
බලගතු නමක් කෙටි කර ඇමතීමෙන් අසුබ ප්‍රතිඵල
අසුබ නමක් කෙටි කර අමතද්දී ඇතැම් විට සුබ ප්‍රතිඵල
උච්චාරණයේ පහසුව තකා නම කෙටිකර අමතද්දී අවධානය යොමුකළ යුතු කරුණු
නාමකරණයේ දී හෙවත් නම් තැබීමේ දී ශබ්ද ශාස්ත්‍රීය සිද්ධාන්ත ගැන මෙන් ම නම්වල ප්‍රායෝගික භාවිතය පිළිබඳ ව ද දැනුමක් තිබීම අවශ්‍ය වේ. ඒ දෙක ම එක සේ සමබර ව සලකා බලා නමක් තැබීම කළ යුතු ය. ප්‍රායෝගික භාවිතය පිළිබඳ ව විමසා බැලීමේ දී පෙනෙනුයේ භාෂාවේ ව්‍යවහාරය පිළිබඳ දැනුමත් ඒ සඳහා අවශ්‍ය වන බව යි.
අප නම් තබන්නේ සිංහල බසින් නම් සිංහල භාෂාවේ ව්‍යවහාරය පිළිබඳ ව ප්‍රායෝගික ඥානයක් අප සතු විය යුතු ය. භාෂාව පිළිබඳ ශාස්ත්‍රීය දැනුමක් නාමකරණය සඳහා අවශ්‍ය නොවන බවක් මෙයින් අදහස් නො කෙරේ.
සමහර විට භාෂාව පිළිබඳ ගැඹුරු දැනුමක් ඇති එ මෙන් ම ශබ්ද ශාස්ත්‍රය පිළිබඳ ව ද මහත් දැනුමක් ඇති පඬිවරු නැකැතට, දිනයට, ලග්නයට ගැළපෙන අකුරු මැනැවින් සසඳා බලා ඉතා යහපත් ලෙස ගණ පිහිටුවා, උසස් අරුතක් ද ලැබෙන පරිදි දිගු නම් ළදරුවනට තබති. එහෙත් ඒ නම් පහසුවෙන් උච්චාරණය කළ හැකි ද යන්න ඔවුන් ගේ අවධානයට ඇතැම් විට ලක් නො වේ. එහි ප්‍රතිඵලය වන්නේ බොහෝ විට උච්චාරණයේ පහසුව සඳහා ඒ නමින් කොටසක් පමණක් භාවිත කරනු ලැබීම යි.
නිදසුනක් ලෙස, තරමක් පැරණි වුව ද, සුගුණපාල යන නම සලකා බලමු. මෙහි මුලට ඇත්තේ දිව්‍ය ගණය යි. එය ජය හා ආයුෂ ලබා දෙන බව ශබ්ද ශාස්ත්‍රයේ සඳහන් ය. එසේම මුලට ඇති ‘සු’ යනු ද දිව්‍ය අක්ෂරයකි. අර්ථය අතින් බැලුව ද ඉතා යහපත් ය. මනා ගුණවත් ව පාලනය කරන්නා යනු එහි අරුත යි. එහෙත් උච්චාරණයේ පහසුව තකා සුගුණපාල වෙනුවට සුගුණේ යනුවෙන් සමාජයේ දී ඒ නම ඇති තැනැත්තා අමතනු ලැබිය හැකි ය. සුගුණේ යනු වායු ගණයට අයත් ය. එහි ප්‍රතිඵලය මරණය හෝ රට හැර යෑම හෝ යනුවෙන් ශබ්ද ශාස්ත්‍රයේ දැක්වේ. නමින් පැතූ ශුභ ප්‍රතිඵලය සම්පූර්ණයෙන් ම වෙනස් වී අශුභ ප්‍රතිඵලයක් ලැබෙන ලෙස නම සකස් ව ඇති බව මෙයින් මනා ව පැහැදිලි වේ.
දැන් මෙහි අනෙක් පැත්ත ගැන ද අවධානය යොමු කරමු. නූතනයේ බොහෝ විට යොදනු ලැබෙන විදූෂක යන නම නිදසුනක් ලෙස සලකා බලමු. වචනයෙහි අර්ථය නොදැන ශබ්දයෙහි අලංකාර බව පමණක් සලකා තබනු ලබන්නකැයි සිතිය හැකි නමෙකි මෙය. විදූෂක යන සංස්කෘත පදයෙහි අර්ථය විහිළුකාරයා යන්න යි. එය අයත් වන්නේ අශුභ ගණයක් වන සූර්ය ගණයට යි. එහි ප්‍රතිඵලය ලෙස ශබ්ද ශාස්ත්‍රයේ සඳහන් වන්නේ ලෙඩ රෝග යි.
එහෙත් ව්‍යවහාරයේ දී මේ නම කෙටි වී බොහෝ විට ‘විදු’ යනුවෙන් යොදනු අසන්නට ලැබේ. අර්ථය වශයෙන් ගත හොත් එයින් කියැවෙන්නේ ‘විද්‍යාව හෙවත් දැනුම’ යනු යි. එය ගණයකට හසු නොවන නිසා කලින් පැවැති ගණ දෝෂය ද ඉවත් වේ. ඒ අනුව මේ නම, ප්‍රායෝගික ව, උච්චාරණයේ පහසුව අනුව සකස් වීමේ දී නමේ හිමිකරුට යහපතක් සිදු වී ඇතැ යි කිව හැකි ය.
තවත් මෙබඳු උදාහරණ ගණනාවක් මේ සඳහා දැක්විය හැකි ය. මේ කරුණ විමසා බැලීමෙන් මෙහි ලා අදහස් කරන ලද්දේ නාමකරණයේ දී ශබ්ද ශාස්ත්‍රීය සිද්ධාන්ත ආදිය මෙන් ම, තබන නමෙහි ප්‍රායෝගික භාවිතය, උච්චාරණ පහසුව වැනි කරුණු කෙරෙහි ද අවධානය යොමු කිරීමේ අවශ්‍යතාව යි.
සමන්ති අහුබුදු