සහෝදර සහෝදරියන් ගැන කියන සහෝදර රේඛා | සිළුමිණ

සහෝදර සහෝදරියන් ගැන කියන සහෝදර රේඛා

අත බැලූ පමණින්  සහෝදර සහෝදරියන් ගැන කිව හැකියි

අල්ලේ විශාල ප්‍රදේශයක්  පුරා පැතිර තිබෙන මහා ත්‍රිකෝණය ගැනත් දැනගනිමු

අල්ලේ පිහිටන විවිධ රේඛා සලකුණු හා ඒවා ඔබේ ජීවිතයට බලපාන අයුරු පිළිබඳව පසුගිය ලිපියෙන් විස්තර කළා ඔබට මතක ඇතැයි සිතමි. මෙවර ලිපියෙන් තවත් එවැනි විශේෂ රේඛා සලකුණු කීපයක් පිළිබඳව විස්තර කෙරේ. එම සලකුණු ඔබේ ජීවිතයට කුමන ආකාරයකින් බලපානවාද කියා දැන් සලකා බලමු.

කෙනෙකුගේ පවුල් ජීවිතය ගැන විමසීමක් කිරීමේදී සහෝදර සහෝදරියන් ගැනත් විමසන්නට අපි අමතක කරන්නෙ නැහැ. සහෝදර, සහෝදරියන් කී දෙනෙක් ඉන්නවාද? ඔවුන් කුමන තත්ත්වයේ අයද? ඔවුන්ගෙන් ඒ අයට උදවු ලැබෙනවා ද? මේ ආදි වශයෙන් තම තමන්ගේ සහෝදර සහෝදරියන් ගැන තොරතුරු දැනගන්න තිබෙන්නේ ලොකු ආශාවකි.

එහෙනම් කෙනෙකුගේ අත බලා සහෝදර, සහෝදරියන් ගණන දැනගන්න පුළුවන්නම් මොනතරම් වටිනවද කියල ඔබටත් හිතෙනවා ඇති. ඒ පිළිබඳවත් ඔබට දැනුමක් ලබා දෙන්නයි අද අපේ උත්සාහය. එහෙනම් දැන් බලන්න මේ සමඟ පළවන අත් සටහන.

සිකුරු මණ්ඩලයෙන් පහළ මහපටැඟිල්ලත්, මැණික් කටුව ප්‍රදේශයත් අතරයි සහෝදර රේඛා පිහිටා තිබෙන්නේ. මේ සමඟ පළ වන රූප සටහනින් එම රේඛාවල සාමාන්‍ය පිහිටීම බලාගත හැකි වේවි. එහි දිස්වෙන දීර්ඝ සෘජු රේඛාවලින් සහෝදරයන්ගේ ගණනත් සිහින් හෝ ඇදවූ රේඛාවලින් සහෝදරියන්ගේ ගණනත් දැනගත හැකි වෙයි. අත් රාශියක් බලා අත්දැකීම් ලැබූ විට ඔබටත් කෙනෙකුගේ සහෝදර සහෝදරියන්ගේ ගණන හරියටම කියන්න හැකි වේවි.

හස්ත රේඛා ශාස්ත්‍රය අනුව සහෝදර සහෝදරියන්ගේ නිවැරැදි තොරතුරු කියන ආකාරය ගැන මේ වන තුරු විධිමත් පර්යේෂණ කර නැති නිසා අපි වඩාත්ම විමසිලිමත් විය යුතුයි. මුලින් සඳහන් කළ ආකාරයට සහෝදරයන් වෙනුවෙන් වැටි ඇති රේඛාවලින් වඩාත්ම පළල්ව පිහිටා ඇති ගැඹුරු රේඛාවලින් උසස්ම දියුණුවක් ලබන සොහොයුරන් ගැන ප්‍රකාශ වෙයි. සොහොයුරියන් ගැන කියැවෙන රේඛාවලින් වඩාත්ම කැපී පෙනෙන රේඛා වැටෙනු ඇත්තේ උසස්ම දියුණුවක් ලබන සොහොයුරියන් වෙනුවෙනුයි. ඒ වගේම ත්‍රිශූල ලක්ෂණයකින් අවසන් වු සහෝදර රේඛාවලින්ද උසස් දියුණුවක් ලබන සහෝදර, සහෝදරියන් හඳුනා ගත හැකි වෙයි. සහෝදර රේඛා අතරින් උසින් හා මහතින් වැඩි රේඛා වැටෙනු ඇත්තේ තමන්ට උදවු උපකාර ලබාගත හැකි සහෝදර සහෝදරියන් වෙනුවෙනුයි.

කිසිම උදවුවක් ලබාගත නොහැකි සහෝදර, සහෝදරියන් වෙනුවෙන් දුර්වර්ණ වූ කෙටි රේඛා වැටෙන බව මතක තබා ගත යුතුය. එක කුස උපන් තමන්ගේම සහෝදර, සහෝදරියන් මරා ගන්නා අයත් අප අතර ඉන්නා බව රහසක් නොවේ. තැනින් තැන කැඩුණු කළු පාට සහෝදර රේඛාවලින් ඒ වගේ දේවදත්ත වැනි සහෝදරයින් පෙන්නුම් කරයි.

කෙටි රේඛාවලින් කැපී ගිය හෝ දෙකඩ වී ගිය සහෝදර රේඛාවලින් මළගිය සහෝදරයන් ගැන කියැවේ. සහෝදරියන් ගැනත් ඒ ලෙසමයි. සමහර විට ඉදිරියේදී අකල් මරණයකට ගොදුරු වෙයි.

එකට ඒකාබද්ධ වූ හෝ තරු ලක්ෂණයකින් ආරම්භ වූ සහෝදර රේඛාවලින් බොහෝ විට පෙන්නුම් කරන්නේ නිවුන් සහෝදර සහෝදරියන් ගැනයි.

මහා ත්‍රිකෝණය

මහා ත්‍රිකෝණය නිර්මාණය වන්නේ එක පැත්තකින් ජීවන රේඛාවත්, අනෙක් පැත්තෙන් ශීර්ෂ රේඛාවත්, තවත් පැත්තකින් සුඛ රේඛාවෙනුත් මායිම්ව ඒකාබද්ධ වීමෙනුයි. අල්ල මැද්දේ පිහිටන මේ මහා ත්‍රිකෝණය කලින් ලිපියකින් විස්තර කර දී ඇති කුජ කලාවට බොහෝ විට සමාන ලෙස පෙනුණත් ඔය වගේ විශාල වෙනසක් නොතිබෙන බව අමතක නොකළ යුතුය. සමහර අයගේ අත්වල සුඛ රේඛාව පිහිටා නොතිබෙන්න පුළුවනි. එවැනි අවස්ථාවක කීර්ති රේඛාව පිහිටියේ නම් එය ඒ පැත්තට මායිම වශයෙන් සැලකිය හැක. අල්ලේ විශාල ප්‍රදේශයක් පුරා පැතිර පවතින මහා ත්‍රිකෝණයක් පිහිටීම වඩාත්ම වාසනාවන්ත පිහිටීමක් වේ. මනා ශරීර ශක්තියක් ඇති වීමට වගේම ප්‍රගතිහීලි අදහස් මනසේ ඇති වීමටත් එය හේතු වේ. මහා ත්‍රිකෝණය තුළ තාරකා ලකුණක් පිහිටීම අති සුබදායකය. ඔහුට හෝ ඇයට ජීවිතයේ ජය හා ධනය, කීර්තිය, සැප සම්පත්, යාන වාහන, පිරිස් බලය ගෙන දීමට හේතු වේ. මහා ත්‍රිකෝණයට සීමා වන අල්ලේ මැද ප්‍රදේශය (කුජ තලාව) වළ ගැසී තිබීම පුද්ගලයා කුසීත අයෙක් බව ප්‍රකට කරයි. මහා ත්‍රිකෝණය තුළ දිස්වෙන කුඩා ත්‍රිකෝණයක සලකුණද වාසනාවන්තය. රජයේ උසස් තනතුරු ලැබීමට එය හේතු වෙයි. මහා ත්‍රිකෝණය තුළ රතු පැහැති ළප පිහිටීම රුධිර රෝගවලට සහ සිරුරේ හෝමෝන සමතුලිතතාව බිඳ වැටී ඇති බවට සලකුණකි. කාන්තාවකගේ දරු ගැබක පිහිටීමද මේ ලක්ෂණ තුළින් දැකිය හැකි වෙයි. එමෙන්ම මහා ත්‍රිකෝණය තුළ කළු ලප බෙහෙවින්ම අශුභ පල ගෙන දේ. නෂ්ටකාම රෝග, දරු පල හීන වීම, උෂ්ණ රෝග ආදී විවිධ ලිංගික රෝගාබාධ ඇති බවට කළු ලප සලකුණක් විය හැකි බැවින් මහා ත්‍රිකෝණය තුළ පවතින ලප කැළැල් පිළිබඳවද නිරන්තරයෙන් පරීක්ෂාකාරි විය යුතු වේ.

 

ප්‍රවීණ ජ්‍යොතිර්වේදී

හිඹුටානේ පියතිලක ද අල්විස්

 


Comments