සුබ නැකතක් හදන්න ජ්‍යොතිෂවේදියා ගන්නා මහන්සිය සුබ නැකතකට සඳේ පුර-අව පක්ෂ ගැනත් බැලිය යුතුයි | Page 5 | සිළුමිණ

සුබ නැකතක් හදන්න ජ්‍යොතිෂවේදියා ගන්නා මහන්සිය සුබ නැකතකට සඳේ පුර-අව පක්ෂ ගැනත් බැලිය යුතුයි

වෙලාව හොඳදැයි බලන්න තත්කාල කේන්දරයකුත්

කරුණු කාරණා  සියයකට වඩා සොයා බැලිය යුතුමයි

නැකතක් හදන්න වෙන මහන්සියට මිලක් නියම කරන්න බැරි තරම්

 

කුමන හෝ වැදගත් කටයුත්තක් ආරම්භ කිරීමට සැරසෙන බොහෝ දෙනා ඒ සඳහා සුදුසු නැකතක් ගැන සිතති. සුදුසු නැකතක් තමාට සිතාගත නොහැකි බැවින් ජ්‍යොතිර්වේදියෙකු හමුවට ගොස් අවශ්‍ය කාරණය පවසා ඊට අදාළ නැකතක් සාදවා ගනී. තමාගේ වැඩකට නැකතක් සාදවා ගැනීමේදී තම ජන්ම පත්‍රයද, තම දරුවෙකුගේ වැඩකට නැකතක් සාදවා ගැනීමේදී දරුවාගේ ජන්ම පත්‍රයද, නිවසේ පොදු වැඩකට නැකතත් සාදවා ගැනීමේදී ස්වාමී පුරුෂයාගේ සහ භාර්යාවගේ ජන්ම පත්‍රද නැකැත්කරු වෙත රැගෙන යා යුතුය.

සේවාදායකයා ප්‍රකාශ කළ කාරණයට අදාළව ඊට ගැළපෙන නැකතක් පිළිබඳව සිය අවධානය යොමු කරන නැකැත්කරු එම නැකත සිය සේවාදායකයාගේ ජන්ම නැකත සමඟ කොතෙක් දුරට ගැළපේදැයි පරීක්ෂා කර බලයි. ජන්ම, සම්පත්, විපත්, ක්ෂේම, ප්‍රත්‍යාරී, සාධක, වද, මෛත්‍රී, පරම මෛත්‍රී යන කොටස්වලින් කිනම් කොටසකට තම සේවාදායකයාගේ උපන් නැකත අයත් වේදැයි පරීක්ෂා කරන නැකැත්කරු එය සම්පත්, ක්ෂේම, සාධක, මෛත්‍රී, පරම මෛත්‍රී යන කොටස්වලින් එකකට අයත්වේ නම් එය ගත හැකි නැකතක් ලෙස සිතේ තබා ගනී.

නැකතක් සෑදීමේදී ඉහත දැක්වූ ගැළපීම පමණක් නොසෑහේ. සේවාදායකයාගේ කාරණයට අදාළව සුබ තිථියක්ද නැකත සමඟම පැවතිය යුතුය. පෑළවිය, දියවක, තියවක ආදී වශයෙන් වූ තිථි පහළොව අතුරින් ජලවක, සැටවක, අටවක ආදී වූ තිථි සුබ නැකැත් සඳහා යොදා නොගනී. මේ පිළිබඳවද නැකැත්කරු දැඩි අවධානය යොමු කොට අදාළ කාරණයට සුදුසු යැයි නිර්දේශිත සුබ තිථියක්ද තෝරා ගනී. තමා සිතාගත් නැකත තිබෙන දිනයේදීම සුබ තිථියද තිබිය යුතුය.

නැකත, තිථිය ගැළපී ගියා සේම සුබ දිනයක්ද ඒ සමඟම ලබාගත යුතුය. සතියේ දින හතෙන් සුබ නැකැත් සඳහා යොදා ගනුයේ සඳුදා, බදාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා යන දිනයන්ගෙන් එකකි. එබැවින් තෝරාගත් නැකත හා තෝරාගත් තිථිය ඉහත දැක්වූ දින හතරෙන් එකකදී උදාවිය යුතුය. එසේ නොවුවහොත් යළි මුල සිට ක්‍රියාත්මක විය යුතුය.

සුබ නැකැත් දින තෝරා ගැනීමේදී සඳේ පුර පක්ෂය සහ සඳේ අව පක්ෂය පිළිබඳවද සැලකිලිමත් වේ. සුබ නැකතක් සඳහා යොදා ගත හැකි හොඳම කාලය වනුයේ පුර අටවක සිට පුර පසළොස්වක තෙක් ඇති සතියක කාලයයි. ඒ හැරුණු විට පුර පසළොස්වක සිට දින කීපයක් අව පක්ෂයේදීද සුබ නැකැත් සඳහා යොදා ගත හැකිය.

අමාවක සිට පුර අටවක තෙක් සතිය තුළ නැකැත් යොදා ගන්නේ ඉහත දැක්වූ දින වකවානු අදාළ කාරණයට යොදා ගත නොහැකිනම් පමණි. අව අටවක සිට අමාවක තෙක් සතිය සුබ නැකැත් සඳහා යොදා නොගනී. මාසයේ ඕනෑම දවසක සුබ නැකැත් වේලාවන් ගත හැකියැයි කිසියම් අයෙකු සිතන්නේ නම් එය වැරැදි බව ඉහත කරුණුවලින් පෙනී යනු ඇත.

මෙතෙක් වේලා සාකච්ඡා කෙරුණේ කිසියම් කාරණයකට අදාළව සුබ දිනයක් තෝරා ගන්නා ආකාරය පිළිබඳවයි. සුබ දිනය තෝරා ගත් පසු එම දිනයේ සුබ වේලාවක්ද සොයා ගත යුතුය.

සේවාදායකයා ප්‍රකාශ කරන කාරණයට අදාළ සුබ හෝරා පවතී. ඒ අනුව සුදුසු හෝරාවක්ද, එම හෝරාව තුළ තිබෙන සුදුසු පංචම කාල හෝරාවක්ද, එම පංචම කාල හෝරාව තුළ තිබෙන සුදුසු සූක්ෂ්ම කාල හෝරාවක්ද නැකැත්කරු සොයා ගත යුතුය.

සුදුසු යැයි තෝරා ගත් වේලාව සත්‍ය වශයෙන්ම සුදුසුදැයි බැලීම සඳහා නැකැත්කරු විසින් තක්කාල කේන්ද්‍රයක්ද සාදනු ලැබේ. එහිදී චන්ද්‍රයා පාපයන්ට මැදි නොවී සිටීම අපේක්ෂා කරන අතර, දිවා කාලයේදී නම් රවි එකොළොස් වැන්නෙත් රාත්‍රී කාලයේදී නම් සඳු එකොළොස් වැන්නෙත් සිටින සේ නැකැත් වේලාව සාදාගත හැකි වූයේනම් කෝටියක් දෝෂ භංග වී යන බව ජ්‍යොතිෂයේ දැක්වේ.

මේ හැරුණු විට පංචාංගය සුබ වීමද, කෝණ මාස, සංක්‍රාන්ති, ග්‍රහණ ධූම කේතු ආදිය හසු නොවීමද, විෂ පංචමය, අශුභ හෝරා අත්හැර දැමීමද, රාහු කාලය මඟ හරවා නැකැත් ගැනීමද, පක්ෂියාගේ නිදි හෝ මර අවස්ථා අත්හැර දැමීමද සුබ නැකැත් සෑදීම සම්බන්ධ ජ්‍යොතිෂ පිළිවෙළ වේ. මරු සිටින දිශාවට පිටුපා අදාළ කාර්ය ආරම්භ කිරීමද, සඳු සිටින දිශාවට මුහුණලා කටයුතු කිරීමද සුදුසු බව ජ්‍යොතිෂයේ දැක්වේ.

ඉහත දැක්වූ කරුණු අනුව ඔබට පැහැදිලි විය යුතු කාරණයක් ඇත. එනම් සුබ නැකතක් හරියටම සොයා ගැනීම කණ කැස්බෑවෙකු විය සිදුරෙන් අහස දැකීමක් බඳු ක්‍රියාවක් බවයි. සියලු කරුණු යහපත් ආකාරයට ගොනු කරගෙන තම සේවාදායකයාට සුබ නැකතක් ලබා දෙන ජ්‍යොතිර්වේදියා තම කාලය හා මානසික ශ්‍රමය ඒ වෙනුවෙන් කොතෙක් වෙහෙසන්නට අත්දැයි ඔබට සිතාගත හැකි විය යුතුය.

ඒ ආකාරයට ඔබ අතට පත්වන සුබ නැකැත් වේලාවක් වෙනුවෙන් මිලක් නියම කිරීම කාට නම් කළ හැකිද?

ප්‍රවීණ ජ්‍යොතිර්වේදී

අසෝක විජයසේකර

Comments