කඩුවක් දැක්කොතින් හීනෙට ලැබෙනවා සම්මානයක් අතටම | සිළුමිණ

කඩුවක් දැක්කොතින් හීනෙට ලැබෙනවා සම්මානයක් අතටම

කණ්ඩායම් නැටුමක් දුටුවොත් අහිමි වී ගිය යමක් හිමි වන ලකුණු

කළු කුහුඹුවන් දැක්කොත්  වාසනාවන්ත කාලයක් අත ළඟ

 

අදට අවුරුදු පන්සියයකට පමණ ඉහතදී දළදා වහන්සේ කෝට්ටේ රාජධානියේ වැඩ සිටි සමයේ දියවඩන නිලමේ තනතුර දැරුවේ හිරිපිටියෙ රාල නමැත්තෙකි. එකල පෘතුගීසි බලය ඉහළින්ම තිබිණ. බුවනෙකබාහු රජතුමාට දළදා වහන්සේ ගැන තබා රට ගැන සොයන්නටවත් වෙලාවක් හෝ වුවමනාවක් තිබුණේ නැත. මෙරට රාජ්‍ය ආගම වන බෞද්ධාගම මෙන්ම දළදා වහන්සේද අනතුරේ පැවතිණි. දිනක් නිදා සිටියදී හිරිපිටියෙ රාල සිහිනයෙන් දුටුවේ තමන් මින් පෙර දුටු පුරුදුකමක් නැති නාඳුනන මිනිසෙකි. සිහිනයෙන් දර්ශනය වූ නාඳුනන මිනිසා හිරිපිටියෙ රාලට මෙසේ පැවසීය.

“කෝට්ටේ හලාලේ...

දත මැද ගනින් රාලේ...”

සිහිනයෙන් දර්ශනය වූ අමුත්තා අතුරුදන් විය. එසේ වුවද සිහිනයේ අරුත මැනවින් වටහාගත් හිරිපිටියෙ රාල දළදා වහන්සේද රැගෙන සීතාවක මායාදුන්නේ රජතුමා වෙත ගියේය. එදා හිරිපිටියෙ රාල තමන් දුටු සිහිනයේ අරුත වටහාගෙන කෝට්ටේ පිළිබඳව ඇති ආලය අතැර රට මැද සීතාවක රාජධානියට නොගියානම් පෘතුගීසින් දළදා වහන්සේට හානි කරන්නට ඉඩ තිබිණ. එසේ ඔබ අප දකින සිහින මෙවැනිනම් ජ්‍යොතිෂයෙහි දැක්වෙන්නේ මෙබඳු විග්‍රහයකි.

 

 

01. කසකරුවෙක් / කසකරුවන් - විවිධ දුෂ්කරතා මෙන්ම අලාභයන් ද සිදු වේ.

02.කණ්ඩායම් නැටුමක් - තමාට අහිමිව ගිය යමක් යළිත් හිමි වේ.

03. කළයක් - සියලු කටයුතු යහපත් අයුරින්, බලාපොරොත්තු වන අයුරින්ම ඉටු වේ.

04. කළු පැහැති නාගයෙක් - අමනුෂ්‍ය බලපෑමක් තිබේ.

05. කකුල කැපීම / කැඩීම - සු‍ළුවෙන් ඇති වන රෝගයක් බරපතළ තත්ත්වයට පත් වේ.

06. කළු කොඩියක් / කොඩි වැලක් - දුක් වීමට කරුණක් ඇති වේ.

07. කන්දකින් පහළට වැටීම / තල්ලු කිරීම - පවුලේ සමීපතම වැඩිහිටියකුට අනතුරකි.

08. කරත්තයකින් ගමන් කිරීම - උත්සාහයෙන් කටයුතු කළොත් ජයග්‍රහණය ලබන්නට පුළුවන.

09. කරපිංචා ගසක් - පදිංචි ස්ථානය වෙනස් වේ. වඩාත් හොඳ තැනක පදිංචි වීමට අවස්ථාව උදා වේ.

10. කතුරකින් රෙදි හෝ කඩදාසි කැපීම - තමාගේ ක්‍රියාකාරකම් අන්‍යයන්ගේ පිළිකුලට ලක් වේ.

11. කඩුවක් - උසස් අය වෙතින් ගෞරව සම්මාන හිමි වේ.

12. කඩුල්ල / වැට / ගේට්ටුව - තරගයකට ඉදිරිපත් වන්නට සිටී නම් එයින් පරාජයට පත්වේ.

13. කපා ගොඩ ගසා ඇති අමු උණ ගස් - ස්ථිර වශයෙන්ම පවුලේ කෙනකුගේ අභාවය සිදු වනු ඇත.

14. කසාය හෝ තිත්ත බෙහෙතක් පානය කිරීම - දරුණු අනතුරක් හේතුවෙන් වැඩිහිටි ඥාතිවරයකුට බරපතළ විපතක්.

15. කහ පැහැති මල් පරවී තිබීම - පූජ්‍ය පක්ෂය සමඟ ඇති කර ගන්නා ලද මතභේදයක් නිසා බලවත් විපත් ඇති වේ.

16. කළු කුහුඹුවන් පොදි ගැසී සිටින අයුරු - වාසනාවන්ත කාලයක් උදා වේ.

17. කළු හරකෙක් - සතුරන්ගේ රහසිගත ක්‍රියාවක් නිසා බලවත් කරදරයකට පත් වේ.

18. කබරගොයා ගෙතුළට පැමිණීම - ස්ථිර වශයෙන්ම ධන හානියක් සිදු වේ.

19. කණකොකා ඇඟ මතට වසුරු හෙළනු දැකීම - කෙතරම් නිරෝගී ජීවිතයක් ගත කළ ද ඉතා ඉක්මනින්ම බරපතළ රෝගියකු බවට පත් වේ.

20. කන්දක් තරණය කරන අයුරු - අන්‍යයන් වෙතින් අවමන්, අපහාස විඳින්නට සිදු වේ.

21. කමතක් දක්නට ලැබීම - භූමි ලාභයක්

22. කමතක් උදලු ගාන අන්දම - මුදලක් නොලැබීම නිසා ගැටලු මතු වේ.

23. කඩුල්ලකින් පැන යාම - තමාගේ වැඩපිළිවෙළකට වැඩිහිටියන්ගේ විරෝධය මතු වේ.

24. කළු පැහැති මල් - ජීවිතයට බරපතළ ආපදාවක් සිදු වේ.

25. කළු පැහැති භයානක ස්වරූපයෙන් යුත්, මියගිය ස්ත්‍රියක විසින් වැලඳ ගැනීම - ඒකාන්තයෙන්ම මරණය

26. කඩා වැටෙන ගල් පර්වතයක් - මහත් වූ දුකකට පත් වේ.

27. කරදිය සහිත තටාකයකට / වළකට වැටීම - බලවත් විපතක්

28. කසළ පිරුණු වළකට වැටීම - සැපතක් බලාපොරොත්තුව කළ කටයුත්තකින් විපතක් විඳින්නට සිදු වේ.

29. කපුටන් ඇඟ මතට වැටෙනු දැකීම - මරණය සිදු වේ.

30. කණ්ණාඩියකින් මුහුණ බැලීම -

සමීපතම මිතුරකුගේ ක්‍රියාවක් නිසා තමාට ද නින්දා අපහාස විඳින්නට සිදු වේ.

31. කණේරු මල් / කණේරු ගස - ඒකාන්තයෙන්ම බලවත් විපතක් සිදු වේ.

32. කළු වස්ත්‍ර ඇඳ ගත් ස්ත්‍රියක විසින් වැලඳ ගැනීම - ඉතාම අශුභය. බලවත් විපත් සිදු වේ.

33. කළු පාට තැවරෙන දැලි -

සම දූෂ්‍ය වීම නිසා හොරි, දද, කුෂ්ට ආදී රෝග වැලඳේ.

34. කපුටා - බලවත් ලෙස පීඩා විඳින්නට සිදු වන උදරාබාධයක් වැලඳේ.

35. කදුරු ගෙඩි - නියත වශයෙන්ම තමා සතු මුදලක් අහිමි වීමට කරුණු යෙදේ.

36. කාන්තාවක් දරුවකු ප්‍රසූත කරන අයුරු - සම්පූර්ණයෙන්ම විශ්වාසය තබා කටයුතු කළ කිසියම් වැඩපිළිවෙළක් සහමුලින්ම විනාශ වේ.

ඔබ දුටු සිහින ගැන පලාපල  දැනගන්න සිළුමිණ-ඉසිවර ලෙක්හවුස්, කොළඹ 10 ලිපිනයට යොමුකරන්න.

 

ප්‍රවීණ ජ්‍යොතිර්වේදී සුදත් රත්නායක

Comments