රක්ෂණ සභාපති මරා රජ වෙන්න හැදූ මාතර චමින්දගේ පැටිකිරිය | සිළුමිණ

රක්ෂණ සභාපති මරා රජ වෙන්න හැදූ මාතර චමින්දගේ පැටිකිරිය

ශ්‍රී ලංකා රේගුවේ සිටි කීර්තිමත් රේගු නිලධාරියෙක් වූ සුජිත් ප්‍රසන්න පෙරේරා 2010 වසරේ මාර්තු 24 වෙනිදා ඝාතනය වන්නේ රේගු බදු වංචා කරමින් සිදුකරමින් පැවැති දැවැන්ත මූල්‍ය වංචාක් සොයන්නට ගිය වරදටය. එම ඝාතනය පාතාලය යොදා කරනු ලැබුවේ තවත් රේගු නිලධාරියෙකි. ඔහු දැන් සිටින්නේ මරණීය දණ්ඩනයෙන් දඬුවම් ලබා මහ උළු ගෙදර තපිමිනි.

රේගුවේ කුණු ඇවිස්සීමට ගොස් එදා සුජිත් ප්‍රසන්න පෙරේරාට කොකා ගස්සවා ජීවිතය අහිමි කරනු ලබන්නේ ඔහු සමඟ එකට සේවය කළ සහෝදර රේගු නිලධාරියෙකි. සමූපකාර රක්ෂණ සමාගමේ නව සභාපතිවරයා ලෙස වැඩ භාර ගැනීමට සූදානමින් පසුගිය 05 වෙනිදා නිවෙසින් එළියට බසිද්දීම වෙඩි ප්‍රහාරයකට ලක්වන දර්ශන ලලිත් සමරවික්‍රමගේ ජීවිතය ඩැහැ ගැනීමට තැබූ වෙඩිල්ල පිටුපස සිටියේ ද ඔහුගේ සහෝදර අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකි. 

රේගු නිලධාරී සුජිත් ප්‍රසන්න පෙරේරාගේ ජීවිතය ඩැහැ ගැනීමට එදා අපරාධකරුවන්ට හැකියාවක් ලැබුණ ද දර්ශන ලලිත් සමරවික්‍රම ඒ තරමටම අවාසනාවන්ත අයෙක් නොවීය. වෙඩි පිට වෙඩි වරුෂාවක් ඔහු දෙසට එල්ල වූවත් ඔහුගේ ජීවිතය බේරෙන්නේ කෙස් ගසනි. 

දර්ශන ලලිත් සමරවික්‍රම ද වෙඩි කන්නේ සුජිත් ප්‍රසන්න පෙරේරා විසින් රේගුවේ වංචා දූෂණ වැළැක්වීමට එදා සටන් කළාක් මෙන් සමූපකාර රක්ෂණ සමාගමේ සිදු වෙමින් තිබුණු දූෂණ අක්‍රමිකතාවලට එරෙහිව සටන් කරමින් සිටියදීය. එම සටන ඔහු විසින් දියත් කරනු ලබන්නේ උප සභාපතිවරයෙක්ව සිටිමිනි. සමූපකාර රක්ෂණ සමාගම කඩා වැටීමකට ලක් නොවී අදටත් රැකී ඇත්තේ යැයි කියැවෙන්නේ දර්ශන ලලිත් සමරවික්‍රම සමඟ අත්වැල් බැඳගෙන වංචාවට දූෂණයට සහ අක්‍රමිකතාවලට එරෙහි වූ අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකයන් කිහිප දෙනකු නිසාය.

කොටස් වෙළඳපොළේ පවා ලැයිස්තුගත සමාගමක් බවට පත් වෙමින් මෙරට ප්‍රමුඛ පෙළේ රක්ෂණ සමාගම් අතර සමූපාකාර රක්ෂණ සමාගම අද ඉහළින්ම වැජඹෙන්නේ එබැවිනි.

සමූපකාර ණය ලබාදීමේ වැඩපිළිවෙළ යටතේ ග්‍රාමීය ජනතාවට ලබාදෙන ත්‍රිරෝද රථ සහ යතුරුපැදි රක්ෂණය කරමින් 1999 වසරේදී ආරම්භය සනිටුහන් කළ බව සඳහන් වන මෙම සමූපකාර රක්ෂණ සමාගම නාගරික ජනතාවට වඩාත් සීමා වී තිබු, රක්ෂණය ගම් නියම් ගම් වෙත රැගෙන යමින් අලුත් අර්ථකථනයක් ලබා දුන්නකි. ඒ සමූපාකාර ක්ෂේත්‍රයේ ද යම් පෙරළියක් සිදු කරමිනි.

දර්ශන ලලිත් සමරවික්‍රම වෙඩි කන්නේ මෙවන් රක්ෂණ සමාගමක් විනාශ වන්නට නොදී රැක ගැනීමට සටන් කරන්නට ගොසිනි. මෙහි ඇතැම් පරිපාලකයන් පසුගිය කාලයේ සිදු කළ විවිධ අක්‍රමිකතා හේතුවෙන් ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිසම විසින් මෙහි ව්‍යාපාර මෙහෙයුම් පවා තහනම් කරනු ලැබීය. ඒ අධ්‍යක්ෂක මණ්ඩල සංයුතිය සිය නියාමන රෙගුලාසිවලට අනුකූලව පවත්වාගෙන යාමට අපොහොසක් වීම ද පදනම් කර ගනිමිනි. 2023 වසරේ අප්‍රේල් 28 වෙනිදා හෝ ඒ ආසන්න කාලයකදී අත්හිටවූ ව්‍යාපාර කටයුතු නැවත පවත්වාගෙන යාමට අවසරයක් ලැබෙන්නේ මැයි 25 වැනිදා 233 වැනි වරටත් රැස්වූ කමිටුව හමුවේදී ගත් තීරණයක් මතය. ඒත් එක්කම සමූපකාර රක්ෂණ සමාගමේ මුල් පුටුවේ ද යම් වෙනසක් සිදුවන්නේ එතෙක් කලක් උප සභාපති ධූරයේ කටයුතු කළ දර්ශන ලලිත් සමරවික්‍රම නව සභාපති ධූරයට පත් වෙමිනි. එම කටයුත්ත සිදු වූයේ යැයි කියැවෙන්නේ අධ්‍යක්ෂ මණ්ඩලයේ කැමැත්තෙන් හා අධිකරණයේ පැවති නඩු තීන්දුවකට අනුවය. ඊට අනුව දර්ශන ලලිත් සමරවික්‍රම නව සභාපතිවරයා ලෙස නම් කර ඇත්තේ ජුනි 02 දා සිට ක්‍රියාත්මක වන ලෙසිනි.

දර්ශන ලලිත් සමරවික්‍රමට මාරයා අතවනන්නට පටන් ගන්නේ ඒත් සමඟිනි. ඔහු සභාපති ධූරයට පත්වීම කෙරෙහි වෛර බැඳගත් අය අතර සමූපකාර රක්ෂණ මණ්ඩලයේ අධ්‍යක්ෂ ධූරයේ රැඳී සිටි ප්‍රබල චරිතයක් වූ චමින්ද ගුණසේකර සිටියේ ඉදිරියෙනි. ඔහු සිටියේ තනතුර අහිමි වූ සභාපති සුසිල් ශාන්ත වීරසේකරගේ පැත්තේය. සභාපතිගේ දකුණු අත බඳුව සිටි ඔහුට සුසිල්ට තනතුර අහිමි වීම තදින්ම දැනුණේය. ඒ නව සභාපති දර්ශන ලලිත් සමරවික්‍රමව තාමට රිසි සේ අල්ලේ නටවන්නට හැකියාවක් නොලැබෙන බව දැනෙන්නට වූ බැවිනි.

මාතර පැත්තේ බලගතු චරිතයක් වූ ඔහු ඒ වන විට සිටියේ මාතර හොල්ලාගෙන සිටින පොලිස් කතක් සමඟ ඉතා කිට්ටුවෙනි. මාතර පැත්තේ වැසියන් නම් පවසන්නේ ඔහු ඇය සමඟ දීග කමින් සිටි බවය. පොලිසියේ උදවිය අතරත් එය ප්‍රසිද්ධ රහසකි. මාතර පිහිටි සමූපකාර රෝහලේ ද ප්‍රධානියා වූයේ චමින්ද ගුණසේකරය. එබැවින් පොලිසියේ අයට මෙහි තිබී ඇත්තේ විශේෂ සැලකිලිය.

මාතර සමූපාකාර රෝහලේ ප්‍රධානියා හැරුණු කොට චමින්ද ගුණසේකර මාතර විවිධ සේවා සමූපාකාර සමිතිය, සී/ස මාතර දිස්ත්‍රික් බැංකු සංගමය සහ සී/ස සමූපකාර මණ්ඩලය යන ආයතනවල සභාපති ධුරයන් දරන්නේ වෙන කිසිවකුට ඒ සඳහා කිට්ටුවටවත් එන්නට ඉඩ නොතබමිනි. චමින්ද ගුණසේකර ඉව අල්ලමින් සිටියේ යැයි කියනු ලබන්නේ සමූපකාර රක්ෂණ සමාගමේද ලොකු පුටුව අත්පත්කර ගන්නටය. දර්ශන ලලිත් සමරවික්‍රම සභාපති ධූරයට හිටි හැටියේම පත්වන්නේ ඒ අතරතුරදීය.

මාතර පැත්තේ වැසියන් නම් පවසන්නේ ගරා වැටෙමින් විනාශය කරා යමින් තිබුණු මාතර සමූපකාර රෝහල පුද්ගලික අංශයේ රෝහල්වලට නොදැවෙනි තැනට ගෙන ආවේ චමින්ද ගුණසේකර බවය. තොරතුරු සඳහන් කරන ආකාරයට අනුව චමින්ද ගුණසේකර ගුවන් විදුලි සංස්ථාවට අයත් රුහුණු සේවය පවා මිලදී ගන්නට කාලයක් තිස්සේ වලි කා ඇත්තේය. ඒ දකුණේ මාධ්‍යවේදීන් පිරිසකගේ ද සහය ඇතිවය. මාතර පැත්තේ ලොකු බලයක් ඔහු ගොඩනඟාගෙන සිටියේ හැම පැත්තේම දේශපාලනඥන්ට ඉතා කිට්ටුවන්තයෙක්ද වෙමිනි. 

ඒ අතර දේශපාලනයේ ප්‍රබල චරිත බොහෝය. සමූපකාර රක්ෂණ සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයේ බොහෝදෙනෙක් ඔහුට බය පක්ෂපාතී බවක් දක්වා ඇත්තේ එබැවින් බව දර්ශන ලලිත් සමරවික්‍රමට එල්ල වූ වෙඩි ප්‍රහාරයත් සමඟ බස්නාහිර පළාත් දකුණු දිසා අපරාධ කොට්ඨාසය විසින් කළ විමර්ශනවලින් පෙනී ගොස් හමාරය.

දර්ශන ලලිත් සමරවික්‍රම පදිංචිව සිටියේ පාදුක්ක, බටවල, වල්පිට පාරේ, තිසර උයනේ පිහිටි ඔහුට අයත් නිවෙසේය. අධ්‍යක්ෂ මණ්ඩලයේ බහුතරයකගේ කැමැත්තෙන් තමාට හිමි වූ සභාපති ධූරයේ වැඩ භාර ගැනීමේ සූදානමින් දර්ශන ලලිත් සමරවික්‍රම සිය නිවෙසින් එළියට බසින්නේ තනතුර හිමිව තුන් දිනකට පසුවය. ඒ ජුනි 05 වෙනිදාය.

දර්ශන ලලිත් සමරවික්‍රම සරල දිවි පෙවතක් ගත කරන අයෙකි. ඔහුට ආරක්ෂකයන් නැත. අතට පයට වැඩකාරයන් ද නැත. මෝටර් රථය පදවන්න රියදුරෙක් ද නැත. ලොකු සමාගමක ලොකු තනතුරක් භාර ගත් ඔහු නිවෙසේ සිට ග්‍රෑන්ඩ්පාස් හි පිහිටි ප්‍රධාන කාර්යාලය වෙත නව තනතුරේ වැඩ භාර ගන්නට එදා නිවෙසින් පිටත්වන්නේ මෝටර් රථයේ සුක්කානම සියතට ගෙනය. මෝටර් රථය ගෙවත්තෙන් එළියට දමා ගැමුණු මාවතට හැරෙව්වා පමණි. එකවරම අසල පඳුරක් අස්සේ සැඟවී සිටි පුද්ගලයෙක් මෝටර් රථය ඉදිරිපිටින් මතු වන්නේ පිස්තෝලයක් අතැතිවය. වෙඩික්කරු ඉලක්ක කරනුයේ මෝටර් රථයේ රියදුරු අසුනේ සිටි දර්ශන ලලිත් සමරවික්‍රමවය. ඔහු ඉදිරියට එන්නේ මෝටර් රථයේ වින්ඩ්ස්ක්‍රීනය බිඳගෙන යන ලෙස දර්ශන ලලිත් සමරවික්‍රම දෙසට වෙඩිල්ලක් පත්තු කරගෙනමය. එම වෙඩිල්ලෙන් දර්ශන ලලිත් සමරවික්‍රමට හානියක් නොවූ බව දැන ගත් වෙඩික්කරු දෙවැනි හා තෙවැනි වෙඩි පහරවල් කිහිපයම එල්ල කරනුයේ මෝටර් රථයේ රියදුරු අසුන පැත්තෙනි. මෙසේ වෙඩි හතර පහක්ම තැබූ වෙඩික්කරු පලා යන්නේ දර්ශන ලලිත් සමරවික්‍රම පරලොව ගියේ යැයි සිතාගෙනය.

දූෂණයට වංචාවට හඬ නැඟූ සුජිත් ප්‍රසන්න පෙරේරාව එදා එක වෙඩි පහරින් මරා දැමුවා මෙන් පහසුවෙන් දර්ශන ලලිත් සමරවික්‍රමව මරා දැමීමට හැකියාවක් නොවීය. පෙර කළ පිනක මහිමයෙන් වෙඩි වර්ෂාවකට මැදි වූ දර්ශන ලලිත් සමරවික්‍රමගේ දිවි රැකෙන්නේ දකුණු ඇලපතට හා දකුණු අතට පමණක් වෙඩි වැදීමෙනි. වෙඩි කාගෙනම සිය මෝටර් රථයෙන් එළියට එන ඔහු දිව යන්නේ අසල පිහිටි නිවෙසටය. එහිදි ඔහුව අසල්වැසියන් රෝහල කරා රැගෙන යන්නේ ආරක්ෂාව සහිතවය. ඒ නැවත ප්‍රහාරයක් එල්ල වුවහොත් ඊට මුහුණ දීමේ සූදානමක් ද ඇති බවය.

රටේ ප්‍රධාන පෙළේ රක්ෂණ සමාගමක සභාපතිවරයකුට එල්ල වුණු මෙම වෙඩි ප්‍රහාරය සම්බන්ධයෙන් මූලික පරික්ෂණ සියල්ලක්ම එදා සිදුවන්නේ මීගොඩ පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නෙවිල් ප්‍රියන්තගේ මෙහෙයැවීමෙනි. එහෙත් මෙහි ඇති බරපතළ තත්ත්වය කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරමින් පොලිස් බලධාරීන් මීගොඩ පොලිස් ස්ථානය මඟින් කරනු ලබන විමර්ශන සඳහා හයියක් වන්නට යොදවන්නේ බස්නාහිර පළාත් දකුණු දිසා අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමකි. දක්ෂ අපරාධ විමර්ශකයෙක් වූ එම කොට්ඨාසයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ලලිත් අබේසේකරගේ උපදෙස් හා මෙහෙයැවීම මත ක්‍රියාත්මක වන එම පොලිස් කණ්ඩායමට නායකත්වය දෙන්නට වූයේ එහි වැඩ බලන ස්ථානාධිපති පොලිස් පරීක්ෂක හේමන්ත කුමාරය. උප පොලිස් පරික්ෂක රුක්ෂාන් බණ්ඩාර, සැරයන්වරුන් වන ප්‍රසන්න (40248), චමින්ද (72979), අනිල් (69598), බණ්ඩාර (21284), කොස්තාපල්වරුන් වන ලලින්ත (72338), කුමාර (84762) , අමිල (77688) , සමීර (81600) සහ කේසර (104675) යන නිලධාරීන්ගෙන් සැදුම්ලත් එම පොලිස් කණ්ඩායම විමර්ශන පටන් ගන්නේම වෙඩික්කරු පලා ගිය මඟ හඹා යමිනි. ඒ නිවෙස් සහ වෙ‍ෙළඳ සැල්වල සවිකර ඇති ආරක්ෂක කැමරා දර්ශන පරීක්ෂා කරමිනි. එහිදී මෙම නිලධාරීන් කණ්ඩායමට පෙනී යන්නේ දර්ශන ලලිත් සමරවික්‍රමට වෙඩි තැබූ වෙඩික්කරු කිලෝමීටරයක් පමණ දුරක් ගැමුණු මාවත ඔස්සේ දිව ගොස් යතුරුපැදියකට ගොඩ වී හයිලෙවල් මාර්ගය වෙත පැමිණෙන බවය. හයිලෙවල් මාර්ගයේදී වෙඩික්කරු ගොඩවන්නේ ත්‍රිරෝද රථයකටය. එම රථය ගමන් කරන්නට වූයේ හංවැල්ල දෙසටය. යතුරුපැදියද ත්‍රිරෝද රථය පසුපසින් ධාවනය වෙමින් තිබුණේය. ත්‍රිරෝද රථය ගලගෙදර හන්දියෙන් හැරී ගමන් කරන්නට වූයේ පාදුක්ක දෙසටය. මෙහිදී ඉතා සියුම් විමර්ශනයක ප්‍රතිඵලයක් ලෙස ත්‍රිරෝද රථයේ අංකය ද මෙම නිලධාරීන් විසින් අනාවරණය කර ගත්තේය.

GS 9560 දරන අංකය ඔස්සේ එම ත්‍රිරෝද රථයේ හිමිකරු සොයා යමින් සිටියදී හරියටම මෙම ත්‍රිරෝද රථය ඇති තැන ගැන තොරතුර ලැබෙන්නේ කොස්තාපල් කුමාරටය. නෑබොඩ, වරකාගොඩ , පහළ කරන්නාගොඩ නිවෙසක් ඉදිරිපිට නතර කර තිබුණු මෙම ත්‍රිරෝද රථය බස්නාහිර පළාත් දකුණු දිසා අපරාධ කොට්ඨාසයේ විමර්ශන නිලධාරීන් විසින් සිය භාරයට ගන්නේ එහි හිමිකරු වූ නිවෙස් හිමියාව ද සමඟිනි. ඒ පසුගිය 11 වෙනිදාය. ඒ වන විටත් දර්ශන ලලිත් සමරවික්‍රම පොලිසියට කියා තිබුණේ තමාව ඝාතනය කිරීමේ අරමුණින් මෙම වෙඩි ප්‍රහාරය මෙහෙයවා ඇත්තේ හිටපු සභාපතිවරයා සහ ඔහුගේ මිතුරෙක් වන මාතර චමින්ද බවය. මාතර චමින්ද යැයි කීවේ සමූපාකාර රක්ෂණ සමාගමේ අධ්‍යක්ෂවරයෙක් වූ චමින්ද ගුණසේකරටය. සභාපති ධූරයට පත්වීම සම්බන්ධයෙන් ඔවුන් දෙදෙනා තමා සමඟ අමනාපයෙන් පසුවන බැවින් මෙම අපරාධය ඔවුන් විසින් කරන්නට ඇතැයි තමා විශ්වාස කරන බව ද දර්ශන ලලිත් සමරවික්‍රම කියා තිබුණේය. එම විශ්වාසය සියයට සියයක් නිවැරදි නොවූවත් මාතර චමින්ද යැයි කී චමින්ද ගුණසේකර මෙම ඝාතන තැතේ සිටින බව වෙඩික්කරු පලා ගිය ත්‍රිරෝද රථය සොයාගැනීමත් සමඟ සාක්ෂි සහිතව එළියට ආවේය. සොයාගත් ත්‍රිරෝද රථයේ හිමිකරු වූයේ ලහිරු මනරම් නොහොත් බබාය. ත්‍රිරෝද රථය සමඟ පොලිස් භාරයට ගත්තේ ඔහුවය. සංචාරක බස් රථයක හිමිකරුවෙක් වූ බබා හැමදෙයක්ම වමාරන්නට ගත්තේ බස්නාහිර පළාත් දකුණු දිසා අපරාධ කොට්ඨාසයේ නිලධාරින්ගේ උපක්‍රමශීලී ප්‍රශ්න කිරීම් හමුවේය.

එහිදී ඔහු මුලින් බබා පාට් දැමුවත් අවසානයේදී හැමදෙයක්ම එළියට දැම්මේය. ඊට අනුව දර්ශන ලලිත් සමරවික්‍රම ඝාතනය කරන්නට කොන්ත්‍රාත්තුව ලැබී ඇත්තේ ඔහුටය. ඒ මාතර චමින්ද නොහොත් චමින්ද ගුණසේකරගෙනි.

බබා සහ මාතර චමින්ද අතර ඇත්තේ දීර්ඝ කාලීන මිතුදමකි. එය වසර පහළොවකට විස්සකට එහා ගිය එකකි. එකල බබා සේවය කර ඇත්තේ රටම හොල්ලාගෙන සිටි පුද්ගලික ආරක්ෂක සමාගමක ආරක්ෂක නිලධාරියෙක් ලෙසිනි. මැති ඇමතිවරුන්ට ප්‍රභූ ආරක්ෂාවක් පවා එකල මෙම ආරක්ෂක අංශයෙන් ලබා දුන්නේය. බබා සේවය කළේ එම ආරක්ෂක අංශයේ ප්‍රභූ ආරක්ෂක අංශයේ නිලධාරියෙක් ලෙසිනි. එකල මාතර චමින්ද සිටියේ දකුණේ ප්‍රභූවරුන්ගේ පස්සේ වැටීය. චමින්ද සහ බබා අතර හිතවත්කම ගොඩනැඟෙන්නේ එලෙසිනි. එකල චමින්ද සිටියේ අතේ සතේ නොමැතිවය.

මැති ඇමතිවරු පස්සේ වැටී සිටි චමින්ද ඒ ඔස්සේ කොන්ත්‍රාත් වැඩ කිහිපයක් අතට ගත්තේය. චමින්ද ටිකෙන් ටික ඔළුව ඉස්සුවේ ඔහුගේ පාර්ශ්වයෙන් කියැවෙන ආකාරයට ඒ ඔස්සේය. ඒ අතර දේශපාලන හයිය මෙන්ම මාතර හොල්ලාගෙන සිටි තුඩාවේ රුවන් නැමැති පාතාලයේ ප්‍රබලයාගේ ආශීර්වාදය ඇතිව ඉඩකඩම් මෙන්ම නිවාස ද බලහත්කාරයෙන් අල්ලා ගත් බව බස්නාහිර පළාත් දකුණු දිසා අපරාධ කොට්ඨාසයේ නිලධාරීන්ට මාතර පැත්තේ උදවිය කියන්නට ගත්තේය. මාතර චමින්ද කෝටි ප්‍රකෝටිපතියෙන් වන රහස බස්නාහිර පළාත් දකුණු දිසා අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් පවා දැන ගත්තේ ඒත් එක්කමය. ඒ වන විට ඔහු සමූපකාර රක්ෂණ සමාගමේ පමණක් කොටස්වලින් සියයට 23ක අයිතියක් ද හිමි කරගෙන ඇති බව ද එම නිලධාරීන්ට පෙනී ගියේය. මිල අධික සුඛෝපභෝගී වාහන ඔහුට ඇතැයි කියැවෙන්නට වූයේ වාහන අලෙවි අංගනයකත් නැති තරමටය. ගුවන් විදුලි සංස්ථාවේ රුහුණු සේවය පවා මිලදී ගැනීමට ඔහු උත්සහයක නිරත වන්නට ඇත්තේ විසි කරන්නට තරම් විශාල ධනස්කන්ධයක් ඔහු සතුව ඇති නිසා විය හැකිය. මේ සා විශාල ධනස්කන්ධයකට ඔහු උරුම කියන්නට ගන්නේ ඉතා කෙටි කලක් තුළදීය. ඒ නිසාම මෙම වත්කම් ඔහු විසින් උපයා ගෙන ඇත්තේ නීත්‍යානුකූලව දැයි සැකයක් බස්නාහිර පළාත් දකුණු දිසා අපරාධ කොට්ඨාසයේ නිලධාරීන්ගේ සිතට නැඟුණේය. ඒ ගැන මුදල් විශුද්ධිකරණයෙන් විමර්ශනයක් පවත්වන්නැයි බස්නාහිර පළාත් දකුණු දිසා අපරාධ කොට්ඨාසයයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ලලිත් අබේසේකර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයෙන් ඉල්ලීමක් පවා කරනුයේ එබැවිනි. ඒ අනුව දැන් ඒ පැත්තෙන්ද විමර්ශනයක් පැවැත්වෙමින් ඇත්තේ දර්ශන ලලිත් සමරවික්‍රම ඝාතන තැත සම්බන්ධයෙන් කෙරෙන විමර්ශනයන්ට අමතරවය. මෙම ඝාතන කොන්ත්‍රාත්තුව පවා මාතර චමින්ද විසින් බබාට පවරන්නේ බස් රථයේ ලීසිං වාරික කිහිපයක් ගොඩගැසී ඇති බැවින් එය ගෙවා දැමීමට රුපියල් ලක්ෂ 05ක අත මාරුවක් ඉල්ලා කළ දුරකතන ඇමතුමකදීය.

“පහක් නෙමෙයි. ඊට වඩා දෙන්නම්. හැබැයි දෙන්නේ ගන්න නෙමෙයි. ඒකට හිලව් වෙන්න මට පොඩි වැඩක් කරල දෙන්න ඕනේ.“ යැයි මාතර චමින්ද බබාට කියා තිබුණේය. ඒ දර්ශන ලලිත් සමරවික්‍රමට වෙඩි පත්තු වෙන්න මාසයකට පෙරය.

ඒ අනුව බබා මාතරට ගොස් චමින්දව මුණගැසී කරන්නට ඇති වැඩේ ගැන කතාබහක නිරතවන්නේ දර්ශන ලලිත් සමරවික්‍රම ඝාතන කොන්ත්‍රාත්තුව ද භාර ගනිමිනි. ඒ චමින්ද තමා වචන දෙකේ මිනිහෙක් නොවන බව දැන සිටි බැවින් ඔහුගේ පිහිටෙන් ගොඩ යන්නට බලාගෙනය.

මේ සඳහා වෙඩික්කරුවෙක් සූදානම් කර ගන්නේ ද බබාය. කුලියාපිටිය කිරින්දව පැත්තේ පදිංචිකරුවෙක් වූ ඔහු ප්‍රසන්න කුමාර නොහොත් පැටීය. ඔහු කාලයක් යුද හමුදාවේ සේවයේ නිරතව සිටියෙකි. පැටී නියෝජනය කළේ ගජබා රෙජිමේන්තුවයි. ඔහු හමුදාවෙන් නීත්‍යනුකූලව ඉවත් වූවෙකි. අනතුරුව ඔහු බබා සේවය කළ පුද්ගලික ආරක්ෂක අංශයේ කලක් සේවය කළේය. බබා ඔහුව දැන හඳුනා ගත්තේ එහිදීය. චමින්දගෙන් ලද කොන්ත්‍රාත්තුව ගැන බබා ඔහුට කියන්නේ දුරකතනයෙනි. පැටී ඊට කැමැත්ත දක්වන්නේ එක පයින්මය. ඒ ඔහු ඒ වන විටත් නිසි ආදායම් මාර්ගයක් නොමැතිව වේ‍ෙළමින් සිටි බැවිනි.

මේ වැඩේට බබා තුන්වැන්නෙක් ද සම්බන්ධ කර ගත්තේය. ඔහු දුමින්දය. හොරණ බැල්ලපිටියේ පදිංචිව සිටි ඔහු බස් රථ කොන්දොස්තරවරයෙකි. අයිස් මත්ද්‍රව්‍ය භාවිතයට හොඳටෝම ඇබ්බැහි වී සිටි දුමින්ද ඒ වන විට සිටියේ සල්ලිවලට ඕනෑම දෙයක් කිරීමේ සූදානමක් ඇතිවය. බබා ඔහුව මේ වැඩේට සම්බන්ධ කර ගන්නේ ඒ බව දැනගෙනය.

දර්ශන ලලිත් සමරවික්‍රම ඉන්නා හිටින තැන් වගේම ඔහු පරිහරණය කරන මෝටර් රථයේ විස්තර පවා බබාට ලැබෙන්නට වූයේ මාතර චමින්දගෙනි. ඔහු ඒ හැමදෙයක්ම ලබාදුන් පසු බබා ඔහුට අයත් ත්‍රිරෝද රථයේ දවසක් දෙකක් දර්ශන ලලිත් සමරවික්‍රම පදිංචිව සිටි පැත්තේ කරක් ගසමින් හැම තොරතුරක්ම රැස් කරන්නට වූයේ පැටී සහ දුමින්දව ද රැගෙන යමිනි.

දර්ශන ලලිත් සමරවික්‍රම කාර්යාලයට යන්නට නිවෙසින් එළියට බසින්නේ උදේ පාන්දරින්ම බව මේ අය දැන ගන්නේ එම සෝදිසියේදීය. එහිදී ඔවුන් දර්ශන ලලිත් සමරවික්‍රමට වෙඩි තබන තැන පවා සලකුණු කළේය. ආරක්ෂක කැමරා මඟහැර පොලිසියට හසු නොවන්නට පලායන ආකාරය ගැන පවා ඔවුන් එහිදී සැලසුම් සකස් කළේය.

අවසානයේදී මේ වැඩේට පැටීට උවමනා වූයේ පිස්තෝලයක් පමණි. එම පිස්තෝලය පතොරම් හයක් ද පුරවා බබා අතට චමින්ද ලබා දෙන්නේ වැලිපැන්නේදීය. ඒ මාතර සිට අධිවේගී මාර්ගය ඔස්සේ පැමිණය.

මාතර චමින්දගෙන් බබාට උපදෙස් ලැබෙන්නේ දර්ශන ලලිත් සමරවික්‍රම සමූපකාර රක්ෂණ සමාගමේ සභාපති පුටුවේ අසුන් ගැනීමට පෙර වෙඩි තබා මරා දමන ලෙසය. ඒ දිනය උදා වෙන්නේ ජුනි 05 වෙනිදාය. එදා වැඩේ අවසන් කරන්නැයි බබාට උපදෙස් ලැබෙන්නේ මාතර චමින්දගෙනි. ඒ දින දෙක තුනකට පෙරය. ඒ වන විටත් පැටී සිටියේ බබා සමඟිනි. එදා ඔවුන් වැඩේට බහින්නේ පාන්දර ජාමේය. උදේ පාන්දර 5.00 හේ කණිසම වදින කොටම පැටියා වැඩේට සූදානමෙන් වල්පිට ගැමුණු මාවතට එන්නේ බබා සමඟ ත්‍රිරෝද රථයේ නැඟීය. ඒ පස්සෙන් එන්නේ දුමින්දය. ඒ BGQ 2504 අංක තහඩුව ඇති යතුරු පැදියේ නැඟීය. පැටී ගැමුණු මාවතෙන් බැස දර්ශන ලලිත් සමරවික්‍රම පදිංචි නිවෙස කිට්ටුවට යන්නේ පාගමනින්ය. ඒ ගිනි අවිය සූදානම් කරගෙන ඉනේ ගසාගෙනය. යුද්ධය දරුණුවටම පැවති සමයේදී යුද බිමේ අත්දැකීම් ඇති සෙබ­‍ෙළක් වූ පැටී ඒ ගිය මොහොතේ සිට දර්ශන ලලිත් සමරවික්‍රම මෝටර් රථයේ නැඟී නිවෙසින් එළියට එනතුරු ගැමුණු මාවතට හැරෙන හන්දිය ආසන්යේ ඇති කැළෑවට ගොස් ඇති ස්ථානයේ සැඟවී සිටියේය. ගරිල්ලා මෙහෙයුමක නිරත සෙබලෙක් මෙන් කිසිදු හැල හොල්මනක් නොමැතිව පැයක් දෙකක් පමණ සැඟවී සිටි පැටී එළියට එන්නේ දර්ශන ලලිත් සමරවික්‍රම සිය මෝටර් රථය පදවාගෙන ඉදිරියට එමින් සිටියදීය. මෝටර් රථයේ සිටි දර්ශන ලලිත් සමරවික්‍රමට වෙඩි පිට වෙඩි තැබූ පැටී දිවගොස් ගැමුණු මාවත කෙළවරෙදී ගොඩවන්නේ දුමින්ද රැඳී සිටි යතුරු පැදියටය. එම යතුරුපැදිය පවා ඔවුන් රැගෙනවිත් තිබුණේ අසල්වැසි නිවෙසක තරුණියකගෙන් ඉල්ලාගෙනය. ඇය යතුරුපැදිය දී තිබුණේ මේ කිසිවක් නොදැනය. යතුරු පැදියෙන් යන පැටී අතරමඟදී ගොඩවන්නේ බබී පදවමින් සිටි ත්‍රිරෝද රථයටය. ඔවුන් සිතන්නේ වැඩේ සැලසුම් කළ ආකාරයටම සිදුව ඇති බවය. එහෙත් තමන්ට වැඩ වැරදී ඇති බව ඔවුන් දැන ගන්නේ ප්‍රවෘත්තිවලිනි. එහෙත් ඔවුන් තමන්ව පොලිසියට හසුවෙතැයි හීනෙකින්වත් සිතුවේ නැත. ඒ හැමදෙයක්ම හොඳ සැලසුමක් ඇතිව කළ බැවිනි.

වෙඩි තැබූ ගිනි අවිය පවා බබා ඔහු පදිංචි නිවෙස අසල අතහැරදමා තිබුණු නිවෙසක සඟවා තැබුවේය. ඒ චමින්ද කොයි මොහොතක හෝ එය ඉල්ලා සිටින බව දැනගෙනය. එහෙත් ඔහු ගිනි අවිය ඉල්ලා කරදර කරන්නට ගියේ නැත. වැඩේ හරියට නොකළත් රුපියල් ලක්ෂ එකහාමාරක මුදලක් බබා අත තැබීමට තරම් චමින්ද කාරුණික වී තිබුණේය. “හරියට වැඩේ කළේ නැහැනේ. වැඩේ කළා නම් උඹට මාත් එක්ක රජෙක් වගේ ඉන්න තිබ්බා“ යනුවෙන් කියමිනි. ඒ ජුනි 07 වෙනිදා වැලිපැන්නේදී ගිනි අවිය ලබාදුන් ස්ථානයටම පැමිණය. එම මුදල බබා බෙදන්නේ තිදෙනා අතර සම සමවය. බබා තමන්ට ලද කොටසින් 35,000ක් බැංකු ගත කළේය. සෙසු මුදලෙන් අඩියක් ගැසුවේය.

මේ සියල්ලක්ම බබාගේ කටින් එළියට ගත් බස්නාහිර පළාත් දකුණු දිසා අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් ඊළඟට අත්අඩංගුට ගත්තේ පැටීවය. අනතුරුව දුමින්දව කොටු කර ගත්තේය. ඒ වන විට මාතර චමින්ද සිටින්නේ රටේ ඉහළම නීතීඥවරුන්ගේ සහය ලබා ගනිමින් තමන්ට එල්ල වන චෝදනාවලින් ගැලවෙන්නට මඟක් සොයමිනි. එහෙත් ඔහුට එය හිතූ තරම් ලෙහෙසි පහසු කටයුත්තක් නොවීය. මීගොඩ පොලිසියෙන් කළ දැනුම් දීමකට අනුව ඔහු සතුව ඇති ලයිෂන් තුවක්කුව භාරදීමට නීතීඥයන් පිරිවරා ගෙන පැමිණ පොලිස් ස්ථානයෙන් පිටතට අඩිය තබනවාත් සමඟ චමින්දගේ දෑතටත් මාංචු වැටුණේය. ඒ සමූපාකාර රක්ෂණ සමාගමේ නව සභාපතිවරයා ඝාතනය තැනේ සැඟවුණු හැමදෙයක්ම එළියට ගනිමිනි.

Comments