
තම කේන්දර සටහන් ජ්‍යොතිර්වේදියෙකුගෙන් පරීක්ෂා කර ගැනීමට පැමිණෙන සේවාදායකයන් අතරෙන් බොහෝදෙනෙක් තම කේන්දරය බලගතු නැද්ද යන්න පිළිබඳව දැන ගැනීමට උනන්දු වන බව මා විසින් නිරීක්ෂණය කර ඇත්තෙමි. එමෙන්ම කිසියම් අයෙකු ඉතා ප්‍රබල ජන්ම පත්‍රයක් සහිතව ඉතා ප්‍රබල උපතක් ලැබූ බවට උපකල්පනය කළද ඔහුට හෝ ඇයට අවශ්‍ය අවස්ථාවේදී අවශ්‍ය ග්‍රහ බලය නොලැබී ගියහොත් දිගු ගමනක් යා නොහැකි වනු ඇත.
උදාහරණයක් ලෙස එසේ ඉතා ප්‍රබල ජන්ම පත්‍රයක් ඇති අයෙකු, අධ්‍යාපනය ලබන වයසේදී එයට අනුබල දෙන ග්‍රහ බලයක් නිර්මාණය වනවා වෙනුවට ප්‍රසිද්ධිය සහ ජනප්‍රිය බව වැඩි කර දෙන ග්‍රහ බලයක් නිර්මාණය වන්නේ යැයිද ඔහු හෝ ඇය රක්ෂාවක් ආරම්භ කළ වයසේදී එයට අනුබල දෙන ග්‍රහ බලයක් නිර්මාණය වනවා වෙනුවට අධ්‍යාපනයට අනුබල දෙන ග්‍රහ බලයක් නිර්මාණය වන්නේ යැයිද සිතමු.
එසේ වුවහොත් අදාළ පුද්ගලයාට කෙතරම් ප්‍රබල ජන්මයක් තිබුණද. සුදුසු වේලාවේදී සුදුසු කාලයේදී, සුදුසු දෙය කිරීම සඳහා ග්‍රහයන්ගෙන් අනුබලය සහ සහයෝගය නොලැබෙනු ඇත. උදාහරණයක් ලෙස ඉහත කී පුද්ගලයාට අධ්‍යාපනය ලබන වයසේදී විවාහයට අනුබල දෙන ප්‍රබල මංගල යෝග ක්‍රියාත්මක වූයේනම් අධ්‍යාපනය කඩාකප්පල් වී ඉක්මන් විවාහයක් සිදු වනු ඇත. මීළඟට කිසියම් අයෙකු ඉතා දුබල, ජන්ම පත්‍රයක් සහිතව ඉතා දුබල උපතක් ලැබූ බවට උපකල්පනය කරමු.
ඔහු අධ්‍යාපනය ලබන වයසේදී, ඔහුගේ ශක්ති ප්‍රමාණයෙන් අධ්‍යාපනයට අනුබල දෙන ග්‍රහයන් ක්‍රියාත්මක වන්නේ යැයිද, රැකියාවක් ලැබිය යුතු වයසේදී ඔහුගේ උප්පත්ති ශක්ති ප්‍රමාණයේ හැටියට රැකියාවට අනුබල දෙන පරිදි ග්‍රහයන් ක්‍රියාත්මක වන්නේ යැයිද, විවාහයක් සිදු විය යුතු වයසේදී ඔහුගේ උප්පත්ති ශක්ති ප්‍රමාණයේ හැටියට විවාහයට අනුබලය සහ සහයෝගය ලැබෙන පරිදි ග්‍රහයන් ක්‍රියාත්මක වන්නේ යැයි සිතමු. එවිට ඔහුට හොඳ අධ්‍යාපනයක් ලබා ගෙන, හොඳ රැකියාවක් කරමින් නිසි වයසේදී තම විවාහය සිදු කර ගත හැකි වනු ඇත. එයට හේතුව ඔහුට සුදුසු වේලාවේදී, සුදුසු කටයුතු සිදු කිරීමට ග්‍රහයන්ගේ අනුබල සහ සහයෝගය ලැබීමය.
පෙර කී උදාහරණයෙහි උප්පත්තියෙන් ප්‍රබල ජන්ම පත්‍රයක් ඇතැයි අප උපකල්පනය කළ පුද්ගලයාව අබිබවා යාමට උප්පත්තියත් දුබල ජන්ම ශක්තියත් ඇතැයි අප උපකල්පනය කළ පුද්ගලයාට හැකි වූයේ ඔහුට නිසි වයසේදී, නිසි කටයුතු වෙනුවෙන් වාසනාව ක්‍රියාත්මක වීම නිසාය. එසේ සුදුසු කාලයේදී, සුදුසු කටයුතු සිදු කර ගැනීම වෙනුවෙන් ග්‍රහයන්ගේ අනුබලය සහ සහයෝගය ස්වභාවිකව නොලැබෙන විට එම අනුබලය සහ සහයෝගය ලබාගන්නේ කෙසේ දැයි විස්තර කිරීම අද ලිපියෙහි ප්‍රධාන පරමාර්ථය වෙයි.
කිසියම් අයෙකුට, විදෙස්ගත වීම සඳහා තදබල අවශ්‍යතාවක් ඇතිවී ඇති කාලයක් උදා වී ඇතැයි සිතමු. නමුත් ඔහුගේ ජන්ම පත්‍රය තුළ ඔහුට අවශ්‍ය එම කාලසීමාව තුළ විදෙස්ගත වීමේ යෝග නැති නිසා ඔහු කෙතරම් උත්සාහ කළද එම අරමුණු සාර්ථක වූයේ නැතැයි සිතමු. තවද ඔහුගේ ජන්ම පත්‍රයට අනුව තවත් වසර 30ක් ගත වන තුරු ඔහුට විදෙස්ගත වීමේ අවස්ථාව නැතැයිද සිතමු. මෙහිදී ජ්‍යොතිර්වේදියා කළ යුතු වන්නේ අදාළ පුද්ගලයාගේ ජීවිතයේ, ළඟදී එළඹෙන සුවිශේෂී සිදුවීමකට අදාළ නැකැත් දිනය සහ අදාළ නැකැත් වේලාව තෝරා ගැනීමය. තවද අදාළ නැකැතට යොදාගන්නා ඉහත කී පුද්ගලයාගේ මෙම විශේෂිත අවස්ථාව විශාල පිරිසක් සහභාගි කරවාගෙන අතිඋත්කර්ෂවත් ආකාරයෙන් සිදු කළ යුතුය. එනම් එම මොහොත ඔහුගේ ජීවිතයේ අතිවිශේෂ දිනයක් ලෙස අන් අයට වැටහෙන ලෙස මෙම කටයුත්ත සිදු කළ යුතුය.
උදාහරණ ලෙස විදේශ ගමනක් බලාපොරොත්තුවෙන් සිටින කෙනෙකුට ළඟකදී නිවසට ගෙවැදීමේ කටයුත්තක් ඇතැයි සිතමු. ඔහුගේ කේන්දර සටහනේ විදෙස්ගත වීමේ යෝග නැතත්, නිවසට ගෙවැදීමේ තත්කාල කේන්දර සටහන, ළඟදී විදෙස් ගමන් යෙදෙන පුද්ගලයකුගේ කේන්දර සටහනක් ලෙස පිළියෙල කළ විට, ගෙවැදී සුළු කාලයකට පසු ඔහුට විදේශගත වීමේ අවස්ථාව උදා වනු ඇත. කෙසේ වෙතත්, මෙවැනි සිද්ධාන්ත, අත්හදා බැලීමේ වාර විශාල ගණනක් මඟින් තවදුරටත් සනාථ විය යුතුය.
කොළඹ ආශ්‍රිතව ජීවත්වන මාගේ ඥාතිවරයකු විසින් වරක් ඔහුගේ පුතුගේ අලුතින් සෑදු නිවසට ගෙවැදීම සඳහා රාත්‍රී කාලය තුළ යෙදෙන නැකැතක් ලබා දෙන ලදී. මෙම නැකැත පිළිබඳව ඔහුගේ පුතාට පැහැදීමක් නොතිබුණද පියාට තිබූ ගෞරවය නිසා ඔහු සහ ඔහුගේ පවුලේ අය එම වේලාවට නිවසට ගෙවදුණහ. එතෙක් කල් ශ්‍රී ලංකාව තුළ රැකියාව කරමින් සිටි ඔහුගේ පුතුට ගෙට ගෙවැදීමෙන් සති දෙකකට පසු, රාජකාරි ලැයිස්තු වෙනස් වීම නිසා දින දෙකකට වතාවක් විදෙස්ගත වීමට සිදු විය. ඒ අනුව ඔහුගේ පියා, දැනුවත්ව හෝ නොදැනුවත්ව ඔහුට ලබා දී ඇති, නිවසට ගෙවැදීමට අදාළ තත්කාල කේන්දර සටහන, විදෙස්ගත වීමට අනුබල දෙන ග්‍රහ පිහිටීම් සහිත එකක් බව අනුමාන කළ හැකිය.
2015 වසරෙහි ජනවාරි මාසයෙහි පැවැති ජනාධිපතිවරණයෙන් පසු එක්තරා ස්වාමින් වහන්සේ නමක් ජාතික පුවත්පතකට ලබා දුන් සම්මුඛ සාකච්ඡාවක් පිළිබඳව මීළඟට අවධානය යොමු කරමු. උන්වහන්සේ සඳහන් කළ ආකාරයට එම ජනාධිපතිවරණය ජයග්‍රහණය කළ ජනාධිපතිවරයා එම මැතිවරණය ජයග්‍රහණය කිරීමට ඉවහල් වී ඇත්තේ ඔහුගේ ග්‍රහ බලයටත් වඩා ‘නාමයෝජනා භාර දුන් දිනයට අදාළ‘ ග්‍රහ බලයයි. උන්වහන්සේ සඳහන් කළ ආකාරයට එම නාමයෝජනා භාර දීමේ නැකැත පිළියෙල කර තිබුණේ උන්වහන්සේ වන අතර උන්වහන්සේ ඒ වෙනුවෙන් විශාල කැප කිරීමක් සහ විශාල පරිශ්‍රමයක් දරා විශාල කාලයක් ගෙන සියලු දෝෂ භංග වන ආකාරයට එම නැකත පිළියෙල කර තිබිණි.
අප භාවිත කළ සිද්ධාන්තය ප්‍රායෝගිකව භාවිතයට ගත් අවස්ථාවක් ලෙස එම අවස්ථාව දැක්විය හැකිය.
කිසියම් දේශපාලනඥයෙකුගේ විවාහය තවත් වසරකින් සිදුවේ යැයි ද ඔහුට තව මාස තුනකින් තීරණාත්මක මැතිවරණයක් ඇති බවද ජන්ම කේන්දරයට අනුව මැතිවරණයක් ජයග්‍රහණයක් පෙන්නුම් නොකරන බවද සිතමු. මෙවැනි අවස්ථාවක කළ යුතු වන්නේ ඔහුගේ විවාහ දිනයට අදාළ සහ විවාහ වන වේලාවට අදාළ තත්කාල කේන්දර සටහන මාස තුනකින් විශාල දේශපාලන ජයග්‍රහණයක් ලැබෙන ආකාරයට පිළියෙල කිරීමය.