මධ්‍ය ආදායම් ලබන රටවල් මුහුණ දෙන අභියෝග සම්බන්ධයෙන් විධිමත්ව කටයුතු කළ යුතුයි | සිළුමිණ

මධ්‍ය ආදායම් ලබන රටවල් මුහුණ දෙන අභියෝග සම්බන්ධයෙන් විධිමත්ව කටයුතු කළ යුතුයි

මධ්‍ය ආදායම් ලබන රටවල් මුහුණ දෙන ණය ප්‍රතිව්‍යුහගතකරණය ඇතුළු අභියෝග සම්බන්ධයෙන් විධිමත් සහ කාර්යක්ෂම ලෙස කටයුතු කිරීමේ අවශ්‍යතාව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දුන්නේය.
 
ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ඊයේ (22) පැරිස් නුවරදී ආරම්භ වූ නව ගෝලීය මූල්‍ය ගිවිසුමක් සඳහා වන සමුළුවට සමගාමීව පැවති ඉහළ පෙළේ සාකච්ඡා වාරයට සහභාගී වෙමිනි.
 
ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් ලබා ඇති අත්දැකීම් මෙහිදී ගෙනහැර දැක්වූ ජනාධිපතිවරයා ණය හිමියන් සහ ණය ගැතියන් අතර වඩාත් උසස් ගනුදෙනුවක් ඇති කළ යුතු බව පෙන්වා දුන්නේය.
 
ණය හිමියන් සම්බන්ධයෙන් කටයුතු කිරීමේ දී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මැදිහත්වීම සහ ශ්‍රී ලංකාවේ සම්බන්ධීකරණය පිළිබඳ ප්‍රසාදය පළ කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම ක්‍රියාවලිය සඳහා ජපානය සහ ඉන්දියාව යන රටවල් සමඟ සිදු කෙරුණු සාකච්ඡා ද, සංවර්ධන වැඩසටහන් සහ වාණිජ ඒකමිතියක් සඳහා එම රටවල් සහ චීනය ලබාදුන් සහාය පිළිබඳව ද සිහිපත් කළේය.
 
දැනට පවත්නා අස්ථාවර භාවය තුරන් කිරීම සඳහා ප්‍රතිව්‍යුහගතකරණ කටයුතු කඩිනම් කළයුතු බවත්, මධ්‍ය ආදායම් ලබන රටවල් මුහුණපාන සුවිශේෂ අභියෝග ජය ගැනීම සඳහා වෙනම ක්‍රියාවලියක් හඳුන්වාදීමේ අවශ්‍යතාවය පිළිබඳවත් ජනාධිපතිවරයා කරුණු පැහැදිලි කළේය.
 
ශ්‍රී ලංකාව මූල්‍ය සහ ආර්ථික ප්‍රතිව්‍යුහගතකරණය පිළිබඳ වැඩපිළිවෙළකට සම්බන්ධ වී සිටින බව පැවසූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රතිව්‍යුහගතකරණය අත්‍යාවශ්‍ය බවත්, එය කඩිනමින් සිදු නොකළ හොත් පහළ ආදායම් ලබන සහ මධ්‍ය අදායම් ලබන රටවලට දේශපාලන සහ ආර්ථික අස්ථාවරත්වයන්ට මුහුණදීමට සිදුවන බවත් අවධාරණය කර සිටියේය.

Comments