
ව්‍යාපාරය වර්ධනයට කළ යුතු ආගමික වත්පිළිවෙත්
බිස්නස් නග්ගන්න නොපෙනෙන බලවේගවලින් වැඩ ගන්නේ බලාගෙන
ව්‍යාපාරය පටන් ගන්න කලින් කේන්දරේ බලා ගත යුතු තැන්
ජ්‍යොතිර් විද්‍යා විශාරද ස්වාපන මනෝ චිකිත්සක ආචාර්ය සම්පත් වීරසිංහ
ඕනෑම කෙනෙකු තමාටම කියා ධනෝපායන මාර්ගයක් නිර්මාණය කර ගැනීමට උත්සුක වෙයි. එහිදී රැකියාවක් ලබා ගැනීම පිණිස ලබා ඇති අධ්‍යාපනය හරහා ලබාගත් උගත්කම, දේශපාලන හෝ ඉහළ පෙළේ සබඳතා, බාහිර වෘත්තීය සුදුසුකම් ද හැරුණු කොට උත්පත්ති බල වාසනා ගුණයද තිබිය යුතුමය. රැකියාවක් සඳහා උත්සාහ කර එය අසාර්ථක වු තැනද, රැකියාවෙන් ලැබෙන ආදායම ප්‍රමාණවත් නොවන විටද, මාපියන්ගෙන් ලද දායාදයක් ලෙසද, දියුණු වීමේ දැඩි ආශාව මතද, වැඩි නිදහසක් සමඟ ආදායමක් ලැබීමේ අරමුණ ඇතිවද ව්‍යාපාර ඇරඹීමට බොහෝ දෙනා පෙලඹෙති. මෙලෙස ආරම්භ කළ ව්‍යාපාර ඉතා දියුණුවට පත් වූ අවස්ථාද, විනාශව ඊට යෙදූ මුදල පවා අහිමි කරගත් අවස්ථාද, නොමැතිනම් ආරම්භ කළ ව්‍යාපාරය කිසිම දියුණුවකින් තොරව සාමාන්‍ය පරිදි කරගෙන යන අවස්ථාද සමාජය තුළින් හඳුනා ගත හැකිය.
කෙසේ නමුදු සාර්ථක ව්‍යාපාරයක හිමිකරුවෙකු වීමට ජන්ම පත්‍රයෙන් පිහිට ලබා ගනීම ඉතා වැදගත්ය. එමඟින් අපගේ ආර්ථිකය හැසිරෙන ආකාරය නිරීක්ෂණය කර ව්‍යාපාර ආරම්භය, පවත්වා ගැනීම මෙන්ම අඩාළ නොවීමට වග බලා ගැනීම ආදිය කරුණු පහත උපයෝගීතා ආශ්‍රයෙන් තීරණය කළ හැක. ඒවා නිසි ලෙස බලා කටයුතු කරන්නේ නම් ව්‍යාපාර අඩාළ වීම සිදු නොවනු ඇත.
1) ජන්ම පත්‍රයේ 2, 11, 9, 10 ස්ථාන අතිශය පීඩාවට ලක්වී ඉපදී තිබීම හෝ ග්‍රහ ගෝචර හමුවේ එකී ස්ථාන පීඩාවට ලක්වන සීමා හඳුනා ගැනීම.
2) ග්‍රහ ගෝචර හමුවේ දරිද්‍ර යෝග හෝ නීතිය සමඟ බැඳී හිර බන්ධන යෝග පැවතීම.
3) ව්‍යාපාර හෝ ලැබීම් ස්වභාවය (තනි පුද්ගල හෝ හවුල් ව්‍යාපාර) තීරණය කර එයට අනුගත වීම.
4) ප්‍රබල ඒරාෂ්ටක දීර්ඝ කාලයක් ඉදිරියට ලැබීම.
5) කරනු ලබන ව්‍යාපාර ක්ෂේත්‍රය තමාට ගැළපේද යන්න සොයා බැලීම.
6) ව්‍යාපාර හෝ නිෂ්පාදන කරනු ලබන ස්ථානයේ ස්ථානීය පිහිටීම ලැබීම් කෙරෙහි බලපානු ලබන ආකාරය
මෙලෙස සමස්ත කරුණු ගැන සිතා බලා ව්‍යාපාර ආරම්භයක් හෝ කරනු ලබන ව්‍යාපාරයක් පුළුල් කිරීම සිදු කරන්නේනම් එමඟින් සාර්ථක ව්‍යාපාරිකයෙකු වීමේ හැකියාව පවතී. ව්‍යාපාර ආරම්භක නැකත ප්‍රබල වූයේනම් බහුතර දෝෂ භංග වනු ඇත. නමුත් සමහර ස්ථානවල තිබෙන්නා වූ වාස්තුමය දෝෂ, භූමි පාළු හෝ අමනුෂ්‍ය බැල්මන් තිබීමද නොසිතන පරිදි ව්‍යාපාර බිඳ දැමීමට සමත් වෙයි. තවද අද සමාජීය වශයෙන් ගත් කල වාහන නැවැත්වීමේ පහසුකම් නොමැති වීමද ව්‍යාපාර බිඳ වැටීමට භෞතික සාධකයක් බවට පත්ව ඇත.
මෙහිදී නොපෙනෙන පැතිකඩ ගැන විග්‍රහ කිරීම අත්‍යවශ්‍ය වේ. සමහර වෙළෙඳ ව්‍යාපාර ස්ථාන කිසිදු කලඑළියක් නැත. කොපමණ පිළිවෙළකට තබා ගැනීමට උත්සාහ කළද එය පිළිවෙළ කළ නොහැක. කොපමණ බඩුබාහිරාදී තිබුණද ගැනුම්කරුවන් අඩුය. ලාභවලට වඩා සිදුවන පාඩු වැඩිය. කුලියට ගත් ස්ථානයක්නම් කුලිය පවා පියවා ගන්නේ අසීරුවෙනි. ණයට ගැනුම්කරුවන් වැඩිවේ. මුල්‍ය ආයතනවලට ව්‍යාපාර හිමියා ණය වීමත් ඒ සම්බන්ධ ගැටලුකාරී තත්ත්ව උදාවෙයි. ලැබීම් තිබුණද ඉතිරිය පිළිබඳ ගැටලුකාරී තත්ත්වයක් උදාවෙයි. මෙවන් ලකුණු නොපෙනෙන බලවේග ක්‍රියාත්මක වන බවට ඉඟි කිරීමකි.
මෙවන් විටෙකදී,
1) තම ආගමික ස්ථානයක් ව්‍යාපාර ස්ථානය තුළ උතුරට හෝ නැගෙනහිරට මුහුණලා තිබෙන පරිදි තබන්න. වතාවත් ඉටු කරන්න.
2) සතියකට දෙවතාවක්වත් පිරිසිදු සාම්බ්‍රානි දුම් අල්ලන්න.
3) යම් ආකාරයක විනයක් කර තිබේනම් එය ඉවත්කර ආකර්ෂණ තහඩුවක් ව්‍යාපාර ස්ථානයේ ඉදිරිපස වළලන්න. මෙමඟින් පාරිභෝගිකයින් ආකර්ෂණය වේ.
4) "ව්‍යාපාර ස්ථානය තුළ" "වාණිජ වර්ධන" යන්ත්‍රයක් හෝ "ලක්ෂ්මි පූජන" යන්ත්‍රයක් තැන්පත් කිරීම සිදු කරන්නේනම් ව්‍යාපාර ඉතා දියුණු තත්ත්වයකට ළඟා කර ගැනීමේ හැකියාව පවතී.
5) බොහෝ දෙනෙකු කහ දියර ඉසීම පුරුද්දක් කරගෙන සිටි. එය අසුබ නොවන අතර කහ දියර සෑදීම පිණිස අමු කහ භාවිත කරන්නේනම් සහ එයට ලුණු ස්වල්පයක්ද මුසු කරන්නේනම් වඩාත් සුබ ප්‍රතිඵල ලබා ගැනීමේ හැකියාව පවතී.
මෙලෙස ව්‍යාපාර කරනු ලබන මීට සැලසුම් සහගතව මෙන්ම නොපෙනෙන බලවේගයන්ගේද පිහිට සමඟ සිදු කරන්නේනම් ඉන් අවැඩක් සිදු නොවන බව ප්‍රත්‍යක්ෂ වුවෙකි. මහා ව්‍යාපාරිකයින්ට තම නිවෙස් පවා විකුණා දැමීමට සිදු වු අවස්ථාද, වාහන බොහෝ ප්‍රමාණයක් ව්‍යාපාරවලට සම්බන්ධ කරගෙන සිටි පිරිස් තමාට පරිහරණයට වාහනයක් පවා නැතිවූ තත්ත්වයට පත් වූයේද, ණයකරුවන්ගෙන් මුදල් නොලැබීම නිසා තම ව්‍යාපාර විනාශය කරා ළඟා වූයේද බහුතරයක් මෙකී අදෘෂ්‍යමාන බලපෑම් නිසා බව අත්දැකීම් ලබා ඇති සමහරකි. මෙවන් විටෙකදී කුමන හෝ ලෙස මුදල් යොදවමින් ව්‍යාපාරය පවත්වා ගැනීමට උත්සාහ කළද ඉන් පලක් නොවන බවත්, එමඟින් සිදු වනුයේ තව තවත් ආර්ථික පරිහානියම බවත් ප්‍රායෝගික කාරණාවක් බවට පත්ව තිබේ.
මෙලෙස දන්නා ව්‍යාපාරික ඥානයද නොදන්නා වූ නොපෙනෙන පැතිකඩද නිසි ලෙස හසුරුවා නිසි ලෙස ව්‍යාපාරයක් සිදු කරන්නේනම් එය දිනෙන් දින දියුණුවට පත්වනවා මිස අඩාළ වීමක් සිදු නොවන බව ව්‍යාපාරික ප්‍රජාවම සාක්ෂි දරයි.