පසුබට නොවන T අකුර හිමියෝ | සිළුමිණ

පසුබට නොවන T අකුර හිමියෝ

 

අන් අයට අවවාද උපදෙස් දෙන්න දක්ෂයෝ

තම දියුණුව ගැනම සිතයි

නායකත්ව ලක්ෂණ ප්‍රකට කරයි

නමේ මුල් අකුරෙන් කියවෙන ඔබේ චරිතය පිළිබඳ ලිපි මාලාවේ තවත් අකුරක් පිළිබඳව කතා කරන්නටයි මේ සූදානම. මෙම ලිපියෙන් ඉංග්‍රීසි භාෂාවේ T අකුරෙන් නම පටන් ගන්නා අයගේ චරිත ස්වභාවය පිළිබඳව විස්තර කරන අතර, මෙයට පෙර ලිපිවලින් A අකුරේ සිට S අකුර දක්වා විස්තර පැහැදිලි කරන ලදි.

මෙහිදී ඔබ මතක තබා ගත යුතු කරුණක් වන්නේ T අකුර මුලට යෙදී නමක් පටන් ගන්නවා සේම ඒ නම ඔබ නිතර භාවිත කරන නමක් බවට පත්වීම තුළ මේ කියන කාරණාවන් වඩාත් ඔබ තුළින් ඉස්මතු වන බවයි.

ඔබට T අකුරින් පටන් ගන්න නමක් තිබුණත් එය භාවිත නොකරන්නේ නම් එහි බලපෑම අවම වෙයි. ඉතින් ඔබත් ඉංග්‍රීසි භාෂාවේ T අකුරෙන් පටන් ගන්න නමක් භාවිත කරන කෙනෙක් නම් බලන්න මේ කියන කාරණාවන් ඔබේ ජීවිතයට කෙතරම් සමීපද කියා.

මෙම T අක්ෂරයෙන් ඉංග්‍රීසි භාෂාවෙන් මෙන්ම සිංහල භාෂාවෙන් ද බොහෝ නම් ප්‍රමාණයක් ආරම්භ වනු දක්නට ලැබේ. මොවුන් බුද්ධිමත් මිනිසුන් කොටසක් ලෙස හඳුන්වන්නට පුළුවනි.

ඉතා හොඳ තීරණාත්මක අදහස් මොවුන් තුළ පවතී. අන් අයට අවවාද උපදෙස් දීමට මෙන්ම මඟ පෙන්වීමට ද මොවුන් දක්ෂ වෙයි. මොවුන් අන් අයට බලපෑම් කළ හැකි ආකාරයේ පුද්ගලයන් වෙයි. නායකත්ව ලක්ෂණ ද T අකුර හිමියන් තුළ පිහිටයි. අවංකකම මෙන්ම නිහතමානීකම ද මොවුන්ගේ චරිතය තුළින් දැකිය හැකිය. T අකුර හිමියන් තුළින් හොඳ මානුෂීය ගති ලක්ෂණ ප්‍රකට වෙයි.

මනුෂ්‍යත්වයේ පරම අර්ථය තේරුම් ගනිමින් ජීවත්වන මිනිසුන් කොටසක් ලෙස පෙන්වා දෙන්න පුළුවන්.

රට ජාතිය ආගම පිළිබඳ හැඟීමකින් කටයුතු කරන අතර එවැනි කටයුතුවලදී සංවේදීව ක්‍රියා කරන පිරිසක් ලෙස හැඳින්විය හැක.

දනට පිනට මෙන්ම ආගම දහම වෙනුවෙන් ලැදියාවක් දක්වයි. තම අාධ්‍යාත්මික පිරිසිදුභාවය පිළිබඳ සිතා කටයුතු කරයි. T අකුර හිමියන් කිසිම විටෙක කුමන බාධක ආවත් තම උත්සාහය අත්හරින්නේ නැත.

සෑම විටම ඉදිරිය ගැන සිතා කටයුතු කරයි. පසුපසට යෑම මොවුන්ගේ සිරිත නොවේ. තම සාර්ථකත්වය වෙනුවෙන් කළ යුතු දේ පිළිබඳ හොඳ වැටහීමකින් කටයුතු කරයි.

ඒ නිසා බුද්ධිමත්භාවය අතින් ද ඉදිරියෙන් සිටී. බිඳවැටීම් හමුවේ කම්පාවට පත් වුණත් නැවත මුල සිට නැඟී සිටී. මොවුන් කවුරුවත් කියන ලෙස කටයුතු කිරීමට කැමැති නැත. ස්වාධීනව තම අදහස් ක්‍රියාවට නැඟීමට කැමති වෙයි. නමුත් අවශ්‍ය විට සුදුසු අයගේ අවවාද උපදෙස් ගැනීමටද පසුබට නොවේ.

මූලික වශයෙන් තම නිදහස අගය කරන පිරිසක් වෙයි. පුද්ගලික දියුණුව පිළිබඳ වැඩි වශයෙන් සිතයි. තම හිතවතුන් සහ පවුලේ ආදරණීයයන් වෙනුවෙන් තමාට හැකි අයුරින් කාලය ශ්‍රමය කැප කිරීමට ද ඉදිරිපත් වෙයි.

කවුරුන් සමඟත් සුහදව සිටීමට නිතරම උත්සාහ ගනී. බොහෝ විට වයස අවුරුදු තිහෙන් පසුව පමණ දියුණුව සාර්ථකත්වය ඇති කරයි. ජීවිතයේ ස්ථාවරත්වයක් ගොඩනඟා ගැනීමට අවශ්‍ය දක්ෂතාවය මොවුන් තුළ පවතී.

U අකුර පිළිබඳ ලබන කලාපයෙන් බලාපොරොත්තු වන්න

 ඒ.ජේ. දීපාලෝක

(ප්‍රවීණ ජ්‍යොතිර්වේදී සහ පාඨශාලාචාර්ය ඉසිවර සහන ජ්‍යොතිෂය සේවය)

 

------------------------------

Comments