ඇසළ මාසය ඔබට කොහොම ද? | සිළුමිණ

ඇසළ මාසය ඔබට කොහොම ද?

2023 වසරට පා තබා හය මසක් ගෙවුණු බව හිතා ගන්නටවත් බැරි සෙයකි. කාලය ඉබි ගමනින් නොව තරගයකින් දිනන්නට මෙන් අප පසුකර ගොස් හමාරය. අපි කළ යුත්තේ එම කාලයෙන් උපරිම පල නෙළා ගැනීමයි. සිංහල ක්‍රමයට ඇසළ මස නම් වූ ජූලි මාසය පුරාවට ග්‍රහයෝ ද තම රාශි මාරු කරමින් සුබ අසුබ කිරණ විහිදුවමින් ගමන් කරයි. මානව ගුණධර්මවලින් යුතුව ධාර්මික නැඹුරුතාව ඇති මනුෂ්‍යයාට එම අසුබ කිරණ අත් විඳින්නට නොලැබේ. යහපැවැත්මෙන් කටයුතු කරන්නන්ට ලැබෙනුයේ සුබ පල පමණි. එසේ නම් අපි මෙවර ජූලි මාසයේ ග්‍රහ සිත්තම් කවරේදැයි විමසා බලමු.

ජූලි 17 වන දින 05.07ට රවි ග්‍රහයා කටක රාශියට ද ජූලි 1 වන දින 02.16ට කුජ සිංහ රාශියට ද ජූලි 8 වැනි දින 12.14ට බුධ ග්‍රහයා කටක රාශියට ද නැවතත් 25 දින 04.32ට බුධ සිංහ රාශියට ද 7 වැනි දින 04.05ට සිකුරු සිංහ රාශියට ද පිවිසේ.

මේ අතර ජූලි 27 වන දින 20.47ට බුධ ශුක්‍ර යුද්ධයක් පවතින අතර එයින් ජයග්‍රහණය අත්වන්නේ බුධ ග්‍රහයාටයි. ඒ අනුව ජූලි මාසය තුළ බුධ ග්‍රහයාගේ බලය වැඩි බවක් බුධගෙන් යෙදෙන භද්‍රා යෝගය අත්පෙත් යෝගය බුධ ආදිත්‍ය යෝගය සහ සරලා විමලා හර්ෂ නම් යෝග බලත් රාශි 12ත් උපන් අයට පිහිටනු ඇත. අධ්‍යාපනය ලබන දුවා දරුවනට සුබ පල වැඩි වන අතර බුධ ආදිත්‍ය යෝගය හේතුකොට ගෙන රට තුළ ජනතාවට ද සහනදායී පිළිවෙතක් ලැබෙනු ඇතැයි විශ්වාස කළ හැකිය. කෘෂි කාර්මික, ආර්ථික, සාමාජීය අංශවල වෙනස්කම් ඇතිවන අතර ඒවාට සුබවාදීව චිත්ත ශක්තියකින් යුතුව මුහුණ දීමට අපි සූදානම් වීමද වැදගත් වේ.

 

මේෂ - ගෘහ ජීවිතය සතුටින් ගෙවයි

ගෘහ ජීවිතය :- ලග්නයේම ගුරු තැන්පත්ව සිටින්නේ නමවැන්න අධිපති ලෙස බැවින් ධාර්මික සිතුවිලි ඇතිව කල් යවයි. පිනට ලැදිය. එහෙත් රාහු නිසා එම අදහස් ක්‍රියාත්මක කිරීමට යාමේදී බාධා හෝ වෙනස්වීම් සිදුවිය හැක. නරක ප්‍රසිද්ධියක් ඇතිවීමට ද හැකි බැවින් සෑම විටම බුද්ධිමත් තීන්දු තීරණ ගන්න. මේ මාසය තුළ ඔබගේ සහජ හැකියාවන් වර්ධනය වීමට සහ ඒවාට නිසි ඇගයීමක් හිමි විය හැකියි. ප්‍රාථමික මෙන්ම උසස් අධ්‍යාපනය ලබන දරුවන්ගේ ඉගෙනුම් කටයුතු, විවාහ ප්‍රමාද වූ අයට ඒ පිළිබඳ සුබවාදී බලාපොරොත්තු තබාගත හැකිය.

රැකියාව :- 10 වැන්න වූ රැකියා ස්ථානයේ අධිපති මෙන්ම රැකියා කාරක ග්‍රහයාද වූ සෙනසුරු අයස්ථානයේ ස්වක්ෂේත්‍රව බලවත් යෝගයක සිට වක්‍ර වෙමින් සුබ පල උදා කරයි. දැනට කරන රැකියාවේ සුළු වෙනස්කම් ඇති වුවත් ඔබට අවාසි සහගත නොවේ.

අධ්‍යාපනය :- අධ්‍යාපනය ලබන කුඩා දරුවාගේ පටන් උසස් අධ්‍යාපනය ලබන සිසු දරු දැරියන්ගේ දැනුම ශක්තිය වර්ධනය කරන ග්‍රහ බල පෙන්නුම් කරන බැවින් ඒවායේ ප්‍රතිඵල නෙළා ගැනීමට හැකි වනු ඇත.

සෞඛ්‍යය :- කාලයක පටන් තිබූ අසනීප තත්ත්වයන් සුව අතට හැරීමට හැකියාව ඇත. උෂ්ණාධික රෝග, ආමාශගත අසනීප ආදියට ඉඩ ඇත.

අපල අවම කර ගැනීමට ඉවසීම, වැඩිහිටියනට ඇහුම්කන් දීම සහ සමාදානයෙන් කල් ගෙවීම, අන්‍යයන්ට උපකාර කිරීම වැනි දේට යොමුවන්න. කුසගින්නේ සිටින අයෙකුට ආහාර වේලක් ලබා දෙන්න. ජලාශවල නෑමට යාමෙන් වළකින්න.

සුබ අංක - 5, 7, සුබ වර්ණ - රතු, නිල්, සුබ දවස් - ඉරිදා, බ්‍රහස්පතින්දා

 

මිථුන - ඉතා යහපත් කාලවකවානුවකි

ගෘහ ජීවිතය :-ලග්නාධිපති ලග්නයේම භද්‍රා යෝගය, බුධ ආදිත්‍ය යෝගය යන ග්‍රහ බලවලින් යුතුව 4 වැන්න වූ තමාගේම රාශියටත් දෘෂ්ටි හෙළමින් චලිතයක යෙදෙයි. ඒ අනුව ලබන්නා වූ මාසය පුරාවට ඔබගේ සියලු යහපත් බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ වීමේ ලකුණු පෙන්වයි. දරු මුනුපුරන් සහෝදර පිරිස් ඥාති හිතවතුන් සමඟ ඉතා කුලුපග ඇසුරක් පවත්වයි. පවුල් ඒකකය තුළ කටයුතු බුද්ධිමත්ව සොයා බලා විසඳුම් ලබා දෙයි. රාජ්‍ය අංශවල උසස් නිලධාරීන්ගේ පූජ්‍ය පක්ෂයේ හිමිවරුන්ගේ උදවු උපකාර අවවාද අනුශාසනා අසන්නට ලැබෙයි.

රැකියාව :- ගුරු වෘත්තිය, පරිපාලන සේවය, පුවත්පත් කලාව, ලේඛනය යනාදී ක්ෂේත්‍රවල නියැළෙන අයට ඉතාම වාසනාවන්ත කාල පරිච්ඡේදයක් වනු ඇත. ඔබගේ බුද්ධියෙන් දක්ෂතාවයෙන් කටයුතු කර ජයග්‍රහණ ලබන්නට සුදුසු කාලයකි. අනෙකුත් අංශවල තැපැල් විදුලි සංදේශ ආදියේ දියුණුවත් ඔබට එම අංශවලින් වැටුප් වර්ධක හිමිවීමක් ද පෙන්නුම් කරයි.

අධ්‍යාපනය :- අධ්‍යාපනය ලබන සිසු දරු දැරියනට පොතපත ඇසුරු කරගෙන මහත් දැනුම් සම්භාරයක් ලබාගත හැකි කාලයක් වනු ඇත. රජයෙන් ලබන ආධාර වෙනත් පරිත්‍යාගශීලින්ගේ උදවු උපකාර හිමි වනු ඇත.

සෞඛ්‍යය :- උෂ්ණාධික රෝග සහ ස්නායු රෝග බලපැවැත්විය හැකි බැවින් සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව සැලකිලිමත් වන්න.

අපල අවම වීමට පමණ ඉක්මවා අන්‍යයන්ට උපකාර කිරීමට යාමෙන් වැළකී තමාගේ කටයුතු සලසා ගන්න. බදාදා දිනය නිර්මාංශ වන්න.

සුබ අංක - 3, 7, සුබ වර්ණය - කොළ, සුබ දවස් - බදාදා, සිකුරාදා

 

සිංහ - වාසනාවන්ත කාලයකි

ගෘහ ජීවිතය :- එළඹෙන මාසය තුළ ඔබ ඉතා ධෛර්යසම්පන්නව තම අනාගතය වෙනුවෙන් කැපවීම් කරයි. කිසිවෙකුටත් යටත් නොවන තම මතයම සනාථ කරන අභියෝග ජය ගැනීමට නොපසුබට වීර්යයකින් කටයුතු කරන පුද්ගලයෙකු බිහි වෙයි. එසේම ජයග්‍රහණ ලබයි. නිවාස, දේපළ, යාන වාහන ලබන්නටත් ඒවා විකුණා ගැනීමේ අදහසක් තිබුණේ නම් ඒවා පල දරයි. ලග්නයේ සිටින්නේ ඔබගේ යෝග කාරක ග්‍රහයා වන කුජ බැවින් සුබ පල වැඩියෙන් අත්කර දෙයි. ගෘහ ජීවිතයේ ගැටලු අවම වේ.

රැකියාව :- දෙවැන්නාධිපති 11 වැන්න වූ අයස්ථානගතව ලග්නාධිපති සමඟ යෝගව සිටීම යහපති. කරන කියන රැකී රක්ෂා, ව්‍යාපාර කටයුතුවල දියුණුවක් දක්නට හැකි කාලයකි. මිල මුදල් අතමිට ගැවසේ. රාජ්‍ය අංශවල උසස් නිලධාරින්ගෙන් ද උදවු උපකාර හිමි විය හැක. සඳු 4 වැන්නේ නීචව සිටින බැවින් මවුපස ඥාතීන්ගේ ව්‍යාපාර ආදියේ ගැටලු බලපවත්වයි.

අධ්‍යාපනය :- උසස් අධ්‍යාපනය ලබන දුවා දරුවන් සිටීනම් ඒ අයගේ දැනුම මතක ශක්තිය වැඩිදියුණු වේ. උසස් විභාග ජයග්‍රහණ කරන්නට අවැසි දැනුම, ගුරු භවතුනට ගරුත්වය කීකරුකම ද ගොඩනැඟේ.

සෞඛ්‍යය :- උණ රෝග, සෙම් වැඩි ගතිය, හෘද රෝග බලපැවැත්විය හැකියි. සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ විමසිලිමත් වන්න. ලේ හිඟතාවක් ද ඇතිවීමට පුළුවන. ආහාර පිළිබඳව සැලකිලිමත් වීම වැදගත් වේ.

අපල අවම කර ගැනීමට අක්ෂි රෝගීන්ට, ලේ දෝෂ ඇති අයට, අනතුරුවලට ලක් වූ අයට උදවු උපකාර කරන්න.

සුබ අංක - 4, 7, සුබ වර්ණය - රතු, සුබ දවස් - අඟහරුවාදා, ඉරිදා

 

වෘෂභ - කෘෂිකර්මාන්තයෙන් ආර්ථිකය ශක්තිමත් වේ

ගෘහ ජීවිතය :- ඔබගේ කුටුම්භය තුළ සියලු වැඩ කටයුතුවලට දායකත්වය ලබා දෙමින් ප්‍රධානියෙකු සේ කටයුතු කරයි. අණසක පතුරුවයි. පදිංචි ස්ථානයේ දියුණුවට උනන්දු වෙයි. විදෙස්ගත හිතමිතුරෙකුගේ හෝ ඥාතියෙකුගෙන් උපකාර ලැබීමේ ප්‍රවණතාවක් ඇත. ලැබීම් සහිතයි. ආර්ථික අගහිඟතා මඟහැරී යයි. බුද්ධිමත්ව කටයුතු කරයි. සහජ හැකියාවන්ට ඇගයීමක් හිමිවන ලිපි ලේඛන සම්බන්ධ සුබ පණිවිඩ අසන්නට ලැබෙන කාලයකි. දරුවන්ගේ සියලු සුබ ප්‍රාර්ථනා ඉෂ්ට සිද්ධ වීමේ භාග්‍ය පෙන්වයි.

රැකියාව :- රැකියා කාරක ශනි 10 වැන්නේම බලවත්ව සිට නැවත වක්‍ර ගමනින් පුණ්‍යස්ථානය දෙසට ගමන් කිරීම ඔබට රැකියා ක්ෂේත්‍රය තුළ මනා දියුණුවක් අත්පත් කර දෙයි. පොදු ජනයා අතර පීඩිත පන්තියේ දුක හඳුනා ගැනීම ඔබට පහසු කාර්යක් බැවින් ඔවුන්ගේ කාලය අපතේ නොහැර ඉක්මනට අවශ්‍ය කාරණය ඉටුකර දෙනු ඇත.

අධ්‍යාපනය :- ඔබ කුමන අංශයක ඉගෙනුම ලැබුවත් පොතපත පරිහරණය තුළින් වැඩිපුර දැනුමක් ලබනු ඇත. කථිකත්වය, ලේඛනය, නීතිය වැනි අංශවලින් ජයග්‍රහණ ලැබේ. අත්අකුරු තරගවලින් ජයග්‍රහණ ලබයි. උසස් විභාග සමත්වේ.

සෞඛ්‍යය :- පාදවල වේදනා, සුළු අනතුරු, දණහිස් ආබාධ, සෙම් රෝග පෙන්නුම් කරයි. සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ සැලකිලිමත් වන්න.

අපල අවම කර ගැනීමට අවේලාවේ ගමන් බිමන්වලින් වළකින්න. අන්‍යයන්ගේ ගැටලුවලදී අනවශ්‍ය ලෙස මැදිහත් නොවන්න.

සුබ අංක - 6, 7, සුබ වර්ණ - සුදු, ක්‍රීම්,

සුබ දවස් - සිකුරාදා, සෙනසුරාදා

 

කටක - ඇසුරු කරන අය අතර ප්‍රියමනාප පුද්ගලයෙක් වේ

ගෘහ ජීවිතය :- 4, 11 අධිපති සිකුරු ලග්න භාවයේම සිට 5, 9 වැනි ස්ථානවලට දෘෂ්ටි හෙළීම හේතුවෙන් සැහැල්ලු දිවියකට අවතීර්ණ වෙයි. පිනට යොමු වෙයි. ආගම දහම ගැන පුළුල් අවබෝධයකින් කටයුතු කරයි. ඍජු බව සාධාරණය යුක්තිය අනුවම ජීවිතය පවත්වාගෙන යයි. ඇසුරු කරන අය අතර ප්‍රියමනාප පුද්ගලයෙකු බවට පත්වෙයි. ගේදොර යානවාහන ලැබීමක් පවතී. ස්ත්‍රී පක්ෂයෙන් උදවු උපකාර හිමිවේ. පදිංචි ස්ථානයේ අලංකරණ කටයුතු පිළිබඳව වැඩි උනන්දුවක් ඇතිවේ.

රැකියාව :- අෂ්ටම ඒරාෂ්ටකයක් බලපවත්වමින් සෙනසුරු වක්‍ර ගමනක යෙදෙන්නේ 7 වැන්න වූ ව්‍යාපාරික ස්ථානයටයි. යෝගකාරක කුජ දෙවැන්නේ සිට තම රැකියා ස්ථානය වූ 10 වැන්නට දෘෂ්ටි හෙළයි. කෘෂිකාර්මික කටයුතු, පරිගණක ක්ෂේත්‍රවල සේවය කරන අයට ඉතාම යහපත් කල දශාවකි.

අධ්‍යාපනය :- 5 වැන්න වූ අධ්‍යාපන ස්ථානයේ ලග්නාධිපති සඳු නීචව සිටින්නේ මාසය ආරම්භයේ සිටය. එසේ වුවද 5 අධිපති කුජ දෙවැන්නේ සිට 5 වැන්න වූ තම රාශියට දැකීම සුබදායකය. සඳුදා දින බෝධි පූජා පවත්වා පත්තිනි මෑණියන්ට පින් දීමෙන් එම බාධා මඟහරවා ගත හැකිය.

සෞඛ්‍යය :- කලවා, දණහිස් ආදියේ මෙන්ම ආමාශගත අසනීප ද හට ගැනීමට පුළුවන.

අපල අවම කර ගැනීමට සතිය ආරම්භක බෝධියක් අබියස සමන්පිච්ච මල් පුදා පත්තිනි මෑණියන්ට පින් දෙන්න.

සුබ අංක -5,7 , සුබ වර්ණය - සුදු , සුබ දවස් - අඟහරුවාදා

 

කන්‍යා - සාහිත්‍ය කලා ජයග්‍රහණ

ගෘහ ජීවිතය :- භද්‍රා යෝගය බුධ ආදිත්‍ය යෝගය වැනි ග්‍රහ බලවලින් යුතුව කර්මස්ථානය වූ 10 වැන්නේ ගෝචර වීම ඔබට සුබ පල උදා කරයි. ඔබට මේ කාල වකවානුව පෙර නොතිබූ ඥානාන්විත බවක් කායික මානසික පිරිපුන් බවක් ඇති වේ. ඔබගේ වචනයට අන්‍යයන් තුළ පැහැදීමක් ගොඩනැඟෙයි. දරුවන්ගේ අධ්‍යාපනය මෙන්ම සියලු යහපත් ප්‍රාර්ථනා ඉෂ්ට සිද්ධ විය හැකි කාල වකවානුවකි. සැපයෙන් කාලය ගෙවිය හැකි සහ යාන වාහන, ගේදොර ලැබීමට ඉඩකඩ පෙන්වයි.

රැකියාව :- දැනට කරන කියන රැකියාවල උසස්වීම්, වැටුප් වර්ධකවලට ඉඩ ඇත. ලිපි කටයුතු සම්බන්ධ පුවත්පත්, ලේඛන කලාව, සාහිත්‍ය ආදී අංශවල නියුතු අයට ජයග්‍රහණ ලද හැකි සම්මානනීයත්වයට පාත්‍ර වන කාල වකවානුවකි.

අධ්‍යාපනය :- අධ්‍යාපනය ලබන සියලුම වයස් සීමාවල දරුවනට යහපත් කාලයක් වනු ඇත. පොතපත පරිශීලනය කරමින් දැනුම වර්ධනය කර ගැනීමට උසස් විභාග සමත් වීමට හැකි මතක ශක්තියක් ගොඩනැඟේ. උසස් ගුණයෙන් යුතු පොතපත පරිශීලනය කරන්නට පෙලඹේ.

සෞඛ්‍යය :- උණ සහ සෙම් රෝග ද ලේ දෝෂ ද බලපැවැත්විය හැකි බැවින් සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ උනන්දු වන්න.

අපල අවම කර ගැනීමට මෛත්‍රී සිතුවිලි ඇතිකර ගන්න. කුඩා දරුවනට දැනුම සහ පොතපත, පාසල් උපකරණ ලබා දෙන්න. දරුවන්ට ආරක්ෂාව රැකවරණය දෙන්න.

සුබ අංක - 5, 7, සුබ වර්ණය - කොළ,

සුබ දවස් - බදාදා, සිකුරාදා

තුලා - රාජකාරි කටයුතුවලින් ප්‍රශංසා

ගෘහ ජීවිතය :- ලග්නාධිපති 10 වැන්නේ සහ යෝග කාරක සෙනසුරු පූර්ව පුණ්‍යස්ථානය වූ 5 වැන්නේ ද පිහිටා ආරම්භ වන මාසය යහපත්ය. උසස් අයගෙන් උදවු උපකාර ලැබෙන සහ ආණ්ඩුවේ රාජකාරි අකුරට ඉටුකරන බවක් පෙන්නුම් කරයි. කීර්ති ප්‍රශංසා හිමි වෙයි. දෙවැන්නේ සඳු නීචව සිටියත් එම රාශි අධිපති කුජ 11 වැන්නේ වීම නිසා ලැබීම් සහිත කාලයකි. යුග ජීවිතයේ සුළු මතභේද හට ගැනුණද ඒවා තාවකාලික වේ. භාග්‍යස්ථානය වූ 9 වැන්නේ බුධ ගෝචරව සිටින්නේ ස්වක්ෂේත්‍ර බලයෙන් නිසා පුණ්‍ය කටයුතුවලට නිරතුරුව දායක වෙයි.

රැකියාව :- 10 වැන්නාධිපති දෙවැන්නේ සිට ත්‍රිකෝණව 10 වැන්න දකින බැවින් ඇවිදිලි වැඩ වැඩි වේ. යෝගකාරක සෙනසුරු 5 වැන්නේ සිට වක්‍ර වෙමින් යන ගමනේදී ස්වයං රැකියා සහ නිවසේ සිට කරන කියන ව්‍යාපාර කටයුතු කෘෂි කාර්මික කටයුතු ආදියට සුබ පල අත් වේ. මිල මුදල් ලාභ පවතී.

අධ්‍යාපනය :- උසස් අධ්‍යාපනය කරන දරුවන්ට ජයග්‍රහණ අත් වේ. ඒ අයගේ දැනුම මතක ශක්තිය වැඩි කරන ග්‍රහ බල පවතී. අනෙකුත් අංශවල එනම්, ප්‍රාථමික අධ්‍යාපනය ලබන දරුවන්ගේ කලා කුසලතා ඔප්නැංවේ.

සෞඛ්‍යය :- තුනටියෙන් පහත වේදනා, වකුගඩු මුත්‍රා ආසාදන ඇතිවිය හැකි බැවින් සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ සැලකිලිමත් වන්න.

අපල අවම කර ගැනීමට තමාට උරුම වූ මධ්‍යස්ථ බවින් කටයුතු කරන්න. වචන පාවිච්චියේදී ප්‍රවේසම් සහගත වන්න.

සුබ අංක - 6, 7, සුබ වර්ණ - ක්‍රීම්, රෝස,

සුබ දවස් - සිකුරාදා, සෙනසුරාදා

 

වෘශ්චික - විදෙස් ගමන් සඵල විය හැකිය

ගෘහ ජීවිතය :- ලග්නයේ නීච වී සිටින්නේ භාග්‍යස්ථාන අධිපති බැවින් ඔබ කරන කියන කටයුතුවලදී කල්පනාකාරී විය යුතුය. ලග්නාධිපති 10 වැන්නේ දිග්බලව සිටීම යහපත් ග්‍රහ බලයකි. තමාගේ අරමුණු මුදුන් පමුණුවා ගැනීමට හැකි වේ. විදෙස් ගමන් ඉල්ලුම් කර තිබූ අයට සුබ පණිවුඩ ලැබෙන්නට පුළුවන. සිකුරු 9 වැන්නේ බැවින් ව්‍යාපාර කටයුතුවලට සුබ වේ. ප්‍රසන්න සිතුවිලි සහිත වුවත් ආවේගශීලි අවස්ථා මතුවිය හැකි බැවින් ඉවසීමෙන් කල් ගෙවීම වැදගත් වේ. සතුරු කරදර ඉවත් වෙයි.

රැකියාව :- 19 වැන්න වූ රැකියා ස්ථානයේ කුජ මිත්‍රශීලීව සිටීම අනුව කරන කියන රැකියාවලින් සහ ව්‍යාපාරවලින් ලාභ ප්‍රයෝජන ලබයි. ඒවා වඩාත් ලාභදායී ව්‍යාපාර කර ගැනීමට උනන්දු වෙයි. නව රැකියා අපේක්ෂකයින්ට ද යහපත් කාලයක් වන අතර කෘෂි කාර්මික අංශවල දියුණුවක් ඇතිකර ගත හැක.

අධ්‍යාපනය :- අධ්‍යාපනය ලබන දුවා දරුවන් හට සුළු බාධාවලට ඉඩ ඇත. එහෙත් ඒවා ගණන් නොගෙන තම අභිමතාර්ථ මුදුන් පමුණුවා ගන්නා ග්‍රහ බලද පෙන්නුම් කරයි. උත්සාහයෙන් ධෛර්යයෙන් කටයුතු කිරීමට දෙමාපියන්ගේ මඟ පෙන්වීම අත්‍යවශ්‍යය. අලස නිදිමත ගති නැති කිරීමටත් බාධා මඟ හරවා ගැනීමටත් ගණ දෙවියන්ට පූජෝපහාර දක්වන්න.

සෞඛ්‍යය :- මුහුණ අවට ඉන්ද්‍රියන්ගේ සහ පිත් රෝග ද බෝවන උණ රෝග ද වැලඳිය හැකියි.

අපල අවම කර ගැනීමට දුර්වල අයට උපකාර කරන්න. කුසගින්නේ පසුවන අයෙකුට ආහාර වේලක් ලබා දෙන්න. පොදු වාහනයකදී නම් තම ආසනය පරිත්‍යාග කරන්න. ඒ පින ඔබට විශ්ව ශක්තියෙන් ලැබෙනු ඇත.

සුබ අංක - 4, 7, සුබ වර්ණය - රතු,

සුබ දවස් - ඉරිදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා

 

ධනු - භාග්‍යවත් මාසයකි

ගෘහ ජීවිතය :- ලග්නාධිපති 5 වැන්නේත් ධර්ම කර්මාධිපති යෝගය 7 වැන්නේත් බල පවත්වමින් ආරම්භ වන එළඹෙන මාසය ඔබට සුබ පල උදා කරයි. පෙර පින අනුව ඔබගේ සියලු යහපත් බලාපොරොත්තු ඉටුවීමේ භාග්‍ය උදාකරයි. ඔබ මෙතෙක් බොහෝ දේවල් නොලැබූ කෙනෙක් නම් ගේ දොර, යාන වාහන, රැකියා, විවාහ, දරු පල ආදී ජීවිතයේ ප්‍රධාන අත්‍යවශ්‍ය සාධකවලින් වැඩි කොටසක් ලැබීමේ වාසනා මහිමයක් ඇති කාලයකි. විකුණා ගැනීමට නොහැකිව තිබූ ඔබ සතු දේපළක්, වාහනයක් විකුණා ගැනීමේ භාග්‍ය ඇත. බුද්ධිමත්ව කටයුතු කර ඒවායේ ප්‍රතිඵල ළඟා කර ගැනීම ඔබ සතු කාර්යයකි. විදෙස් ගමන් සම්බන්ධයෙන් සුබ පණිවිඩ ලැබෙන්නට ඉඩකඩ ඇත.

රැකියාව :- ඔබ දැනට කරගෙන යන රැකියාවේ උසස් වීම්, වැටුප් වැඩි වීම් සිදුවිය හැකි අතර, අතමිට මිල මුදල් ගැවසෙන දින 30ක කාලයක් බව පෙන්වයි. විදෙස්ගත රැකියා ලැබීමේ වාසනාව ඇත.

අධ්‍යාපනය :- උසස් අධ්‍යාපනය ලබන දරුවන්ට විශේෂ වූ දැනුම් සම්භාරයක් උරුම කර දෙන ග්‍රහබල ශක්තීන් ඇති අතර, පොදුවේ සියලු දරුවනට තම ඉගෙනීමේ කටයුතුවලින් ජයග්‍රහණ ලැබ ගත හැකි කාල වකවානුවකි.

සෞඛ්‍යය :- අම්ල පිත්ත රෝග, ආමාශගත උදර රෝග, උණ ආදිය හට ගැනීමට පුළුවන. සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව සැලකිලිමත් වන්න.

අපල අවම කර ගැනීමට ආහාර පාලනය කර ගැනීමත් තැන්පත් බුද්ධියකින් කටයුතු කිරීමත් බෝධීන් වහන්සේ අවට පිරිසිදු කිරීමත් පැන් කළ දැමීමත් භික්ෂූන් වහන්සේට ගිලන්පස පූජාවත් සුදුසු වේ.

සුබ අංක - 6 7, සුබ වර්ණය - කහ, සුබ දවස් - ඉරිදා, බ්‍රහස්පතින්දා

මකර - අපේක්ෂා අරමුණු මුදුන්පත් වෙයි

ගෘහ ජීවිතය :- ලග්නාධිති දෙවැන්නේ වක්‍ර ගමනකත් ගුරු සිවුවැන්නේත් ගමන් කරන මාසය සුබ පල මෙන්ම තරමක් අපල තත්ත්වයන් ද බලපවත්වයි. මෙතෙක් තමා තුළ තිබූ අරමුණු අපේක්ෂා සුබවාදී ලෙස ඉටුකර ගැනීමට හැකි වෙයි. තමාගේම කියා ගේදොර යාන වාහන හිමිකම් ඇත. සතුරු කරදර ඉවත් වෙයි. ලිපි ලේඛන සම්බන්ධයෙන් සතුටුදායක බවක් සැලවිය හැක. සඳු නීච 11 වැන්නේ ගමන් කිරීමෙන් මානසික තෘප්තිය අඩු විය හැක. භාවනාවක නිරත වීම අත්‍යවශ්‍ය වේ.

රැකියා :- මැණික් පතල් කර්මාන්ත, රත්රන් භාණ්ඩ අලෙවිය, විසිතුරු සුඛෝපභෝගී භාණ්ඩ අලෙවිය ආදියෙන් ඉහළ ලාභ ප්‍රයෝජන ලද හැකිය. කෘෂිකාර්මික අංශයෙන් ද පල ප්‍රයෝජන තිබේ. නිල ඇඳුම් නිෂ්පාදනය ද ලාභ ඉපයීමට හැකි වෘත්තියකි.

අධ්‍යාපනය :- ප්‍රාථමික අංශවල සිට උසස් අධ්‍යාපනය දක්වා ඉගෙනුම ලබන දරුවන්ගේ මතක ශක්තිය වර්ධනය වන විදිහේ ග්‍රහබල පවතින බැවින් අභියෝග ජය ගැනීමට පහසුය. බුධ බලවත් කාලය දරුවනට නව දැනුම් සම්භාරයක් හිමි කර දෙනු ඇත.

සෞඛ්‍යය :- ලේ අඩුකම ඉදිමුම, රක්තවාතය, හන්දි කැක්කුම ඇතිවිය හැක.

අපල අවම කර ගැනීමට උවමනාවට වඩා වෙහෙසීම නවතා සැහැල්ලුවෙන් දවස ගෙවීමත් නැතහොත් සුළු හෝ විවේකයක් ලබා ගැනීම අත්‍යවශ්‍යය.

සුබ අංක - 6, 9, සුබ වර්ණය - නිල්,

සුබ දවස් - සිකුරාදා, සෙනසුරාදා

 

කුම්භ - බාධක හමුවේ නොසැලී සිටීම දියුණුවේ ලක්ෂණයයි

ගෘහ ජීවිතය :- ලග්නාධිපති ලග්නයේමත් 5 වැන්න අධිපති 5 වැන්නේත් ගත කරමින් ඇරඹෙන මාසය පුණ්‍ය කටයුතුවලට වැඩි දායකත්වයක් ඇති කරයි. ආත්මාර්ථය අබිබවා පරාර්ථය පිණිස කටයුතු කරන අවස්ථා උදා වෙයි. ඔබගේ දරුවන්ගේ සියලු යහපත් කටයුතු පල දරන කාල වකවානුවක් ලෙස සඳහන් කළ හැකිය. ඒරාෂ්ටක කාලයක් වුවද ඔබ නොසැලී සිටිමින් ධෛර්යවත්ව කාලයත් සමඟ කළමනාකරණයෙන් යුතු වීම අගනේය. එය දියුණුවේ ලක්ෂණයකි. විදෙස්ගත වීම් බලාපොරොත්තුව සිටි අයට සුබ පණිවුඩ ලැබෙන්නට ඇති ප්‍රවණතාව වැඩිය.

රැකියාව :- ඔබ රැකියාව කරන ආයතනයේ කීර්තියක් ගෞරවයක් හිමි කර ගැනීමට ඔබට වාසනාව ඇත. කෘෂිකර්මාන්තයෙන් පල ප්‍රයෝජන හිමි කර දෙයි. ලිපි ලේඛන ආශ්‍රය කරගෙන පොතපත අසුරු කරගෙන කටයුතු කරන ස්ථානයක නම් ඔබ ඉතා ඕනෑකමින් එම කාර්යන් ඉටු කරයි. ප්‍රසාදය දිනා කටයුතු කිරීමෙන් උසස් නිලධාරීන්ගේ ප්‍රශංසා ලබන තත්ත්වයට පත් වේ.

අධ්‍යාපනය :- ප්‍රාථමික අධ්‍යාපනය ලබන දුවා දරුවන්ගේ දක්ෂතා ඉදිරියට එන කාල වකවානුවකි. පොදුවේ ගත් කල බුධ බලවත් වීම අධ්‍යාපනය ලබන සියලු දරුවන්ට සුබ පල පමුණුවන කාලයකි.

සෞඛ්‍යය :- සෙම්, පීනස් රෝග ආදියට ඉඩ ඇත.

අපල අවම කර ගැනීමට දහඩිය මහන්සියෙන් වැඩ කරන කම්කරුවනට හැකි අයුරින් උපකාර කරන්න.

සුබ අංක - 7, 9, සුබ වර්ණය - නිල්, සුබ දවස් - සිකුරාදා, බදාදා

 

මීන - ගෘහ ජීවිතය යහපත් වූ කාලයකි

ගෘහ ජීවිතය :- ලග්නාධිපති දෙවැන්නේ සිටියදී අරඹන මාසය ඔබට අයහපත් නොවේ. ගුරු හා යෝගව සිටින රාහු 11 වැන්න අධිපතියාය. ඒ නිසා තැන්පත් මුදලක් පවත්වා ගැනීමට ඔබට හැකි වන අතර ආර්ථිකය ශක්තිමත් බවක් උසුලයි. ලියන කියන කටයුතුවලින් ජයග්‍රහණ ලබා ගැනීමට ඉදිරි මාසය තුළ ඔබට හැකි වන අතර, එය නිවසේ සිටම කරගෙන යන ස්වයං රැකියාවකට ඉඩකඩ පෙන්වයි. දරුවන්ගේ දක්ෂතා නිසා සතුටක් ලබන්නට හැකි වේ. එය කලා කුසලතාවක් විය හැකිය. විවාහ, දරු පල ප්‍රමාද වූ අයට සුබ කාලයකි.

රැකියාව :- 10 වැන්න වූ රැකියා ස්ථානයේ අධිපති ගුරු දෙවැන්නේ පිහිටීම කරන කියන රැකී රක්ෂා ව්‍යාපාර ආදියෙන් ලාභ ප්‍රයෝජන හිමි වන බවට සාධකයකි. වැඩිහිටි අයගේ ව්‍යාපාරවලට දායක වන්නට අවස්ථාව සැලැසේ. ගුරු වෘත්තිය මෙන්ම වෙනත් උපදේශක තනතුරු ආදියෙන් උසස් තත්ත්වයකට පත් වේ.

අධ්‍යාපනය :- 3 වැන්න අධිපති සිකුරු 5 වැන්නේ ගෝචර වීම අධ්‍යාපනය අතින් සුබ පල උදාකර දෙයි. ප්‍රාථමික අංශවල දරුවන්ගේ දක්ෂතා හොඳින් පැහැදිලි වේ. පොදුවේ ගත් කල සියලු සිසු දරු දැරියනට යහපත් කාලයකි. කලාත්මක අංශවලින් ඉදිරියට යාමට හැකි වනු ඇත. අපල අවම කරගැනීමට බෝ පත්‍ර අතින් අහුලා දමා බෝධීන් වහන්සේට සහ භික්ෂුන් වහන්සේට උවටැන් කරන්න.

සෞඛ්‍යය :- පාදවල අසනීප, ලේ අඩුකම, ඉදිමුම වැනි දේට ඉඩකඩ ඇති බැවින් සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව සැලකිලිමත් වන්න.

අපල අවම කර ගැනීමට භික්ෂුන් වහන්සේට ගිලන්පස පූජා කරන්න.

සුබ අංක - 3, 7, සුබ වර්ණ - රතු, කහ,

සුබ දවස් - බ්‍රහස්පතින්දා, අඟහරුවාදා.

Comments