
නිවාස සඳහා දැව ලබා ගැනීමට ගස් කැපිය යුතු කාලය පැරණි වාස්තු විද්‍යාවේ සඳහන්වේ
දැව සඳහා නොගත යුතු ගස් වර්ග 20 ක්
සඳ උදාවූ පසු ගස් කැපීම නොකළ යුතුය
ඉකුත් ජුනි 05 වනදා තවත් ලෝක පරිසර දිනයක් යෙදී තිබිණි. වර්තමානයේ අප කරන සෑම කටයුත්තක්ම පරිසරයට හානි නොවන ලෙස සිදු කිරීම අපේ ප්‍රධාන වගකීමක් ලෙස සලකා කටයුතු කිරීම ඉතා වැදගත් කරුණකි. අනාදිමත් කාලයක සිට පැවත එන අපේ වාස්තු විද්‍යාවද පරිසරය ආරක්ෂා කිරීම කෙරෙහි ප්‍රමුඛත්වයක් දී ඇති ආකාරය නිවාස කටයුතු සඳහා දැව ලබා ගැනීම සම්බන්ධයෙන් දී ඇති උපදෙස්වලින් පැහැදිලි වේ. අපගේ සෑම නිවාස කටයුත්තකදීම දැව අවශ්‍ය වන අතර එම දැව භාවිත කිරීමේදී අනුගමනය කළ යුතු වැදගත් වාස්තු විද්‍යාත්මක කරුණු රාශියක් අපගේ පැරැණි වාස්තු විද්‍යා ග්‍රන්ථවල සඳහන්ව ඇත.
විශේෂයෙන් නිවාස සඳහා දැව ලබා ගැනීමේදී නොකැපිය යුතු ගස් පිළිබඳව වාස්තු විද්‍යාවේ සඳහන් වේ.
"ඛගනිලයභගන සංශුෂකදග්ධ දෙවාලය ශමශානසථාන්
ක්ෂිරතරුධවවිහීතක නිම්ඛාරණිවර්ජිතාන්දසාත්"
ඉහත ශ්ලෝකයෙන් පක්ෂීන්, සර්පයන් වැනි සතුන් වාසය කරන ගස්, ගිනි ගත් ගස්, දේවාලවල, උද්‍යානවල, සොහොන් බිම්වල ඇති ගස්, කිරි සහිත ගස්, කටු බහුල ගස්, අකුණු වැදුණු ගස්, මහාමාර්ගවල ඇති ගස්, වැඳුම් පිදුම් කරන ගස්, කුදු වු ගස්, වෙනත් ගසක් නිසා අතු බෙදී ඇති ගස්, ගෙඩි බහුල ගස්, සුළඟින් හානියට පත් වුණු ගස්, වැල් එතී ඇති ගස්, මල් ගස්, බෙන සහිත ගස් කපා ඒවායේ දැව නිවාසවල වහල, දොර ජනෙල් ආදිය සඳහා යොදා නොගත යුතු බවත් එසේ යොදා ගැනීමෙන් ඇති වන විවිධ අයහපත් සිදුවීම් ගැනත් වාස්තු විද්‍යාවේ දක්වා ඇත.
ඉන් පැහැදිලි වන්නේ පැරණි වාස්තු විද්‍යාව කොතරම් දුරට පරිසර සංරක්ෂණය පිළිබඳව අවධානය යොමු කර ඇත්ද යන්නයි.
එහෙත් නූතනයේ බොහෝදෙනා මෙබඳු යහපත් සාරධර්ම පසෙකලා කටයුතු කිරීම වර්තමානයේ බොහෝ ගැටලු ඇති වීමට හේතු වී ඇති බව සිතන්නට පුළුවන.
එබැවින් මේ පැරණි වාස්තු විද්‍යානුකූල නියමයන් අනුව නිවාස සඳහා දැව ලබා ගැනීම එදාටත් වඩා අදට ගැළපෙන බව කිව යුතුය.
නිවාස සඳහා දැව ලබා ගැනීමට ගස් කැපිය යුතු කාලය පිළිබඳව ද පැරණි වාස්තු විද්‍යාවේ පෙන්වා දී ඇත.
කෘෂ්ඨනේනාභජ්‍යතෙ කීටෛය්ර්දි
පක්ෂං ඨානං ජලෙ
කෘෂ්ණපක්ෂෙ ඡේදනංච න ශුක්ලෙ කාරයෙද්බුධං
යන ශ්ලෝකයෙන් පෙන්වා දෙන්නේ කපන ලද දැව (පරාල ආදිය) දින 15ක් දියේ ගිල්වා තැබීමෙන් ඒවා නොදිරන බවය. එසේම කළුවර කාලයේ ගස් කැපීම කළ යුතු බවද, සඳ උදා වූ කල ගස් නොකැපිය යුතු බවද දැක්වේ.
කෘෂ්ණපක්ෂෙ චතුදීශ්‍යාං
රේවතී රෝහිණි යුතෙ
යදා තදා ගුරෞ ලග්නෙ
ගෘහාථිං තු හරෙදුමාන්
යන ශ්ලෝකයෙන් කියැවෙන්නේ කළුවර කාලයෙහි රේවතී, රෙහෙණ යන නැකැත් යෙදෙන තුදුස්වක තිථිය ඇති දිනක ගස් කැපීම ශුභදායක බවයි.
එමෙන්ම නිවාස අවශ්‍යතා සඳහා ගස් කැපීම සූර්යයා මිථුන, සිංහ, කන්‍යා, ධනු, මකර, මීන රාශිවල ගමන් කරන කාලයේද නවම්, බිනර මාසවල ද නොකළ යුතු බව වාස්තු විද්‍යාවේ දැක්වේ.
ගස් කැපීම සඳහා මුවසිරස, පුනාවස, අනුර, හත, සුවණ, තුනතුරු නැකැත් සුබ වේ. ගස කැපීමට ප්‍රථම කිරිබත්, බත්, දීකිරි, අග්ගලා, කැවුම්, තල ආදියෙන් ද මල් සුවඳ දුම් ආදියෙන් ද යුක්තව එම ගසට පුද පූජා කළ යුතුය.
ඉන් සිදු කරන්නේ එම ගසට අරක් ගත් දෙවි දේවතාවුන් වහන්සේලාට එම පූජා බාරගෙන වෙනත් ගසක් වාසය සඳහා තෝරා ගැනීමට ආරාධනා කිරීමයි. එම පූජාව රාත්‍රි කාලයේ තැබිය යුතුය.
එම පූජා පවත්වා ගස මුල ජලයෙන් තෙමා මී තෙල් සහ ගිතෙල් ගල්වන ලද පොරවකින් හැකි තරම් උදේ කාලයේදී ගස කැපිය යුතුය. කපන ලද ගස නැගෙනහිර දෙසට හෝ උතුරු දෙසට වැටුණේ නම් ඉතාම සුබදායකය.
එම ගස වෙනත් ගසක මැද රැඳුණේ නම් එම ගසේ දැව නිවස සඳහා යොදා ගැනීම සුදුසු නොවේ.
ගස් කැපීම පමණක් නොව ගස් සිටුවීමේ ආනිශංසද පැරණි වාස්තු විද්‍යාව තුළ දක්වා ඇත. යමෙක් එක් බෝ ගසක්ද එක් කොහොඹ ගසක්ද එක් නුග ගසක්ද නැත්නම් සියඹලා ගස් දහයක්, දිවුල්, බෙලි, නෙල්ලි ගස් තුනක් හෝ අඹ ගස් පහක් සිටුවන්නේ නම් හෙතෙම කිසිදා නරකාදිය නොදකින බව දක්වා ඇත.
තවද කුලයෙන් අඩු තැනැත්තන්ද, දුරාචාරයේ යෙදෙන තැනැත්තන්ද, අකුසල් කරන තැනැත්තන්ද වෘක්ෂලතා රෝපණය කිරීමෙන් සුඛී සුවපත් භාවයට පත් වන බව දක්වා ඇත. යමෙක් මහාමාර්ගය අසල යම් ගසක් සිටුවන්නේද, ඒ අසලින් ළිඳක් තනන්නේද ඔහු දිව්‍ය ලෝකයේ සියලු සැප ලබමින් යුග හතරක් වාසය කරන බවද වාස්තු විද්‍යාවේ සඳහන් වේ.