
- රංගන ශිල්පිනියක් වුණාට මට මවක් කියන වගකීමෙන් මිදෙන්න බැහැ
- ජනාදරයට පත්වුණු රංගනවේදිනියක කියන තැනට එන්න මවුපියන්ගෙ මඟ පෙන්වීම ඉවහල් වුණා
- නර්තනය ලබා දුන් ආරම්භයටත් රංගනය ලබා දුන් ජවයටත් එක සමානවම ආදරය කරනවා
විටෙක කෙළිලොල්, දඟකාර චරිත හා එකතු වෙමින් ද තවත් විටෙක රළු, පැසුණු චරිත හා ගැටෙමින්ද, කරට කර ඒ හා පෑහෙමින් ද විවිධ නිර්මාණයන් අතර අපූර්වත්වයට පත් වූ ඇය රංගන ශිල්පිනී උදයානි නිරෝෂා තලගල ය. සිය රංගන ජීවිතය සම්බන්ධව ඈ සමඟ කළ කතාබහකි මේ.
නිරෝෂා නර්තනයට ද වැඩියෙන්ම ආදරේ රංගනයට ද?
නර්තනය තමා මාව මුලින්ම වේදිකාවක් මතට රැගෙන එන්නෙ. ප්‍රේක්ෂකයින් මාව මුලින්ම දකින්නෙ, හඳුනාගන්නෙ ඒ හරහා. පසුව වෘත්තීය රංගන ශිල්පිනියක් දක්වා දිගු ගමනකට මට එන්න ලැබෙනවා. රංගනයට අවතීර්ණ වුණාට පස්සෙ රසික ආදරය වැඩි වැඩියෙන් දිනාගන්න පුළුවන් වුණා. ඒ නිසා නර්තනය ලබා දුන් ආරම්භයටත් රංගනය ලබා දුන් ජවයටත් එක සමානවම ආදරය කරන්න මට පුළුවන්. නර්තනයට වැඩි හෝ රංගනයට අඩු හෝ කියා වෙනසක් කරන්නට මම කැමති නෑ. මේ දේවල් මගෙ කුසලතාවයන් බව අවබෝධ කරගෙන මම ඉන්නෙ.
ඔබේ ගම් පළාත වගේම පවුලේ තොරතුරු මොනවද?
මම පදිංචිව සිටින්නේ කඩුවෙල. මම විවාහකයි. පුංචි දියණියක සිටිනවා. ඇගේ වයස අවුරුදු හතයි. ඇගේ නම ඖරංගනා. අම්මයි, තාත්තයි වගේම මට අක්කා සහ නංගී කෙනෙකු ඉන්නවා. කිසිම දේකින් වෙනස් නොවන සොයුරු පෙමක් අප අතර තියනවා. ජීවිතේ ඕනෑම ප්‍රශ්නයකදී මට මගෙ සහෝදරියන් දෙදෙනා සහ අම්මා තාත්තා යෝධ ශක්තියක් ලබා දෙමින් මා පසුපසින් සිටිනවා. පුංචි කාලෙ ඉඳලම මගේ නර්තන දක්ෂතා මතු කරගන්න අවශ්‍ය හොඳ පරිසරයක් එයාලා මට ලබා දුන්නා කියලා මම හිතනවා. ජනාදරයට පත්වුණු රංගනවේදිනියක කියන තැනට එන්න දෙමාපියන්ගෙ මඟ පෙන්වීම සහයෝගය බොහෝ හේතු වූ බව කියන්න කැමතියි.
කාලයක් නර්තන ශිල්පිනියක ලෙස ජනාදරයට පත් ඔබ මේ වන විට රංගන ශිල්පිනියක් බවට පත්වෙලා. නර්තන ශිල්පිනියක වීම වාසියක් වුණාද රංගනයට?
ඇත්තෙන්ම මම නර්තනයට පිවිසෙන්නෙ වයස අවුරුදු 05දී. ප්‍රදීපා ආරියවංශ ගුරුතුමිය තමා මගේ නර්තන ගුරුවරිය. නර්තනය පිළිබඳ ඉන්දියානු විභාගවලින් සමත් වුණා. මම කැලණිය විශ්වවිද්‍යාලයෙ නර්තනය පිළිබඳ උපාධි පාඨමාලාවක් හැදෑරුවා.
විශේෂයෙන්ම මම රංගනයට එද්දි මට හොඳට කැමරාව හුරු පුරුදුයි. හේතුව නර්තනයේදී සහ වෙළෙඳ දැන්වීම් කටයුතු කිරීම හරහා කැමරාවක් ඉදිරියේ කටයුතු කර තිබූ පළපුරුද්ද මට රංගනයේදී විශාල පහසුවක් වුණා. පබා තුළින් පැමිණි ටෙලිනාට්‍ය රංගනය මේ වෙද්දි නාට්‍යය පනහකට අධික සංඛ්‍යාවක රඟපෑම් සඳහා මා යොමු කළා.
මාලබේ රාහුල බාලිකාවෙදි නර්තනය විෂයක් විදියට හැදෑරුවා. මම විශ්වාස කරනවා ඒ නර්තන හැකියාව සමඟ බැඳීම රංගනයට එක්තරා වාසියක් එකතු කළ බවට.
ටෙලි නාට්‍යයක චරිත මැවීම ලේසි නැහැ. ජීවන චරිතයටත් වඩා අමාරුයි. විවිධ චරිත හා ගැටීම. මේ චරිත ප්‍රේක්ෂකයින් වෙත රැගෙන ඒමේදි ඔබට අභියෝග තිබුණද?
එක කාරණාවක් තමා මට කැමරාවේ හුරුපුරුදු බව හා ඕනෑම තරාතිරමක පිරිස සමඟ වැඩ කිරීමෙන් ලද පන්නරය. මේ කරුණු නිසා ක්ෂේත්‍රයෙදි විවිධ පුද්ගල ගනුදෙනුව මට පහසුවක් වුණා. මගේම කියලා ගොඩනඟාගත් ප්‍රතිරූපයක් මට තිබූ නිසා කොන්ද කෙළින් තියාගෙන වැඩ කළ හැකි හැකියාවක් තිබුණා.
සමහර ප්‍රවීණ කියන ජ්‍යෙෂ්ඨ ශිල්පීන්, ශිල්පිනියන්ගෙන් පවා හිත් රිදවීම් වෙලා තියනවා. නමුත් ඒ අය අතර සමකාලීන ශිල්පීන් හා ශිල්පිනියන්ටත් වඩා ප්‍රවීණ ශිල්පීන්, ශිල්පිනියන් සහයෝගය ලබා දුන් අවස්ථාත් තියනවා. මගෙ මිත්‍රත්ව ලයිස්තුවේ වැඩි පිරිසක් මට වඩා වයසින් මුහුකුරා ගිය අය. එයාලගෙන් මට ලබාගත යුතු හොඳ දේවල් ගත්තොත් එය මිල කළ නොහැකියි. ඒ නිසා අභියෝග සවියක් කරගෙන මම මගේ ගමන යනවා.
කොහොමද වෘත්තීය කටයුතු සමඟ නිවසේ කටයුතු කළමනාකරණය කර ගන්නෙ?
මම දැන් මවක්. මගෙ දියණිය ගැන විශාල වගකීමක් මට තියෙනවා. සාමාන්‍ය අම්මා කෙනෙකුට තියෙන දරු සෙනෙහස රැකවරණය මම මගේ දුවට ලබා දෙන්න වෙහෙස වෙන කෙනෙක්. නිළියක කියල වෙනස් ජීවිතයක් ගෙවන්නෙ නැහැ. දරුවා හම්බවෙන්න කලින් නම් රංගන කටයුතුවලට යනවා. එනවා. එය සාමාන්‍ය තත්වයක්. ඒත් දැන් ඊට වඩා වෙනස්. විශාල වැඩ රාශියක් ඉටු කරන්න වෙලා. මගේ අම්මා හරිම ආදරයෙන් මගෙ දුවගෙ කටයුතු කරනවා. රංගනය අපේ වෘත්තිය, රැකියාව. අප ඒවා ඉටු කළ යුතුයි. සමහර වෙලාවට මට දුක හිතෙනවා දරුවාගෙ වැඩ මඟහැරෙයි කියලා. ඒක හරිම ආදරණීය බැඳීමක්. රංගන ශිල්පිනියක් වුණාට මට මවක් කියන වගකීමෙන් මිදෙන්න බැහැනෙ.
රංගන ශිල්පිනියක් ලෙස මම විවිධ චරිත නිරූපණය කරල තියනවා. වසර 15ක් පමණ වෙනවා ක්ෂේත්‍රයට ඇවිත්. ප්‍රේක්ෂකයින්ගේ හිතේ රැඳි චරිත කීපයක්ම කරන්නත් මට අවස්ථාව ලැබුණා. මේ වන විට හොඳම නිළිය වශයෙන් තුන් වතාවක් නිර්දේශයට පත්ව තියනවා.
2015 වසරේ හොඳම නිළිය නිර්දේශය, 2017 හොඳම සහාය නිළිය නිර්දේශය, සුමති සම්මාන උලෙළ හා 2023 හොඳම නිළිය සඳහා නිර්දේශයට පත් වෙනවා රයිගම් සම්මාන උලෙළෙදි. මම හිතනවා මම සාර්ථකයි කියලා.
ජීවිත ගමන සඳහා ගැහැනියක කොහොම මුහුණ දිය යුතු යැයි ඔබ සිතනවාද?
අපි හැමෝටම එක්තරා කාලයක් තියනවා ජීවිතය පහසුවෙන් අවබෝධ කරගත හැකි. සමහර දේවල් අපට තේරුම් යන්නෙ කාලයත් එක්ක. අපේ පරිණතභාවයත් එක්ක. අපි අපේ විශ්වාසයන් සමග ගනුදෙනුවක නිරත වෙනවා.
මොන දේ වුණත් ගැහැනියක තමන්ගෙ අධ්‍යාපනය හෝ රැකියාව මේ හැම දෙයකින්ම හොඳට ශක්තිමත් වෙන්න ඕනෙ. අපේ ළඟම ඉන්න අය දවසක නැති වෙන්න පුළුවන්. අපව දාලා යන්න පුළුවන්. ඒත් ගැහැනියක ශක්තිමත් වුණොත්, ඇයට ජීවත් වෙන්න ස්ථිර ආදායම් මඟක් තිබුණොත් ඒ හයිය තමා ඉතුරු වෙන්නෙ. ඒ නිසා මම කියන්නෙ ගැහැනියක සැම විටම තමන්ගෙ හැකියාවන් හා ශිල්පයන්ගෙන් සන්නද්ධව ජීවිතයට මුහුණ දිය යුතුයි.