නොසිතූ සම්පත් හිමි කරවන කිලිටි ඇඳුම් | සිළුමිණ

නොසිතූ සම්පත් හිමි කරවන කිලිටි ඇඳුම්

යගදාවෙන් මහ මුහුද දෙබෑ කොට ගජබා රජතුමා සමඟ සොළී රටට ගිය නීල මහා යෝධයාට ⁣සෙන්ගුට්ටුවාන් සොළී රජතුමා මුතු බෙල්ලෙක් බඳින ලද රන්දමක් පිරිනමනු ලැබුවේ සිහිවටනයක් ලෙසිනි. ගජබා රජතුමා ආපසු එන විට බුදුන් වහන්සේගේ පාතා ධාතුවත්,පත්තිනි සලඹක් සහ පත්තිනි දෙවියන් ගැන ලියැවුණු පොතක්ද රැගෙන ආවේය. ලක්දිවට පැමිණි පසුව ගජබා රජු පත්තිනිය වෙනුවෙන් නවගමුවේ දෙවොලක් කරවා සඳුන් දැවයෙන් තැනූ පත්තිනි රූපයක් සහ සලඹද එහි තැන්පත් කරවීය.

ගජබා රජතුමා තරමටම අසීමිත කාය ශක්තියෙන් යුතු නීල මහා යෝධයා සොළී දේශයට ගොස් පැමිණි පසුව රෝගී වූයේය. සියොළඟ ගඩු මතුවූ ඔහුට ඇවිදගන්නට පවා නොහැකි විය. පුළුවන් කාලයේ ළඟ සිටි පිරිවරද ආගිය අතක් නැත. අවසන නීල කුලීකරුවන් සපයාගෙන රජරට සිට මායා රට මහාගම්මානය (වර්තමානයේ මාගම්මන)ට පැමිණියේය. නීලගේ මහලු මව ලමී නමැති රජක ස්ත්‍රියක වූවාය. කාය බලය පිරිහී දුබල වූ පුතුට ඇය හැකි උපරිමයෙන් සාත්තු සප්පායම් කළාය. එහෙත් නීලගේ රෝගය දිනෙන් දින වර්ධනය වූවා මිස අඩුවක් වූයේ නැත.

මේ ගැන සිත්තැවුලෙන් සිටි ලමීට දිනක් රෑ නින්දේදී සිහිනයෙන් කහ පැහැති සළුවෙන් සැරසුණු රූමත් රජ බිසවක බඳු ස්ත්‍රියක් කතා කළාය. ඇය නිවෙසට තරමක් එපිටින් පිහිටි කඳු ගැටය මත එක්තරා ස්ථානයක් පෙන්වා මෙසේ කීවාය.”

නුඹේ පුතුගේ ගෙලේ මුතු බෙල්ලෙක් බඳින ලද රන්දමක් තිබෙනවා. ඒ රන් මාලයත් රැගෙන මා පෙන්වූ තැනට ගොස් එහි තිබෙන පොකුණට මාලය දමන්න. ඉන් පසුව ඒ පොකුණෙන් වතුර ගෙනැවිත් ඒ වතුර පුතාගේ හිස සේදූ පසුව ඔහු සුවපත් වෙනවා.”

පසු දින බිමට එළිය වැටෙනවාත් සමඟම ලමී පෙර දින රැයේ සිහිනෙන් පෙන්වන ලද ස්ථානය සොයා ගියාය. ලඳු කැලෑ පීරාගෙන ගිය ඇයට එහි තැනක දිය පිරුණු කුඩා පොකුණක් දක්නට ලැබිණ. සිහිනෙන් ලැබුණු උපදෙසට අනුව ලමී ගෙන ආ නීලගේ රන් මාලය පොකුණෙන් තැබූ සැණින් එහි බැඳ තිබුණු කුඩා බෙල්ලා බැඳුමින් මිදී පීනා ගිය අතර, රන් මාලය සුළියකට හසුවූ ලෙස කරකැවෙමින් පොකුණ පතුලේ අතුරුදන් විය.

පොකුණෙන් ගෙනා ජලයෙන් හිස සේදූ පසුව නීල මහා යෝධයා සුවපත් වූ නමුත් හෙතෙම යළිත් රජරටට ගියේ නැත. මෙම පොකුණ පිළිබඳව කටින්කට පැතිර යාමත් සමඟ වසංගත රෝග වැලඳුණු අය දිය ගෙන යාම නිසා මැදි පොකුණ නමින් ප්‍රසිද්ධියට පත් වූයේය. පසු කලෙක පත්තිනි දෙවියන් නමින් එතැන කුඩා දෙවොලක්ද ඉදිකරනු ලැබිණ. එදා ලමී සිහිනෙන් දුටු පොකුණ සමීපයේ තිබෙන මැදි පොකුණ පත්තිනි දේවාලයට අදත් බැතිමතුන් යන්නේ මහත් වූ විශ්වාසයෙන් යුතුවය. එසේ ඔබ අප දකින සිහින පිළිබඳව ජ්‍යොතිෂයෙහි සඳහන් වන්නේ මෙලෙසිනි.

1. කාමුක ස්ත්‍රියක් - තමන් සතු ධනය විනාශ වන්නට කරුණු මතු වේ.

2. කැඩුණු සිඳුණු දේව රූප සහ ප්‍රතිමා - විශාල බලාපොරොත්තුවකින් යුතුව පටන්ගත් කටයුතු අසාර්ථකත්වයට පත්වේ.

3. කෑමෙන් බීමෙන් අන්‍යයන්ට සංග්‍රහ කිරීම - ඉදිරි දින කීපය තුළ ශෝකජනක යමක් සිදු වේ.

4. කිරි එළදෙන - ධන සම්පත් කීර්තිය ලබන්නට හැකි වේ.

5. කිකිළිය - ළඟදීම භාර්යා සම්පතක් හිමි වේ. එසේ නැත්නම් සිතට සතුට ගෙනෙන කරුණු ඉටු වේ.

6. කිසිවකු එල්ලී මැරෙන අයුරු - ඉතාම අසුබ සිහිනයකි. තමාට ද ඉතා බරපතළ තත්ත්වයකට මුහුණ දෙන්නට සිදු වේ.

7. කිලුටු ඇඳුමින් සැරසී ගමනක් යන අයුරු - නොසිතූ නොපැතූ සම්පතක් හිමි වේ.

8. කිලුටු මේස් සහ සපත්තු - හදිසි ධන ලාභයක් සුළුවෙන් හෝ ලැබේ.

9. කිරි පානය කරන අයුරු - සියල්ල සතුටුදායක අයුරින් ජය ගන්නට පුළුවන.

10. කුඩය - ඉහළම තත්ත්වයකට පත් වන්නට වාසනාව හිමි වේ.

11. කුෂ්ට රෝගියෙක් - යනෙන ගමන් බිමන්වලදී විපත් සිදු වේ.

12. කුඩා ළමුන් සම්බන්ධ උත්සව අවස්ථාවක්- පවුලේ කෙනකුට සර්ප දෂ්ටනයක් සිදු වීමට ඉඩ තිබේ.

13. කුරුල්ලන්ට හෝ මාළුන්ට ආහාර දීම - වස්තුව සහ ධනය ලැබේ.

14. කුඹුරක ගොයම් කපන අයුරු - තමාගේ සමීප ඥාතියකු හට බලවත් විපතක්

15. කුඹුරක වී කරල් එකතු කිරීම - බලාපොරොත්තු නොවූ අධික වියදමක් දරන්නට සිදු වේ.

16. කුකුළා - අමනාප වී හැර ගියවුන් යළිත් තමා වෙත පැමිණෙයි.

17. කුඩය - හොඳ කලදසාවක් ලබයි.

18. කුඹුරක් මැද මඩ තවරාගෙන සිටින අයුරු- බලාපොරොත්තු නොවූ ලෙස දුර බැහැර ගමනක යෙදෙන්නට සිදු වේ.

19. කුරුණිය - තමා නොකළ වරදකට අපවාද අසන්නටත්, ඇතැම් විට වැරදිකරු වීමටත් ඉඩ තිබේ.

20. කුදු පුද්ගලයෙක් - තමන් කරන කියන දේවල් සඳහා අන් අය කැමැත්තෙන්ම උපකාර කරයි.

21. කූඩැල්ලන් - ධනය ද, ජයග්‍රහණයන් ද හිමි වේ.

22. කෙවිලිය / කොවුල් ධේනුව - විවාහ අපේක්ෂකයකු විසින් සිහිනයෙන් දක්නා ලද්දේ නම් යහපත් බිරිඳක් හිමි වේ.

23. කෙවිටක් හෝ වේවැලක් - දරුවකුගේ ක්‍රියා කලාපය නිසා තමාට අන්‍යයන් වෙතින් අපවාදවලට ලක්වන්නට සිදු වේ.

24. කොඩියක් / කොඩි ගසක් / කොඩි වැලක්- විඳිනවාට වඩා සැප සම්පත් ඒකාන්තයෙන්ම ලබන්නට පුළුවන.

25. කොල්ලු (බීජ වර්ගයක්) - අතක හෝ පයක නහර සම්බන්ධ රෝගී තත්ත්වයක් මතු වේ.

26. කොටළුවා - තියුණු ආයුධවලින් සිදුවන කැපීම්, කෙටීම් ආදිය නිසා බරපතළ තුවාල සිදු වේ.

27. කොටළුවකු පහර දීම පිණිස හඹා ඒම - තදබල ලෙස රෝගී වීමට නියමිතය.

28. කොටහළු මංගල්‍යයක් - සිතට බලවත් දුකක් ඇතිවන මරණයක් ගැන අසන්නට ලැබේ.

29. කොස් කපනු දැකීම - සිතට බලවත් දුක් උපදවන අවස්ථාවක් එළඹේ.

30. කොටියකු ගොරවමින් සිටීම - සොර සතුරන් වෙතින් කරදරයක් සිදු වේ.

31. කොරහක දමා යමක් සේදීම - සතුරු වී සිටියවුන් යළි මිතුරු වේ.

32. ක්‍රීඩා කරන අන්දම - තමාට වාසිදායක ආරංචියක් ඉතාම ඉක්මනින් අසන්නට ලැබෙනු ඇත.

33. ගලන ගංගාව - හදිසියේ හමුවන පිරිසකගේ සිත් දිනාගන්නට ලැබේ. ඒ සිත් දිනා ගැනීම ජීවිත කාලයටම බලපවත්වයි.

34. ගව රැළක් - යහපත් සිහිනයකි. වස්තු ලාබ හිමි වන බවට පෙරනිමිත්තකි.

35. ගසකට නැඟීම - තමා සිටින තත්ත්වයෙන් ඉහළ තත්ත්වයකට පත් වේ.

 

 

Comments