කේන්දරේ ගු රු ප්‍රබල නම් වැරදි වැඩට ඉඩ නෑ | සිළුමිණ

කේන්දරේ ගු රු ප්‍රබල නම් වැරදි වැඩට ඉඩ නෑ

හිට්ලරුත් නීතියට හසු වන්නේ කේන්දරේ ගුරු ප්‍රබලව සිටි නිසා යැයි  අනුමාන කළ හැකියි

රෝහණ විජේවීරගේ කේන්දරයේත් ගුරු ග්‍රහයා ප්‍රබල පිහිටීමක

 

සමාජයේ වෙසෙන ඇතැම් දෙනා ඉතා අයහපත් ලෙස සහ නීති විරෝධි ලෙස හැසිරුණද, ඔවුන් නීතියේ රැහැනට කිසිසේත් හසු නොවන බව අප විසින් නිරීක්ෂණය කර ඇත. එනම් කිසියම් අදෘශ්‍යමාන බලවේගයක් විසින් ඔවුන්ව ආරක්ෂා කරන බව පෙනේ. එලෙසම සමාජයේ වෙසෙන ඇතැම් දෙනා නීති විරෝධීව හැසිරෙන විට, ක්ෂණිකව හෝ කල් පසු වී හෝ නීතියේ රැහනට හසුවන බව පෙනේ. මෙහි විශේෂත්වය වන්නේ ඇතැම් දෙනා සුළු අත්වැරැද්දක් සිදු කළ විට පවා, නොඑසේ නම් වරදක් නොකළ අවස්ථාවලදී පවා නීතියේ රැහැනට හසුවන බවය. අපගේ අත්දැකීම්වලට අනුව කිසියම් උප්පත්ති කේන්දර සටහනක ගුරු ග්‍රහයා උච්චව හෝ ස්වක්ෂේත්‍රව ඇති විට යම් තැනැත්තෙකු නීතියේ රැහැනට හසුවන බව අප විසින් හඳුනාගෙන ඇත. ප්‍රසිද්ධ චරිතවලට අදාළ කේන්දර සටහන් කිහිපයක් මඟින් ඒ පිළිබඳව පැහැදිලි කිරීමට අද දිනයේදී බලාපොරොත්තු වෙමු.

ශ්‍රී ලංකාවේ හිටපු රාජ්‍ය නායිකාවක වූ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ ප්‍රසිද්ධියට පත්ව ඇති උප්පත්ති කේන්දර සටහනට අනුව ලග්නය "කන්‍යා" වන අතර ගුරු ග්‍රහයා 7 වන භාවය තුළ ඉතා ප්‍රබලව තැන්පත්ව ඇත.

පසු කලෙක බණ්ඩාරනායක මැතිනියගේ ප්‍රජා අයිතිය වසර කිහිපයකට අහෝසි කරන ලද අතර එවකට පැවති රජයේ කීර්තිමත් අමාත්‍යවරයෙකු වූ ගාමිණී දිසානායක පවා එම තීරණයට පක්ෂ නොවීමෙන් එම තීරණයෙහි සාධාරණ බව පිළිබඳව ඇතැම් දෙනෙක් තර්ක කරති.

කෙසේ වෙතත් බණ්ඩාරනායක මැතිනිය මෙලෙස නීතියේ රැහැනට හසු වූයේ ඇයගේ කේන්දර සටහනේ ගුරු ග්‍රහයා ප්‍රබලව සිටීම නිසා යැයි අනුමාන කළ හැකිය.

ඇඩොල්ෆ්ට් හිට්ලර්ගේ ප්‍රසිද්ධියට පත්ව ඇති උප්පත්ති කේන්දර සටහන අනුව ලග්නය තුලා වන අතර ගුරු ග්‍රහයා 3 වන භාවය තුළ ස්වක්ෂේත්‍රව ඇත. එනම් ඔහු කල් ගත වී හෝ නීතියේ රැහැනට හසුවූයේ ඔහුගේ කේන්දර සටහන තුළ ගුරු ග්‍රහයා ඉතා ප්‍රබල ලෙස තැන්පත්ව සිටි නිසා යැයි අනුමාන කළ හැකිය.

පසුගිය කාලයෙහි මහත් ආන්දෝලනයට ලක්වූ පෞද්ගලික පන්ති ගුරුවරයකු පිළිබඳ අපට අසන්නට ලැබුණි. එනම් ඔහු මහජනතාවගෙන් වංචා සහගත ලෙස මුදල් අය කරගෙන එම මුදල් ද සමඟින් රටින් පැන යන ලදි.

නමුත් පසුව ඔහු අත්අඩංගුවට පත්ව නීතියේ රැහැනට හසුවන ලදි. ඔහුගේ ප්‍රසිද්ධියට පත්ව ඇති උප්පත්ති කේන්දර සටහනට අනුව ලග්නය මේෂ වන අතර ගුරු ග්‍රහයා 9 වන භාවය තුළ ප්‍රබල ලෙස තැන්පත්ව ඇත. ඔහු මඳක් කල් පසුවී හෝ නීතියේ රැහැනට හසු වූයේ ඔහුගේ කේන්දර සටහන තුළ ගුරු ග්‍රහයා ප්‍රබල ලෙස තැන්පත්ව සිටි නිසා යැයි සිතිය හැකිය.

කලක් ව්‍යාපාර ආයතන 100 කටත් වඩා ප්‍රමාණයක් අන්තර්ගත සමූහ ව්‍යාපාරයක සභාපති ධුරය ඉසිලූ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකු පිළිබඳ මීළඟට කතාබහ කරමු. ඔහුගේ උපන් දින සටහනට අනුව බැලූ බැල්මට ගුරු ග්‍රහයා මකර රාශිය තුළ තැන්පත්ව සිටිය යුතු වුවද ශනි ග්‍රහයා ද මීන රාශිය තුළ තැන්පත්ව සිටීම අනුව ගුරු සහ ශනි අතර පරිවර්තන යෝගයක් නිර්මාණය වන බව පෙනේ.

ඒ අනුව පරිවර්තන යෝගයෙන් පසු ගුරු ග්‍රහයා මීන රාශිය තුළ ඉතා ප්‍රබල ලෙස තැන්පත්ව ඇතැයි සැලකිය හැකිය. ඒ අනුව, පරිවර්තන යෝග ක්‍රියාත්මක වන ජීවිතයේ දෙවන භාගය තුළදී ඔහුට නොසිතූ නීතිමය ගැටලු රැසකට මුහුණ දීමට සිදුවූ අතර ඒ නිසා ඔහුගේ කීර්ති නාමයට ද විශාල ලෙස බලපෑම් එල්ල විය.

මෙරට දේශපාලන පක්ෂයක නායකයෙකුව සිටි රෝහණ විජේවීරගේ ප්‍රසිද්ධියට පත්ව ඇති උප්පත්ති කේන්දර සටහනට අනුව ඔහුගේ ලග්නය වෘශ්චික වන අතර ගුරු ග්‍රහයා 9 වන භාවය තුළ උච්චව ඇත. රෝහණ විජේවීර පසු කලෙක අත්අඩංගුවට පත්වීමට ඔහුගේ කේන්දර සටහන තුළ ගුරු ග්‍රහයා ඉතා ප්‍රබල ලෙස තැන්පත් වීමද බලපාන්නට ඇත.

උප්පත්තියෙන් ගුරු ග්‍රහයා ප්‍රබලව ඇති කේන්දර හිමියන් පිළිබඳව මෙම ලිපිය තුළින් පළ කළ අදහස්වල සත්‍යතාව තවත් කේන්දර සටහන් විශාල ප්‍රමාණයක් ඇසුරින් තවදුරටත් සනාථ විය යුතුය.

ජ්‍යොතිෂය වැනි විෂයක් හැදෑරීමේදී දැනට පවත්නා සිද්ධාන්තවල මෙන්ම අලුතෙන් සොයා ගන්නා සිද්ධාන්තවල ද සත්‍ය අසත්‍යතාව පිළිබඳව නිරන්තරයෙන් පසු විපරම් කළ යුතු අතර එසේ පසු විපරම් කිරීමේදී ප්‍රායෝගිකව නිරන්තරයෙන් අසත්‍ය යැයි හැඟෙන සිද්ධාන්ත, එම සිද්ධාන්තවල ජනප්‍රිය බව පවා නොසලකා භාවිතයෙන් ඉවත් කළ යුතුය.

 

ප්‍රවීණ ජ්‍යොතිර්වේදී පාරින්ද්‍ර සුගතදාස

Comments