
දරුවකුට නමක් තැබීම පිළිබඳ ව වඩාත් ගැඹුරින් විමසන විට එය කොටස් දෙකකට බෙදිය හැකි බව පෙනේ. එ නම් බාහිර සහ අභ්‍යන්තර වශයෙනි. බාහිර යනුවෙන් ගැනෙන්නේ නැකැතට, ලග්නයට, දිනයට සුබ අකුරු, සුබ ගණ ආදි කරුණු යි. අභ්‍යන්තර යනුවෙන් ගැනෙන්නේ නමේ අර්ථය යි.
දරුවකුට තබන නමෙහි අර්ථය යහපත් විය යුතු බව අමුතුවෙන් කිව යුතු නො වේ, එය දරුවා ගේ චරිත ලක්ෂණවලට, ගතිගුණවලට දක්ෂතා ආදියට ගැළපෙන එකක් වුවහොත් පසු කලෙක දී ඊට මහත් වටිනාකමක් ලැබේ. පැරැකුම්බා (පරාක්‍රමබාහු) රජුට ඒ නම හැම අතින් ම අන්වර්ථ වන්නාක් මෙනි.
ජ්‍යොතිෂ ශාස්ත්‍රයට අනුව සලකන කල යමකු ගේ හඳහනේ ග්‍රහ පිහිටීම් ගැන විමසා බලා ඔහු ගේ හෝ ඇය ගේ හෝ දක්ෂතා, ගතිගුණ, චරිත ලක්ෂණ ආදිය විග්‍රහ කොට දැක්විය හැකි ය. බොහෝ විට මේ කරුණු විග්‍රහ කිරීම සඳහා පාදක කොටගන්නේ ග්‍රහයන් ගේ උච්ච, නීච, ස්වක්ෂේත්‍ර ආදි තත්ත්ව යි. ඒ ඔස්සේ ග්‍රහයන් ගේ බල දුබලතා විමසා බලා කේන්ද්‍රය හිමියා ගේ ගතිගුණ දක්ෂතා ආදිය ගැන කියනු ලැබේ. මේ සඳහා මූලික වන ග්‍රහයන් ගේ නෛසර්ගික ලක්ෂණ ගැන දැන් කෙටියෙන් විමසා බලමු. ග්‍රහ ලෝකයේ මූලිකයා හෙවත් පියා ලෙස සැලකෙන රවි ගැන මුලින් ම විමසා බැලීමේ දී ජ්‍යොතිෂ ශාස්ත්‍රයේ දැක්වෙනුයේ ජීව බලය සහ රෝග නාශක බලය රවි ගෙන් ලැබෙන බව යි. එ සේ ම තේජවන්ත භාවය, ප්‍රතාපවත් බව, නිර්භීත භාවය, ප්‍රසිද්ධිය, බලය, ගෞරවය, රාජ පූජිත භාවය, ක්‍රියා ශූරත්වය, කාර්යයෙහි ස්ථිර භාවය ආදි උසස් ගුණාංග රාශියක් ම රවි ගෙන් ලැබේ. කේන්ද්‍රයෙහි රවි සිටින තත්ත්වය අනුව මේ ලක්ෂණ කොතරම් දුරට කේන්ද්‍රය අයිතිකරුට බලපාන්නේ දැයි ජ්‍යොතිෂඥයකුට කිව හැකි ය.
ග්‍රහ ලෝකයේ මව ලෙස සැලකෙන්නේ චන්ද්‍රයා යි. චන්ද්‍රයාගේ ප්‍රධාන ලක්ෂණය වන්නේ චංචල භාවය යි. සිතට අධිපති චන්ද්‍රයා යි. සෞම්‍ය භාවය, ඉක්මන් බව, නිවුණු දැමුණු බව, ඉවසීම, කරුණාව මෛත්‍රිය වැනි ගුණාංග චන්ද්‍රයා ගේ ලක්ෂණ වේ. ස්ත්‍රී කේන්ද්‍රයක නම් චන්ද්‍රයා ගේ බලය වැඩි වන බව කියනු ලැබේ.
ග්‍රහ ලෝකයේ සෙන්පතියා ලෙස සැලකෙන කුජ එඩිතර බව, ආත්ම විශ්වාසය, යුද්ධ කාමිත්වය, නිර්භීත භාවය, අපරාජිත භාවය, ස්ථිරත්වය, පාලන ශක්තිය ආදි එසේම තද දැඩි ගුණාංග රාශියක් ලක්ෂණ කොට ඇත්තේ ය. කුජ බලවත් වීම හිතුවක්කාර, මුරණ්ඩු ගතිගුණ ඇති වීමට ද හේතු වන බව කියනු ලැබේ.
බුධ, ග්‍රහ ලෝකයේ එ තරම් බලවත් ග්‍රහයකු නොවුව ද සියුම් බුද්ධියට අධිපති වේ. එ මෙන් ම සත්‍යවාදී බව, මුඛරි කම හෙවත් දේශනා කිරීමේ ශක්තිය, විචාරාත්මක භාවය, තියුණු නුවණ, මනා ව ඉගැනීම ආදි බුද්ධිය මෙහෙයවා කරන කටයුතු, චිත්‍ර කැටයම් ආදි සියුම් කර්මාන්තවල යෙදිය හැකි වීම, ග්‍රන්ථකරණය වැනි ලක්ෂණ බුධට අයත් බව සලකනු ලැබේ.
ගුරු ද බුධ මෙන් බුද්ධියට බලපාන ග්‍රහයෙකි. එහෙත් ගුරු ගේ බලය බෙහෙවින් අයත් වන්නේ ස්ථිර බුද්ධියට යි. ඉතා ගැඹුරු ධර්ම ශාස්ත්‍ර එ නම් ආගමික දර්ශන, ගුප්ත ශාස්ත්‍ර, ජ්‍යෝතිෂය ආදිය මෙන් ම මනා ව යුක්ති ධර්මයෙහි පිහිටීම, විශ්වාසවන්ත භාවය, මධ්‍යස්ථ භාවය, නොසැලෙන ගුණය, සමානාත්මතාව, ගෞරවාන්විත භාවය, ගුරු කෙනෙකු මෙන් අන් අයට ධර්මශාස්ත්‍ර කියාදීම ආදි ලක්ෂණ ගුරුට නිසර්ගයෙන් උරුම වේ.
සිකුරු ග්‍රහ ලෝකයේ විනෝදකාමී ග්‍රහයා ලෙස සැලකේ. කාමභෝගී භාවය, ආලය, සැහැල්ලු බව, ප්‍රියමනාප බව සෞන්දර්යයට, විශේෂයෙන් කාව්‍ය, නාට්‍ය, ගීත, චිත්‍ර ආදියට දක්වන නැඹුරුව, රස ආහාරයට කැමති වීම, විරුද්ධ ලිංගිකයන් කෙරෙහි ඇල්ම දැක්වීම ආදිය සිකුරු ගේ ලක්ෂණ වේ. ශනි හෙවත් සෙනසුරු දුකට අධිපති ග්‍රහයා යි. සාමාන්‍යයෙන් සැලකෙනුයේ පරිහානිය, අවලක්ෂණ බව, රෝගී බව ආදි නරක ගුණ ශනිගෙන් ලැබෙන බව යි. එහෙත් දුක් ඉවසීමේ ශක්තිය, සිත දමනය කිරීම, ආත්ම ශක්තිය, කෙලෙස් තැවීමේ ශක්තිය ආදියට ද මූලික වන්නේ සෙනසුරු ම ය. එ හෙයින් සෙනසුරු ගේ යහපත් පැත්තක් ඇති බව ද සැලකිය යුතු යි. නව ග්‍රහයන් අතර ඉතිරි දෙදෙනා වන රාහු කේතු ඡායා ග්‍රහයෝ යි. ඔවුන් ද බොහෝ විට අයහපත් ලක්ෂණ දරන බව සැලකේ.
මේ ලක්ෂණ කෙරෙහි සැලකිලිමත් ව කේන්ද්‍රයෙහි බලවත් ග්‍රහයන් ගේ යහපත් ලක්ෂණ වඩාත් උද්දීපනය වන සේ නමක් තැබීම දරුවකු ගේ ජීවිතයේ පසු කාලයේ දී ඒ නම අන්වර්ථ වීමට හේතු වේ. නිදසුනක් ලෙස රවි බලවත් දරුවකුට තෙදසර, සිකුරු බලවත් දරුවකුට සොමිර වැනි නමක් තැබීම දැක්විය හැකි ය. එ සේ ම සෙනසුරු වැනි දුෂ්ට ග්‍රහයකු බලවත් වුව ද ඔහු ගේ යහපත් ගූණය මතු වන සේ දැහැමි, තවසර වැනි නමක් තැබිය හැකි ය.
මෙයින් පෙනෙන්නේ ශබ්ද ශාස්ත්‍රයත් ජ්‍යෝතිෂයත් එකට ගෙන සලකා දරුවකු ගේ මතු දිවියට වටනාකමක් ලැබෙන සේ අරුත්බර නමක් තැබිය හැකි අයුරු යි.