
එදිනෙදා ජීවිතයේදී මුදල් අත්‍යවශ්‍යම අංගයකි. මේ 'ආර්ථික සාධකය' මත සෙසු සියල්ල රඳා පවතී. ඕනෑම කෙනෙකු දෛනිකව හෝ මාසිකව ලබන ආදායම මත ඔවුන්ගේ ආහාර, ඇඳුම් පැලඳුම්, ගමන් බිමන් ආදී සියලු සාධකයෝ තීරණය වේ. මෙලෙස විෂම ආර්ථිකයක් ජනතාව අතර බෙදී තිබුණද ඉතා හොඳ ආර්ථික තත්ත්වයකට ළඟා වීමට යෑම සියලු දෙනා නිරන්තර උත්සාහයක නිරත වෙති.
මේ තත්ත්වය ලැබීම, වාසනාව, ධනය, පෙර පිනට ලැබීම ආදී වූ වචන සමුදායකින් ප්‍රකාශ වුවද මේ සියලු තත්ත්වයන් ජන්ම පත්‍රය හරහා ඉතා නිවැරදිව ප්‍රකාශ කළ හැකි වීම විශේෂ වෙයි. නිතැතින්ම එය කිසියම් අයකු ජන්මලාභි වූ මොහොත මත හෙවත් ජන්මය අනුව තීරණය වන දෙයකි.
එහිදී ජන්ම පත්‍රයේ සඳහන් වන ප්‍රබලත්වය මත තමාට හිමි ධන තත්ත්වය තීරණය වනු ඇත. එකී උපතේදී ලද බලය තම උත්සාහය, කැපවීම සහ පිළිවෙත් මත යම් ප්‍රමාණයකින් වෙනසකට ලක්කර ගත හැකිය. නමුත් එය බලාපොරොත්තු වන මට්ටමේ ප්‍රතිඵලයක්නම් ගෙන නොදේ.
නමුත් ජනිතයාට කිසියම් විශේෂිතතාවක් ජන්ම පත්‍රය හරහා හෝ වෙනත් ජන්ම පත්‍රයක් හරහා සිදු වුවහොත් එකී ප්‍රතිඵලයන් අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක වනු ඇත. දැරියකගේ නම් මල්වරය, සියලු දෙනාගේම විවාහය සහ පවුලක දරු උපත මෙම අවස්ථාවන් වෙති. මල්වරයේදී මල්වර කේන්ද්‍රයක් නිර්මාණය වේ. විවාහයකදී නව ජන්ම පත්‍රයක් හරහා සම්ප්‍රේෂණ බල ක්‍රියාත්මක වේ. දරු උපතක් හරහා දරුවාගේ වාසනාව ලැබීම, පූර්ව කුසල බලය හරහා මවුපියනට බලපෑම්ද පෙන්වයි.
තවද සමාජයට වැඩිපුර නිරාවරණය නොවන කාරණාවක්ද පවතී. සමහර නිවෙස්වල වැඩිහිටි හෝ කවරෙකුගේ හෝ මරණයක් සිදුවීමෙන් පසු නිවැසියන් ඉතා දියුණු තත්ත්වයකට පත්වීමයි. සමාජය සියුම් ලෙස අධ්‍යයනය කිරීමේදී මේ බව පෙනී ගොස් ඇත. ලැබීමට බාධක දෙන තැනැත්තා මෙලෙස ස්ථිරව දුරස් වීම ඊට හේතුවයි. නමුත් ජීවිතයක වටිනාකම අමිලය. චතුර්විධ මරණවලින් එකක් සැමටම උරුමය. එකී උරුමයෙන් පසු ඉහත දැක්වූ ආකාර සඳහා උදාහරණයන් අප්‍රමාණව පවතී. නමුත් ජීවතුන් අතර සිටියදී එකී ග්‍රහචාරයක් දුටු විට ඒ සඳහා නිසි පිළිවෙත් සේවාදායකයාට ලබා දෙනවා විනා මානසික වශයෙන් පීඩිත තත්ත්ව ගෙනෙන ඉහත දැක්වු කාරණාව ආදී තත්ත්ව ප්‍රකාශ රහිත වීම ජ්‍යොතිර්වේදියා සතු යුතුකමක්, වගකීමක් මෙන්ම ආචාර ධර්මයනට ගරු කිරීමක්ද වන්නේය.
මෙවැනි ග්‍රහ තත්ත්වයන් ජ්‍යොතිෂයේ හඳුන්වනු ලබන්නේ "ධන නාශක යෝග" නමිනි. "දරිද්‍ර යෝග" මෙයින් වෙනස් වෙයි. එයින් තමාගේ ලැබීම් අවම කරයි. නමුත් ධන නාශක යෝග හමුවේ පවුලකනම් සමස්ත ධනය, දේපළ, ලැබීම් කෙරෙහි අනිසි ලෙස බලපෑම් කරයි. මෙය ඉතාමත්ම ප්‍රායෝගික වූ තත්ත්වයකි.
මෙවැනි ධන නාශක යෝග කිහිපයක් පහත දැක්වේ.
1) 11 අධිපති 12ට ගොස්,
12 අධිපති 2හි තැන්පත්ව සිටින විට හෝ 2 අධිපති නීච රාශියක සිටින විට ප්‍රබල ලෙසම ධනය විනාශ වන යෝගයකි.
2) ලග්නාධිපති දුර්වලව සිටින විට 2 අධිපතියා රවි සමඟ 12 වැන්නේ යෝගවූ කල හෝ 2 අධිපතියා නීචව පාප දෘෂ්ටිවලට ලක්වේනම් ප්‍රබල ධන නාශක යෝගයකි.
3) 2 හා 12 අධිපතීන් පරිවර්තනය වී පාප දෘෂ්ටීන්ගෙන් දූෂිත වීමද ප්‍රබල ධන නාශක යෝගයකි.
4) 2 අධිපති නීචව පාප ග්‍රහයන් සමඟ 6 වැන්නේ සිටීම එබඳුම ධන නාශක යෝගයකි.
5) 2 අධිපතියාත් 11 අධිපතියාත් දෙදෙනා කුජගේ දෘෂ්ටියට ලක්වීමද මෙවැනිම නාශක තත්ත්වයකි.
මෙලෙස බලන කල ධන යෝග පවා අක්‍රිය කිරීමේ බලයක් මෙම ධන නාශක යෝගවලට තිබේ.
සමහර ජන්ම පත්‍රවල ප්‍රබල ධන යෝග ඉතා පැහැදිලිව දකින්නට ලැබෙන අතර, ඒ අතරතුර සැඟව මෙලෙස ධන නාශක යෝග වෙතොත් ඒවා තේරුම්ව ප්‍රතිඵල සැසඳිය යුතුය. තවද මෙකී යෝගයන් සම්ප්‍රේෂණ බල සහිත බව ප්‍රායෝගිකව ලද තොරතුරු බහුලය. මෙවන් විටකදී ඉටු කළ යුතු පිළිවෙත් රැසකි. ප්‍රබල වු පිළිවෙතක් පහත සඳහන් වේ.
පුර පස් දිනකදී තම පක්ෂියා රජ කරන වෙලාවට ශ්‍රී විෂ්ණු දෙවිඳුටත් (නිල් රෙදිකඩක) ධන ලක්ෂ්මි මෑණියන්ටත් (රතු රෙදිකඩක) පඬුරු 2ක් ගැට ගසන්න. ලැබීමට වන බාධා ඉවත් වේවායි පතන්න. මෙම පඬුරු දෙකම නැවත එක මත තබා තනි ගැටයක් දමා නිවස තුළ බුදු පහන හෝ තම ආගමික වතාවත් කරන තැන තබන්න. කවරෙකු කළද මෙහි ප්‍රතිඵල විශිෂ්ටය.