නැණ නුවණ වඩන බුද ජුනි 24 වැනිදා මිථුනයට | සිළුමිණ

නැණ නුවණ වඩන බුද ජුනි 24 වැනිදා මිථුනයට

 

ප්‍රවීණ ජ්‍යොතිර්වේදිනී

ශ්‍රියා ගනේගොඩ

 

2023 ජුනි මස 24 වැනි දින 12.42ට ග්‍රහ තරු අතරින් කුඩාම ග්‍රහ තරුව වන බුධ බලවත් වෙයි. අධ්‍යාපනයට දැඩි කැමැත්තක් දක්වන, පුළුල් දැනුමක් සහිත ප්‍රසන්න කතා විලාසයක් මෙන්ම පැහැදිලි මතක ශක්තියක්ද ඇති බුධ ග්‍රහ තරුවෙන් අපට නෙළාගත හැකි ප්‍රයෝජන අපමණය.

මෙවර බුධ පැමිණෙනුයේ තමාගේම භවනය වූ මිථුන රාශියටයි. එහිදී බුධ ස්වක්ෂේත්‍ර බලයෙන් යුතු වෙයි. රාශි වළල්ලේ ස්ථාන දෙකක්ම බුධට හිමි වන අතර ඒ ඒ ස්ථානවලට පැමිණි විට අත්පෙත් යෝගය, විදුරවි යෝගය, බුධ ආදිත්‍ය යෝගය, සරලා, විමලා, හර්ෂා වැනි විශිෂ්ට ප්‍රතිඵල දෙන ග්‍රහයෝග උදා වේ.

මෙම බුධ මාරුව අධ්‍යාපනය ලබන දරුවනට සුවිශේෂී වනුයේ දැනුම බුද්ධිය වැඩිකර විභාගවලට මුහුණ දීමට අවශ්‍ය කරන ශක්තිය, ධෛර්යය ලබා දෙන නිසාවෙනි. ජූලි මස 08 වැනි දින දක්වා බුධ, මිථුන රාශියේ සිය චලිතය පවත්වාගෙන යන අතර මේ කාලය තුළ උපදින දරුවන් බුද්ධි මට්ටමෙන් ඉතා උසස් වන අතර ප්‍රියමනාප හුරුබුහුටි බවක් දක්නට ලැබෙයි. මෙම ග්‍රහ මාරුවෙන් ලග්න දොළහෙන් උපන් ඔබට ලැබෙන සුබ පල කවරේදැයි විමසා බලමු.

මේෂ - ඔබගේ 3 වැන්න වූ වික්‍රමස්ථානයට පැමිණෙන බුධ අත්පෙත් යෝගය හා බුධ ආදිත්‍ය යෝගය උදා කරයි. සහජ කුසලතා වර්ධනය කර ගැනීමට උදවු දෙයි. ප්‍රාථමික අංශවල ඉගෙනීම ලබන දුවා දරුවන්ගේ දැනුම අවබෝධය මතක ශක්තිය වර්ධනය කර ඔවුන් දක්ෂයන් බවට පත් කරනු ඇත. පොදුවේ ගත් කල අධ්‍යාපනය ලබන සියලු සිසු දරු දැරියන්ට සුබ පල උදා කරනු ඇත. සොයුරු සොයුරියන්ගෙන් උදවු උපකාරද හිමිකර දෙයි.

වෘෂභ - ඔබගේ කේන්දරයේ දෙවැනි භාවයට පැමිණෙන බුධ නිසා ඔබ දක්ෂ කථිකයකු වනු ඇත. ප්‍රියමනාප ලෙස වචන හසුරුවා අන්‍යයන්ගේ සිත් දිනා කටයුතු කරන අතර ධනය උපයන මාර්ගවලට යොමු වෙයි. තැන්පත් ධනය වර්ධනය කර ගනී. රැකියාවේ උසස් තනතුරු ලබයි.

මිථුන - ඔබගේ කේන්දරයේ ලග්න භාවයට පැමිණෙන බුධ නිසා ඔබ ඇසුරු කරන අය අතර ජනප්‍රියතාවයට පත් වේ. ඔබගේ කතාවට තැන්පත් බුද්ධිමත්කමට හැසිරීමට අන්‍යයන්ගේ ප්‍රසාදය ලැබේ. ලේඛනයට දක්ෂ වේ. පුණ්‍ය කටයුතුවලට නිරතුරුව දායකත්වය ලබා දෙයි. සුවිශේෂී හැකියාවන් ඉස්මතු වී ආර්ථික ලාභ ලබා ගැනීමේ මාර්ග විවර වෙයි. අත්පෙත් යෝගය, බුධ ආදිත්‍ය යෝගය නිර්මාණය කරයි.

කටක - ඔබගේ කේන්දරයේ 12 වැනි භාවයට ගොස් හර්ෂා නම් යෝග බලයෙන් යුතුව විදෙස් ගමන් ඉල්ලුම් කර තිබූ අයට සුබ පණිවුඩ රැගෙන එයි. විදේශවල සිටින අයගෙන් උදවු උපකාර ලබයි. බුද්ධිය, දැනුම, ප්‍රඥාව වැඩි කර දෙන අතර ඔබට මෙතෙක් නීතිමය ගැටලු තිබුණානම් ඒවා නිරවුල් කර සහන සලසනු ඇත. දුර ගමන් වන්දනා ගමන් යාමට ඉඩකඩ සැලසෙනු ඇත.

සිංහ - ඔබගේ කේන්දරයේ අයස්ථානය වූ 11 වැන්නට බුධගේ පැමිණීම අතිශයින් සුබ පල දායක ග්‍රහ මාරුවකි. මුද්‍රණ කර්මාන්තය, ලේඛනය, සන්නිවේදන අංශවලින් මුදල් උපයා ගැනීමට ඔබ දක්ෂයෙකු වනු ඇත. ආර්ථිකය ශක්තිමත් බවක් උසුලයි. ව්‍යාපාරවලින් ලාභ උපයයි. බ්‍රෝකර් වැඩවලින් වාසි සහගත වේ.

කන්‍යා - ඔබගේ කේන්දරයේ 10 වැන්නට බුධගේ පැමිණීම අනුව කර්ම බලය ශක්තිමත් වී රැකියාවලින් උසස් වීම් ලබයි. ආදායම් මාර්ග විවර වෙයි. විදෙස් ගමන් සපල වී සුඛෝපභෝගීව දිවි ගෙවන්නට හැකියාව ලැබෙයි. පදිංචි ස්ථානයේ දියුණුවට කටයුතු කරයි. ලේඛන කලාවෙන් දියුණුව ප්‍රසිද්ධිය ලබයි.

තුලා - තුලා ලග්නය හිමි ඔබගේ භාග්‍යස්ථානය වූ 9 වැන්නට බුධගේ පැමිණීමද විදෙස් ගමන් සපල කරන ග්‍රහ මාරුවක් වන අතර ඔබව පුණ්‍ය කටයුතුවලට යොමු කරයි. විවාහ දරු පල ප්‍රමාද වූ අයට සුබ පල උදා කරයි. දේපළ ඉඩකඩම් යාන වාහන ලාභ ඇති වෙයි.

වෘශ්චික - ඔබගේ කේන්දරයේ 8 වැන්නේ විමලා නම් යෝග බලය උදාකරන බුධ ආයුෂ වැඩි කරයි. මානසික පීඩනය දුරු කරයි. බාධක ඉවත් වී තම කටයුතු නිසියාකාරව ඉටුකර ගැනීමට ඉඩකඩ ලබා දෙයි. සහකාර පාර්ශ්වයෙන් දායාදය හිමි වන ග්‍රහ බලයක් ද වනු ඇත.

ධනු - ඔබගේ කේන්දරයේ 7 වැන්නට පැමිණෙන බුධ ග්‍රහයා සාමාජීය තත්ත්වය උසස් කරයි. ව්‍යාපාර ආදියෙන් ලාභ උපයන්නටත් යුග ජීවිතය ගැටලු නොමැතිව පවත්වාගෙන යන්නටත් උපකාරී වේ. තමාගේම කියා පදිංචි ස්ථානයක් ගොඩනඟා ගත හැකි වේ. සහජ දක්ෂතා මත සාර්ථකත්වයට පත් වේ. යහපත් කතාවට පාරිභෝගිකයන් ඇදී එයි. බුද්ධිමත්ව කටයුතු කරන බැවින් ගැටලු අවම වේ.

මකර - ඔබගේ කේන්දරයේ 6 වැන්නට බුධගේ පැමිණීම සතුරු පීඩා අවම කරන ග්‍රහ බලයකි. රැකියා අංශවලින් උසස් දියුණුවක් ලබයි. මෙතෙක් තිබූ අසනීප ගති අඩු වී සතුට සැනසීම හිමි වෙයි. විදෙස් ගමන් සපල වේ. මකර ලග්න හිමියන්ට මෙතෙක් කර ගැනීමට අපහසු වූ බලාපොරොත්තු අභියෝග ජය ගැනීමට හැකි කාලයකි.

කුම්භ - ඔබගේ කේන්දරයේ 5 වැන්න වූ පූර්ව පුණ්‍යස්ථානයට සමීප වන බුධ ග්‍රහයා දරුවන්ගේ අධ්‍යාපනය උසස් කර දැනුම අවබෝධය පුළුල් කර අභියෝගවලට නොබියව මුහුණ දෙන්නට හැකි ලෙස පෝෂණය කරයි. දරු පල ප්‍රමාද වූ අයට විවාහ කල් පසු වූ අයට සුබ පණිවුඩ ලබා දෙයි. ගෘහ ජීවිතයේ මෙතෙක් පැවැති ගැටලු අවම කර සැනසීම ලැබ දෙයි.

මීන - ඔබගේ කේන්දරයේ සිවුවැන්නට පැමිණෙන බුධ ග්‍රහයාගේ බලපෑම අනුව පදිංචි ස්ථානයේ දියුණුව ඇති වෙයි. නිවාස, දේපළ ගැටලු විසඳෙන බවක් පෙනෙන්නට ඇත. නිවාස අලුත්වැඩියාව, නිවසට නව සාමාජිකයන් එක්වීම සිදුවිය හැකි අතර නිවසේ සිට ලියන කියන කටයුත්තකට ඔබව යොමුකර ආර්ථික අපහසුතා මඟ හරවයි. සාමය සතුට ළඟාකර දෙයි.

සුබ පල වඩා වර්ධනය කර ගැනීමටත් අසුබ පල අඩු කර ගැනීමටත් පොදුවේ ඔබට කළ හැකි සෙත් ශාන්ති පහතින් සඳහන් කරමි.

කොහොඹ පැළයක් සිටුවා එයට සත්කාර කිරීම, නාමල්, තල මල් සොයාගත හැකි නම් පූජා කිරීම, විෂ්ණු දෙවියන්ට පූජෝපහාර පැවැත්වීම, රතන සූත්‍රය උදේ හෝ සවස කීම, ශ්‍රවණය කිරීම, මුංඇටවලින් සාදන කැවිලි නිල් පාට ඇඳුම් පරිත්‍යාග කිරීම, සුවඳ වර්ග පාත්‍ර වී, ගිතෙල් දානමය පින්කම්වලට දීම, ඉගෙන ගන්නට හැකි අසරණ දරුවකුට පොත්පත්, පාසල් උපකරණ පරිත්‍යාග කිරීම සහ නොමිලේ දැනුම ලබාදීම, බදාදා දිනයේ බෝධි පූජා පැවැත්වීම ආදී ලෙස සෙත් ශාන්තිවලට යොමු වීමෙන් බුධගෙන් සිදු වන සියලු දෝෂ භංග වී ඔබට සෙත ශාන්තිය ළඟා වනු ඇත.

 

 

Comments