අතේ ඇඟිලි හෙළි කරන ඔබේ චරිත ලක්ෂණ | සිළුමිණ

අතේ ඇඟිලි හෙළි කරන ඔබේ චරිත ලක්ෂණ

සාමුද්‍රකා ශාස්ත්‍රය අනුව අල්ල පරීක්ෂා කිරීමේදී අල්ලේ රේඛාවල පිහිටීම මෙන්ම ඇඟිලිවල පිහිටීම ගැනද පරීක්ෂා කිරීම වැදගත් වෙයි. අතේ ඇඟිලි එකකට එකක් සමාන නොවන්නා සේම එක් එක් අයගේ ඇඟිලි පිහිටි ආකාරය අනුවද එක් එක් අයගේ ගතිගුණ මෙන්ම ජීවන රටාවන්ද විවිධය.

අතේ ඇඟිලි දඹරැඟිල්ලේ සිට සුළඟිල්ල දක්වා ඇඟිලි හතර පටන්ගන්නා ස්ථාන (ඇඟිලි මුල) එක පේළියට හෙවත් එකම මට්ටමකට තිබීම ශෝභන දැක්මක් වාගේම එය සමාජයේ උසස් තත්ත්වයකට පත්වන අයගේ අල්ල මත දැකිය හැකි ලක්ෂණයකි. බොහෝ අයගේ අල්ලේ මෙම ඇඟිලි ආරම්භ වන කොටස ආරුක්කුව හැඩය ගනී. එය අශුභ ලකුණක් නොවුවත් එයින් ඇතිවන සුබ පලයක්ද නැත.

සෘෂිවරුන් පෙන්වා දුන් පරිදි අතේ ඇඟිලි වනාහි විශ්වයේ ඇති ග්‍රහයන්ගේ චාලක ශක්තීන් රැස්කර ගන්නා ඇන්ටනාවක් බඳුය. අල්ලේ ඇඟිලි පහ ග්‍රහයන් පස් දෙනෙකුට අයත් වෙයි. ප්‍රධාන ඇඟිල්ල හෙවත් මහපටඟිල්ල සිකුරුගේ සහ කුජගේ බලයත් දබර ඇඟිල්ල ගුරු ග්‍රහයාගේ බලයත්, මැදඟිල්ල සෙනසුරුගේ හෙවත් ශනිගේ බලයත්, වෙදඟිල්ල රවි ග්‍රහයාගේ බලයත්, සුලඟිල්ල බුධ ග්‍රහයාගේ බලයත් පෙන්නුම් කරයි.

සඳු හෙවත් චන්ද්‍රයාට ඇඟිල්ලක බලයක් නැතත් චන්ද්‍රයා හිරුගේ බලයෙන් දීප්තිය ලැබීම නිසා අන් සියලු ඇඟිලිවලින් මිනිස් සිරුරට එන ශක්තීන් අල්ලේ චන්ද්‍ර මණ්ඩලය තුළ ඇති කරයි.

දඹරඟිල්ලේ නිය සහිත පුරුක මේෂ රාශියටද, මැද පුරුක වෘෂභ රාශියටද, මුල පුරුක මිථුනයටද, මැදඟිල්ලේ මුදුන් පුරුක මකරයටද, මැද පුරුක කුම්භයටද, මුල පුරුක මීනයටද, වෙදඟිල්ලේ මුදුන් පුරුක කටකයටද, දෙවැනි පුරුක සිංහයටද, මුල පුරුක කන්‍යා රාශියටද, සුලඟිල්ලේ මුදුන් පුරුක තුලාවටද, මැද පුරුක වෘශ්චිකයටද, මුල පුරුක ධනු රාශියටද අයත් වෙයි.

ඇඟිලි අතරින් සුවිශේෂි ස්ථානයක් මහපට ඇඟිල්ලට හිමි වෙයි. සිකුරු මණ්ඩලයෙන් ඇරැඹෙන මහපටඟිල්ල සිකුරු ග්‍රහයාට අයත් වේ. පහසුවෙන් නොනැමෙනසුලු මහපටඟිල්ලක් පිහිටීම දැඩි ආත්ම ශක්තියක් ඇති කුමන ප්‍රශ්නයක් හමුවේ වුවද නොසැලෙන අයෙක් පෙන්නුම් කරයි. ඉතා ගෞරවනීය ලෙස ජීවිත ගතකරන අයගේ අත්වල මෙවැනි ආකාරයේ මහපටඟිල්ලක් පිහිටයි.

මහපටඟිල්ලේ නිය සහිත පුරුක මැද පුරුකට වඩා දික්වුවහොත් බුද්ධියට වඩා අධිෂ්ඨානයෙන් ධෛර්යයෙන් තමන්ගේ දියුණුව සලසා ගනී. මැද පුරුක නිය සහිත පුරුකට වඩා දිගු වුවහොත් කාර්යශූර නොවන කුසීත බවක් පෙන්නුම් කරයි.

මහපටඟිල්ලේ අග පුරුක දඹරැඟිල්ලේ මුල පුරුකට වඩා දිගු වුවහොත් අධිෂ්ඨාන ශක්තියත් තර්ක කිරීමේ ශක්තියත් මනාව ප්‍රකට කෙරෙන අතර මුල පුරුකට වඩා එය කෙටි වුවහොත් බුද්ධිය හීන වේ. මහපටඟිල්ලේ අග පුරුක දඹරඟිල්ලේ දෙවැනි පුරුකේ ස්පර්ශ වේනම් හෙතෙම ශිල්ප ශාස්ත්‍ර සහ විවිධ කර්මාන්තයන්හි ප්‍රවීණයෙක් වෙයි. මහපටඟිල්ලේ නිය සහිත පුරුක මැද පුරුකට සමානව දිගුනම් බුද්ධියත්, අධිෂ්ඨානයත් සමානව බුද්ධිමත් අයෙකු වේ.

අල්ලට නොගැළපෙන තරම් කුඩා මහපට ඇඟිලිද සමහර විට දැකිය හැකියි. ඔවුන් බොහෝ විට අධෛර්යවත් පුද්ගලයන් වන අතර ඔවුන් කරන කටයුතු ද අවුල් සහගතය. ආහාරවලට වැඩි ගිජුකමක් දක්වන ඔවුන් රාගාධිකද වෙයි. අශෝභන අදහස් නිතර පළ කරන ඔවුන් බොහෝ විට නිකරුණේ කල් ගෙවන්නෝ වෙති. ඔවුන්ගේ චරිතයද දුර්වලය. ඔවුන් අන් අයට නායකත්වය දීමට ඉදිරිපත් වෙනවා හැරෙන්නට තමන්ට එම තත්ත්වය දීම නුරුස්සති.

අල්ලට සමාන නොවන තරම් විශාල වු එමෙන්ම දිගින් යුතු මහපට ඇඟිල්ලෙන් හෙළි කරන්නේ පුද්ගලයෙකු සතු ශක්තිමත් ස්වභාවයයි. උසස් සිතිවිලි සහිත ඥානයෙන් මෙන්ම බලයෙන්ද යුතු පෙර පින් බල ඇති අයට එවැනි මහපට ඇඟිල්ලක් පිහිටයි. බොහෝ ඇසූ පිරූ තැන් ඇති ඔවුන් කටයුතු කරන්නේ යහපත් බුද්ධියෙන් යුතුවය. දූරදර්ශි ඥානයෙන් යුතු බැවින් ඔවුන් ජීවිතය පිළිබඳව යථාර්ථය අවබෝධ කරගන්නෝ ද වෙති.

අල්ලේ ඉතා පහළින් මහපටඟිල්ල පිහිටියේනම් ඔවුහු සමාජයේ කා සමඟත් සහයෝගයෙන් සිටීමට කැමති කාරුණික, ත්‍යාගශීලී අය වෙති. උසස් මානසික ගුණධර්මවලින් පිරුණු මෙවැනි අය අන්‍යයන්ගේ සැපට දුකට හැම විටම පිහිට වෙති.

මනුෂ්‍යයාගේ මහපටඟිල්ල කොටස් තුනක් ලෙස පුරුක්වලින් වෙන්වී ඇත. එයින් මුල පුරුක 1 කාම ස්නේහ බලය ලෙසද, 2 වැනි පුරුක හෙවත් මැද පුරුක තර්ක විතර්ක බලය ලෙසද අග පුරුක හෙවත් නිය අසල පිහිටි කොටස චෛතසික බලය කියාද හඳුන්වති. මේ අතරින් මුල පුරුක මධ්‍යම ප්‍රමාණයෙන් පිහිටියේනම් හේ නොබිඳෙන පෙම් සබඳතාවක් පවත්වාගෙන යන සරල ජීවිතයක් ගත කිරීමට කැමති යහපත් අයෙකු වේ. මැද කොටස වෙන් වන රේඛා කාම සුඛ රේඛා ලෙස හඳුන්වන අතර එම රේඛා නොකැඩී ප්‍රබලව තිබීම සාර්ථක විවාහයට හේතු වෙයි. රේඛා බිඳී යාම සුබදායක නොවේ. පුරුක් අතර යව සලකුණක් (ධාන්‍ය ලකුණක්) වේ නම් එය ඉතා වාසනාවන්තය. සැපවත් ජීවිතයක සලකුණක් ලෙස එය හස්ත රේඛා විද්‍යාවේ සඳහන් වෙයි.

මහපටඟිල්ල නොනැමෙනසුලු සෘජුව පිහිටි පුද්ගලයන් අන් අයගේ පාලනය නුරුස්සන අන් අයට පාලනය කිරීමේ දක්ෂයන් වෙයි. මහපටඟිල්ල අධික ලෙස පිටි අතට නැවී ඇත්නම් එවැනි අය නැමෙනසුලු අදහස් ඇති අයෙකු විය හැක. අන් අය කෙරෙහි වඩා විශ්වාස කිරීමෙන් තමනට අයහපතක් කරගන්නා අතර බොහෝ විට අන් අයගේ රැවටීම්වලට හසුවේ.

Comments