කතරගම දෙවියන්ගෙන් පිහිට ලැබෙන නියම ක්‍රමය | සිළුමිණ

කතරගම දෙවියන්ගෙන් පිහිට ලැබෙන නියම ක්‍රමය

කතරගම මහා දේවාලය සෙල්ල කතරගම කිරිඳි ගංගාව වලවේ ගංගාව රුහුණු පස් පත්තුව මුන්නේශ්වරම ඇතුළු පූජනීය ස්ථාන 15කට දිවැස් හෙළයි

ඇල්ම බැල්ම වැටෙන්නේ උදේ 10.28 - 11.15 අතර දවල් 1.00 රාත්‍රි 10.48ත් රෑ11.12ත් අලුයම 1.15ත් අතර

සියලු සතට සෙත සලසන කතරගම දෙවියන් පහදා ගන්නේ මෙහෙමයි

 

කතරගම දෙවියන් මූර්ති 10කින් සමන්විතයි 

පරිවාර දෙවිවරු 16ක් 

 

ලක්දිව සතරදිග ජනී ජනයාගේ ඉතාම ගෞරවාදරයට හා භක්තියට විශ්වාසයට පත් කතරගම කඳසුරිඳු පිළිබඳ පුරාණයේ සිට එන මුඛ වහර කතා ප්‍රවෘත්ති බොහෝය. කතරගම දෙවියන් පිළිබඳ ලක්දිව නොදන්නා කෙනෙක් නැති තරම්ය. ජාති ආගම් භේදයකින් තොරව කතරගම දෙවි පිහිට ලබන ජනී ජනයා එමටය. එම නිසාම ශ්‍රීමත් කතරගම දෙවිඳුන්ගේ පුරාණ මුඛ වහර පිළිබඳ විස්තර කරනවාට වඩා උන් වහන්සේගේ පිහිට ආධාරය ලබා ගන්නා ක්‍රම සහ උපාය මාර්ග අත්දැකීම් පදනම් කරගෙන එම කරුණු ඉසිවර පාඨක ඔබට පෙළ ගැස්වීම උචිත යැයි විශ්වාස කරමි. ලෞකික ලෝකයේ ජීවත්වන අපට ප්‍රශ්න ගැටලු එමටය.

බලාපොරොත්තු ප්‍රාර්ථනා එමටය. අප සිතන-පතන කරුණු කාරණා ඉටු නොවන අවස්ථා වැඩිය. දුක් කරදර කම්කටොලු වේදනා එමටය. ඒ සියල්ල මනසින් ඉවසා කම්පා නොවී මුහුණ දීමට අපහසු වන අවස්ථාවල විසඳුම් සොයාගෙන ආරක්ෂාව සහ වරප්‍රසාද මෙන්ම මානසික සුවය ප්‍රාර්ථනා කරමින් අප දෙවියන් ඇදහීමට පුරුදු වී සිටීම අරුමයක් නොවේ. ඇත්තෙන්ම මේවායේ යම් සත්‍යතාවක් මුළු විශ්වය පුරා ඇත. තර්ක විතර්කවලින් තොරව එකහෙළාම පිළිගත හැකි එම සත්‍යයයි සද්ධර්මයයි. එය සදාකාලිකව විශ්වය පුරා පැතිර පවතී. යම් කාලයකදී එය ඉස්මතු කර ගැනීම සඳහා බුද්ධියෙන් අගතැන් විශ්වය ආකර්ෂණය කරගත හැකි උගතුන් ද වී ඇත. එවැනි පාරමී බලයක් සහිත දෙවි කෙනෙකි කතරගම දෙවියන්.

කතරගම දෙවියන් ලංකාවේ ප්‍රධානතම ජනී ජනයාගේ බෞද්ධයාගේ මෙන්ම තුන් ලෝකයේම අග්‍ර පූජනීයත්වයට පත් අනුරාධපුර රුවන්වැලි සෑ මළුවේ විහාරයේද කතරගම පිළිරුවක් ඇත. එයින්ම පැහැදිලි වන්නේ කතරගම දෙවියන් පිළිබඳව ඇති අපරිමිත විශ්වාසයයි. එවන් තෙදබල ඇති කතරගම දෙවිඳුන්ගේ පිහිට ආධාරය ලබන පිළිවෙත පිළිබඳ සාකච්ඡා කරමු.

කතරගම දෙවියන්ගෙන් අපට අපරිමිත පිහිටක් ලැබිය හැකිය. උන් වහන්සේගෙන් ඕනෑම උදවුවක් උපකාරයක් ලබාගත හැකි බව මාගේ අත්දැකීමයි. කඳසුරිදුට අත් දොළසකි. මුහුණු හයකි. එයින්ම උන්වහන්සේගේ තේජස් බව කියාපාන සලකුණකි. අපට ඇත්තේ අත් දෙකකි. අපට අත් 12 ක් ඇත්නම් කාගේවත් පිහිටක් අවශ්‍ය වන්නේ නැත. ඒ නිසාමයි අපට සිදුකර ගත නොහැකි යම් යම් කාර්යන් ඒ උත්තමයාට භාර දෙන්නේ. හැබැයි ඔබට ඕනෑම කාරණාවක් ඒ උත්තමයාගෙන් සිදු කරගත හැකි නමුත් ඒ සඳහා නිසි ක්‍රමවේද තිබෙන බව අමතක නොකළ යුතුය. ඒවා අකුරටම සිදු කරන්නේ නම් අකුරටම ප්‍රතිඵල නිසැකව ලැබෙන බව වගකීමෙන් යුතුව ප්‍රත්‍යක්ෂ කිරීමට පුළුවන. ඔබට කතරගම දෙවියන්ගේ පිහිට ලැබිය හැකි ඉහත කාරණාවන්ට අමතරව කුජ අපල කුජ දෝෂ විවාහ ප්‍රමාද ආදි කටයුතුවලටද උන්වහන්සේගේ පිහිට ලැබිය හැකිය. ඒ පිහිට ලබා ගැනීමට පිළිවෙත් යන්ත්‍ර මන්ත්‍ර ආදී බොහෝය. ඔබගේ ප්‍රයෝජනයට ඉන් හැකි පමණක් නිවැරදිව ඉදිරිපත් කරන්නේ ඉසිවර පාඨක ඔබගේ දැන ගැනීම සඳහාය.

කන්ද ගිරි මුන

බැන්ද වු ලෙස අහසට

නැග්ග මයුරා පිට

කන්ද පුරපති වඳිමි හැමවිට

කන්ද කතරගම පුරපති දෙවිඳුන්ගෙන් ඔබගේ සිතැඟි ප්‍රාර්ථනා මුදුන්පත් කරගැනීමට ක්‍රමෝපාය ක්‍රියාවෙහි යෙදවීමෙන් නිසි ප්‍රතිඵල ලැබු විට ඔබව පුදුම වනු ඇත.

ඔබ පීඩාවට පත් කරුණු කාරණා පිළිබඳව කතරගම දෙවියන්ට කන්නලව් කර උන්වහන්සේගේ පුද පූජා සත්කාර පැවැත්වීමෙන් ඔබට නිසැක ප්‍රතිඵල ලැබෙන බවට සහතික කළ හැකිය. උන්වහන්සේ වෙනුවෙන් පූජා පැවැත්වීමේදී දීප, සුගන්ධ, පලතුරු, පානක පූජා, කැවිලි පූජා, භෝජන පූජා ගෙන ඔබේ දැනුම අවබෝධයේ හැටියට හෝ විශ්වාසවන්ත පළපුරුදු කපුවකු ලවා හෝ කතරගම පිළිරුවක් අබියස මනාව මල් යහනාවක් පිළියෙල කර රතු මලින් සරසා සුවඳ දුම් දල්වා තුන්සිත ඒකරාශි කර පන්සිල් ගෙන ත්‍රිවිධ රත්නය වන්දනා කොට කතරගම දෙවිඳුන්ගේ බැල්ම වැටෙන අවස්ථාවලදී ඔබගේ ගැටලුව උන්වහන්සේ උදෙසා කන්නලව් කිරීමේදී ඔබට ජය අත්වේ.

කතරගම දෙවිදු ප්‍රබල බලගතු දෙවියෙකු බැවින් ඕනෑම වේලාවක පූජා පැවැත්වීම සුදුසුය. එහෙත් උන්වහන්සේගේ දිෂ්ටි වැටෙන වේලාව දහවල් ලෙස සැලකෙන්නේ උදේ 10.28 ත් 11.15 ත් 01.00 ත් රාත්‍රියේ 10.48 ත් 11. 12 ත් අලුයම 1.15 ත් යන වේලාවන්ය. උන්වහන්සේගේ දිවැස් හෙළන ස්ථාන ලෙස ලංකාද්වීපයේ මහා දේවාලය සෙල්ල කතරගම කිරිඳි ගංඟාව, වලවේ ගංගාව, රුහුණු පස්පත්තුව, මුන්නේශ්වරම් දේවාලය, කළුවිල, කොට්ටයාරම මුහුද මැද්දේ ත්‍රිත්ව කෝවිල, වැඩිහිටි කන්ද, කිරි වෙහෙර, මැණික් ගංගාව, සෙල්ලන්දූව, මහා කතරගම සහ කුඩා කතරගමය.

කතරගම කන්ද ස්වාමී මූර්ති 10 කින් හෙබිය. එනම්, දේවාහි, කල්‍යාණ, සුන්දර මූර්තිය, සලහි මූර්තිය, සේනාධිපති මූර්තිය, සුමිත්‍ර මූර්තිය, ළදරු මූර්ති, කුමාර මූර්තිය, මයුර වාහන මූර්තිය, රජ වාහන මූර්තිය, සුභුමන්‍ය මූර්තිය, ස්කන්ධ මූර්තිය, මෙවන් මූර්ති 10 කින් යුත් කද සුරඳුන්ට පරිවාර දෙවිවරු 16 යකි. වාහල බණ්ඩාර, රිදීගම කුමාර බණ්ඩාර, දහනක බණ්ඩාර, නාමල්, පානම් බණ්ඩාර, ගැටබරු කන්දේ බන්නාහිර දෙවිදු, චන්දන කුමාර, සිද්ධ පරක්‍ය, පරකාශ, අඹන්වලරාල, රත්නකම්බිලි, කඩවර, සූනියම්, දේවතා බණ්ඩාර, අලුත් නුවර දැඩි මුණ්ඩ, සේන කද බිසෝ බණ්ඩාර දේවිය.

මෙවන් පරිවාර දෙවියන් රැසකින් තේජස් පාන අඩි 6 අඟල් 3 කින් යුත් උසකින් හිසේ කිරුලු 3ක් පැලඳ ගෙන රත්න වර්ණ ශරීරයකින් යුතුව දකුණු අතේ වේලායුදයක්ද, වම් අතේ සැවොල් රුවක් සහිත කොඩියද මුහුණු 6කින් සහ අත් 12 කින් හෙබි නෙත් 12ක් ආයුධ 12කින් හෙබිව වැඩ වාසය කරන කතරගම දෙවිඳු රූපය සිතෙන් මවා ඉහත පූජා පවත්වා පහත කන්නලව්ව කිරීමෙන් ඔබට පිහිට ලැබෙනවාමයි. කතරගම දෙවිදුන් උදෙසා නිසි කන්නලව්ව හා උන් වහන්සේ ප්‍රිය කරන ස්ත්‍රෝත කියවීමෙන් උන් වහන්සේගේ ආකර්ෂණය පහසුවෙන් තමා වෙත ලබාගත හැකිය.

ආරාධනා කවි

ලොල්ල වඩන මිනි මාලය බෙල්ල පිට යුතා

වැල්ල මුහුදු පිට සමුදර රැල්ල පිට එතා

තැල්ල ඒ නිල් මුණුජාසන බෙල්ල වට යුතා

ගල්ල වමින් හර පෙර හැර දුල්ල සිරි ගතා

 

මූණු සය වෙතා ආනුභාව ඇත කදිරනේ

බානු පෙර පතා ආ චන්ද්‍ර ගිණි මෙතේ

පෙනු කෙද ඉතා වේ ඔබ වනු බැරි රතේ

රුණු නෙද ඉතා මේ මල් පානු සුවදිනේ

 

උන්වහන්සේට කරනා ප්‍රබල ආරාධනාව

විමල නිජ පදං බිදං - වේද වේදාන්ත වෛද්‍යං

මම කුල ගුර දෙහං - වද්‍ය ගාන ප්‍රපෝහම්

රවන සුගුණ ජාලං - රඛිග රධිහාගි නේයං

කමල ජනිත පාදං - කාර්ති කේසං හජාම්

ශිව සරවණ ජානං - ශෛව යොගං ප්‍රභවං

හවහිත ගුරු මධු නාදං - නාද ශ්‍රිංකාර රූපං

රවණ මධුර සාරං - කාර්තිකේයං භාජාමි

 

කඳ සුරිඳුගෙන් ආශිර්වාද ඉල්ලන

ප්‍රබල දේව ස්ත්‍රෝත

සවන උවන දොලසක් - සක්දරා රොන් ලෙදසින් දිස්

සොබන බරණ කොන්තා - මුද්ගර මෝප අවි හාපර

නැගුණු මයුර අස්නේ - බන්දවා කෝලි සැවිලන්

බුවන රිවි ලෙසින් දිස් - වා දෙවා සිත් පුරානේ

 

පුර කදිර සුරින්දා - හැඬුවා සේ දිනින්දා

නැගි රාග සිති නින්ද - මිනි බරන ගෙල පැලැන්දා

සුර රුපු ලුහු බන්දා - බෝ තෙදින් ලෙව් පසින්දා

දෙවි කදිර සුරින්දු - ලා දිවැස් රකු නිබන්දා

දැන් දෙවියන් උදෙසා ඔබේ ගැටළුව දෙවියන් උදෙසා කන්නලව්වකින් කීමට පෙර මෙම ස්ත්‍රෝතය 3 වරක් හඬනගා කියවිය යුතුය.

කාච රාහු ගමනාන්තර - වාස භවන තිතසං

ශ්‍රී ඝන ශාසන සං - රක්ෂණ ලංකා දීපං

මයුර වාහන රුඪ - කන්ද දේව රාජං

ශ්‍රී විරාජ මාන පුෂ්ප - ආසන පුවිෂ්ඨං

දීප දූප ගන්ධ පුෂ්ප - තාම්බුලාදි වන්දනම්

ධ්‍යාන භෝම දාන යාච - නාදිකර්ම සේවිතං

පූජයාමි වාර වාර - සෞඛ්‍ය ලාභ සේතුජං

තං කුමාර දේව රාජ - පද පද්ම තං නමෝ

කද සුරිඳුන් උදෙසා පිහිට පතා උදේ හවස ගායනා කිරීමට සුදුසු බල ඇති සෙත් කවිය.

දරනා සයවවන යුත්ම සයකින් අත්පුරා

සෙත සතට සලසාන

දිලෙන මයුරාසනයේ තෙද යුතු කදිර පුරවර

රජත පිං කෙත

සදන නම බැඳි පිරුණු පෙම් ඇති

කන්ද කුමරු යොමා දිවනෙත

සරණ වුව මැන පිං ලබාගෙන මවෙත

ලැබැඳි දියුණු සුව සෙත

 

කන්නලව්ව

සවන උචිත දොළසක් සත්දරා රොන් ලෙසින් දිස්වන සෝබන ධරණා කොත්ත මුද්ගරා මොස අවිගත් නැගුණ මයුරා සනේ බන්දවා හේලි සැවුලන් ගුවන රිවි රිසින් දිස්වා දෙවා සවි සුරානේ පුර කදිර දේවින්ද්‍ර පෑව්වා සේ දිනින්ද්‍ර නැගිරන සිසි නින්දා ගෙන මිනි බරණ රන්දා සුර රුපු ලුනු බැන්දා (ඔබගේ කාරණාව) මෙම කන්නලව්ව කඩ නොකර පස්වාහන් දහසකට බුදුවන්න පින් ගෙන ඉෂ්ට සිද්ධකර දෙනවා යෙස්වා.

යන්ත්‍රය

රූප සටහනේ සඳහන් යන්ත්‍රය ශාස්ත්‍රනුකූලව ඇඳ කතරගම දේව දිෂ්ටියෙන් 108 වර බැගින් දින 21 ක් නොකඩවා යහන් පහන් දෙමින් දිෂ්ටි කර ගැනීමෙන් තමා වෙත සිතූ පැතූ ප්‍රාර්ථනා ඉටු වී සුබ සිද්ධිය වනු ඇත. ව්‍යාපාර රැකියා වෙළෙඳාම් යාන වාහන ප්‍රතිලාභ ලැබීමේදී කඳසුරිඳුගේ උපකාරය ලැබේ.

 

කතරගම දේව දිෂ්ටිය

ඉතිපිසෝ භගවා හර හර සම්මුඛ දේවා වා වා

අරහං හර හර සම්මුඛ දේවා වා වා

සම්මා සම්බුද්ධ හර හර සම්මුඛ දේවා වා වා

විජ්ජාචරණ සම්පන්නෝ හර හර සම්මුඛ

දේවා වා වා

සුගතෝ හර හර සම්මුඛ දේවා වා වා

අනුත්තරෝ හර හර සම්මුඛ දේවා වා වා

පුරිස ධම්ම සාරතී හර හර සම්මුඛ දේවා වා වා

සත්තා දේවා මනුස්සානනං හර හර

සම්මුඛ දේව වා වා

බුද්ධෝ භගවාති හර හර සම්මුඛ දේවා වා වා

අභිධර්මය දෙසු මුනි අදිටන් බලයට

හර හර සම්මුඛ දේවා වා වා

මුනිගුණ අනයට ඕඩි වා වා සීග්‍ර වා වා

තෙරුවන් අනයට ඕඩා වා වා

 

කතරගම දෙවියන්ට පින් දීමේ දුර්ලභ ගාථාවෝ

මාතු පාදං සමාරූඬ

මයුර වාහනපිච

බන්ධ දේවාභිවුධානසය

දානං පුඤ්ඤාතුමෝදතු

 

(මවක හා සමාන වුමේ මයුර වාහන මත නැගි ලොව බලා වැඩ වාසය කරන ස්කන්ධ දෙවියනි මාගේ දියුණුව සලසා දේවා වදාරමින් ඔබ වහන්ස වෙත දෙන පිං අනුමෝදන් වන්න.)

නාථස්ස ධාතු චේතියං තං

ඵල බෝධින් නිසිහලම්පිච

තිව්චාරක්ඛවාමනෝ ත්වං

පුඤ්ඤං මේ සම්මානු මෝදතු

 

(තථාගතයන් වහන්සේගේ ශාරීරික ධාතු තැන්පත් කිරි වෙහෙර චෛත්‍ය ද ඒ පූජා භූමියෙන් පිහිටි අෂ්ට පල රුක බෝධීන් වහන්සේ සහ ත්‍රී සිංහලය නිතර ආරක්ෂා කරන්නා වු කදිර දේව රාජයාණනි ඔබ වහන්සේ මා විසින් රැස්කොට අනුමෝදන් කරන්නා වු පින් පඬුරු අනුමෝදන් වන්න)

වන්දේ විරාජමානෝ යං

දිබ්බ ලක්වන සෝභිතං

ඉස්සර සුත බන්ධ දේව

කතං මේ පුඤ්ඤානුමෝදතු

 

(මතා වු දිව්‍ය ශ්‍රීයෙන් ශෝභමාන වෙමින් මෙතැන වැඩ වාසය කරන්නා වු ඊශ්වර දේව පුත්‍ර වු ස්කන්ධ දිව්‍ය රාජයාණන් වහන්ස ඔබට මම නමස්කාර කරමි. මා විසින් කරන ලද විය ඔබ වහන්ස අනුමෝදන් වන්න)

ජ්‍යොතිර් විශාරද

කේ. එස්. එස්. යෝදීන්ගේ

Comments