22 දෙර්කාණධිපති බලපාන අයුරු)

1. කටක/සිංහ/කන්‍යා යන නවාංශක

හිමි අයට - සිකුරු

2. තුලා/වෘශ්චික/ධනු යන නවාංශක

හිමි අයට - සෙනසුරු

3. මකර/කුම්භ/මීන වන නවාංශක

හිමි අයට - බුධ

මීන ලග්න හිමියන්ට බලපාන පංච මහා පුරුෂ යෝග ත්‍රිත්වය හා අනෙකුත් යෝග පිළිබඳ කරුණු සොයා බලමු.

1. ගුරු හංස යෝගය - ලග්නාධිපති ගුරු කේන්ද්‍රයේ 1 හෝ 10 සිටීමෙන්

2. භද්‍රා යෝගය බුධ ග්‍රහයා කේන්ද්‍රයේ 4 හෝ 7 සිටීමෙන්

3.මාලවි යෝගය -

සිකුරු 1 (ලග්නයේ) සිටීමෙන්

අනෙකුත් යෝග

1. 1රාශියේ - බුධ /සිකුරු - නීච භංග රාජයෝගය යෙදේ.

2. දෙක / අටවන රාශිවල රවි සහ සෙනසුරු සිටීමෙන් නීච භංග රාජ යෝගය යෙදේ.

3. 5 වැන්නේ 11 වැන්නේ කුජ/ ගුරු ප්‍රබල නිච භංග රාජ යෝගය යෙදේ.

4. 5 වැන්නේ සඳු සිටීමෙන් 'කුලීර යෝගය' උදාවේ

5. 3 වැන්නේ සඳු සිටීමෙන් 'සුභ සස' යෝගය යෙදේ.

6. සඳු සහ ගුරු සංයෝග වීම නිසා 'ගජ කේසරි' යෝගය උදා වේ.

7. 5 වැන්නේ හෝ 11 වැන්නේ කුජ/ ගුරු සංයෝග වීම නිසා නීච භංග රාජයෝගය උදාවේ. එයම ප්‍රබල සුභ ඵල දෙන ධර්මකාර්මාධිපති යෝගය ද වේ.

මේ අනුව වාසනාවන්ත මීන ලග්න හිමියාට සුබ යෝග පොකුරක් ඇති විය හැකි බව මෙයින් පැහැදිලි වේ.

මෙවැනි සුබ යෝග පැවතිය ද මුලින් සඳහන් කළ 22 දෙර්කාණාධිපති සහ 64 දෙර්කාණාධිපති හෝ වෙනස් අසුබ ග්‍රහ දෘෂ්ටි ආදියට ලක්වුයේනම් සුබ පල අහිමි වීම හෝ භංග වීමට පවා ඉඩ තිබේ. මේ අයුරින් මේ යෝගවලට හානියක් නොවන ආකාරයෙන් ග්‍රහයන් සිටියේනම් මීන ලග්න හිමියා සමාජයේ කැපි පෙනෙන පුද්ගලයෙක් බවට පත්වේ.

මේ කාරණාවලට අමතරව සඳු දෙපස ග්‍රහයන් නොසිටීම (කේමදාස යෝගය) සඳුගෙන් 6 හෝ 8 වැන්න සිටීම (සටක යෝගය වැනි) පිහිටිම් අසුබ පල දෙන ඒවා වේ. මේ නිසා ජීවිතයේ අග භාගයේදී ආර්ථික පීඩා ගෙන දීමටත් සැපතට බාධා ඇති වීමටත් හේතු වේ. මීන ලග්න හිමියන්ට දැනට ඒරාෂ්ටක අපල නොමැත. නමුත් 9 - 10 -11 රාශිවල සඳු සිටීනම් ජන්ම ඒරාෂ්ටක අපල ගෙන දේ.

මේ ලිපිය කියවන ඔබ මීන ලග්න හිමියෙක්නම් ඔබගේ කේන්ද්‍රය ඔබටම පරීක්ෂා කරගත හැක. එසේ කියවා ඔබ ඔබම පිළිබඳව තොරතුරු දැනගන්නෙනම් මේ ලිපිය ලිවීමේ අරමුණු ඉටු වනු ඇත.

Comments