
අපේ රටේ ජාතික ක්‍රිකට් කණ්ඩායමට ක්‍රීඩකයන් තේරීමේ සිට බොහෝ තැන්වලට බලපෑම් කිරීමට හැකියාවක් ඇති දේවගැතිවරයෙක් වන ජෙරම් ප්‍රනාන්දු බුදු දහමට සහ බෞද්ධ දර්ශනයට පහර ගසා එහි උණුසුම පහව යන්නටත් මත්තෙන් බුදු දහමට ගරහමින් ප්‍රකාශයක් නිකුත් කරගෙන එළියට අවේ නතාෂා එදිරිසූරිය නැමැති කතකි. මෙසේ බුදු දහමට සහ බෞද්ධ දර්ශනයට පහර ගසන්නට වූ මේ දෙදෙනාම බෞද්ධයන් නොවීම ද විශේෂත්වයකි. මේ අදහන ආගම කුමක් දැයි ඇත්තේ ද සැබවින්ම ගැටලුවකි.
ජෙරොම්, නතාෂා පමණක් නොව, සේපාල් අමරසිංහ නැමැති සමාජ ක්‍රියාකාරිකයා පවා අත්අඩංගුවට පත්වන්නේ බුදු දහමට අපහාස කරන්නට ගොසිනි. සේපාල් අමරසිංහ අපහාස කළේ බෞද්ධයන්ගේ මුදුන් මල්කඩ බඳු දළදා වහන්සේටය. සේපාලගේ ඒ ප්‍රකාශයට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස වගකිව යුතු තැන්වලට දැනුම් දුන්නේ අපේ රටේ මහානායක හිමිවරුන්ය. ඒ අනුව සේපාල්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක වූවා මෙන්ම අවසානයේදී තමා ඒ කළ ප්‍රකාශයට සේපාල් සමාවද ගත්තේ නැවත එවැනි දෙයක් තමාගෙන් සිදු නොවන බවට ප්‍රසිද්ධියේ දිවුරුමක් ද දෙමිනි.
සේපාල්ට පෙර බුදු දහමට නිග්‍රහ කළ බවට චෝදනාවක් එල්ල වූයේ උපුල් ශාන්ත සන්නස්ගල සහ ශ්‍රීනාත් චතුරංගටය. ඒ ග්‍රන්ථයක් රචනා කර එය මුද්‍රණය කර බෙදා හැරීමෙනි. එම ග්‍රන්ථය මුද්‍රණය කර බෙදා හැරීම තුළින් බුදු දහමට සහ බුදුරජාණන් වහන්සේට අපහාසයක් සිදු කළේ යැයි චෝදනා කරමින් 2018 වසරේ දී ඊට එරෙහිව පොලිසියට පැමිණිල්ලක් කරනු ලබන්නේ වත්මන් අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ විසිනි. මේ පැමිණිල්ල කෙරෙහි වගකිව යුත්තන්ගේ අවධානය යොමු වූයේ සිවු වසරකට පසුවය.
බුදු දහමට සහ බෞද්ධ දර්ශනයට නිගා කරන පිරිස් කෙරෙහි විශේෂ අවධානයක් යොමු කළ විට ඒ බොහෝ අය පෙනී සිටින්නේ අනාගාමිකයන් ලෙසිනි. නමුත් ඒ අය ඉලක්ක කරමින් පහර ගසන්නේම බුදු දහමට සහ බෞද්ධ දර්ශනයටය.
මේ අය අතර සිටින ජෙරොම් ප්‍රනාන්දු අනාගාමිකයෙක් නොවූවත් ඔහු දැන් වෙනම ආගමික නිකායක් මෙරට තුළ ව්‍යාප්ත කරමින් සිටින්නෙකි. මේ වන විට මෙරට සමාජයේ අන්තවාදී ආගමික කණ්ඩායම් බිහි වෙමින් ඇත්තේ හතු පිපෙන්නාක් සේය. පාස්කු ඉරිදා එල්ල වුණු ත්‍රස්ත ප්‍රහාරය ද ආගමික අන්තවාදී ක්‍රියාවකි. බොහෝ ආගමික අන්තවාදීන්ට අද හිසරදයක් බවට පත්ව ඇත්තේ බෞද්ධ දර්ශනයයි. බෞද්ධ දර්ශනයටත් බුදු දහමටත් ඉලක්ක කරගෙනම පහර ගසන්නේ එබැවිනි. ජෙරොම් ප්‍රනාන්දු පවා සිය දේශනා ඔස්සේ කරනු ලබන්නේ ඒ දේමය. ඔහු ඒ තුළින් ඉලක්ක කරනු ලබන්නේ සිය ආගමික විශ්වාස කෙරෙහි දුර්වල බෞද්ධයන් නම්මා ගැනීමය. මේ දේවල් සිදුවන්නේ සංවිධානාත්මකවය. ජෙරොම් ප්‍රනාන්දු මේ දේවල් සඳහා විශාල ලෙස මුදල් ද වැය කරති. ඔහුට ඒ වෙනුවෙන් මුදල් ගලා එන මං ගැන සොයා බලන බව කියැවුණත් තවමත් ඒ සම්බන්ධයෙන් සොයා බැලීමේ වගකීම නීති විරෝධී වත්කම් විමර්ශන අංශයට නම් පවරා නැත. ඒ ජෙරොම් ප්‍රනාන්දු වෙනුවෙන් ක්‍රියාත්මක වන අදෘෂ්‍යමාන හස්තයන් ඒ දේවල් වළක්වන්නට උත්සාහ ගන්නා නිසා දැයි පොලීසියේ උදවියටත් ඇත්තේ ලොකු ගැටලුවකි.
බුදු දහමට අපහාස කළ ජෙරොම් ප්‍රනාන්දු තවමත් සිටින්නේ නිදැල්ලේය. බෞද්ධ සමාජය කළඹවන ලද ජෙරොම් ප්‍රනාන්දු දේවගැතිවරයා සමාජයේ කතිකාවක් බවට පත්වන්නේ බෞද්ධ දර්ශනයට අපහාස වන ආකාරයේ වැරදි මතයක් සිය අනුගාමිකයන්ට කළ දේශනාවක් සහිත වීඩියෝවත් සමාජ මාධ්‍ය ජාල ඔස්සේ හුවමාරු වන්නට ගැනීමත් සමඟිනි. මේ ගැනද වගකිවයුතු තැන් දැනුවත් කරනුයේ අපේ රටේ මහා සංඝ රත්නයයි. ඒ ගැන රටේ ඉහළම තැන්වල අවධානය යොමු වෙමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහයන් පොලිස්පතිවරයාට නියෝග කරනු ලබන්නේ වහාම ඒ ගැන විමර්ශනයක් පවත්වන ලෙසටය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් ජෙරොම් ප්‍රනාන්දුට එරෙහිව විමර්ශනයක් ආරම්භ කරනු ලබන්නේ ඒත් එක්කමය.
ජෙරොම්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් විමර්ශන අරඹන්නේ ඔහුට එරෙහිව විදෙස් ගමන් තහනමක් අධිකරණය මඟින් ලබා ගනිමිනි. එම විදෙස් ගමන් තහනම ලබාගන්නා විටත් ඔහු සිටින්නේ සිය අඹු දරුවන් සමඟ සිංගප්පූරුවට පලා ගොසිනි. සිය සමාජ මාධ්‍ය ජාල ගිණුම ඔස්සේ ජෙරොම් සිය අනුගාමිකයන්ට පෙන්වා දෙන්නට උත්සහා ගත්තේ තමා රටින් පලා නොගිය බවත් රාජකාරි කටයුත්තක් සඳහා රටින් පිටව ගිය බවත්ය. රටින් පිටව ගියා හෝ රටින් පලා ගියා හෝ ජෙරොම් තාමත් රටට ආවේ නැත. ඒ රටට එන විට තමාව ගුවන්තොටුපොළේදීම අත්අඩංගුවට පත්වන බව ජෙරොම් දන්නා බැවිනි. නමුත් ජෙරොම් සිංගප්පූරුවේ සිට කීවේ නම් ඊළඟ ඉරිදා අනිවාර්යෙන්ම ලංකාවට පැමිණෙන බවය. ඒ ඉරිදා දවස ජෙරොම්ට තවමත් උදාවී නැත. එම දවස උදාවන තුරු ඔහු සිය අනුගාමිකයන්ට අමතන්නේ වීඩියෝ තාක්ෂණය ඔසසේ දේශනා පවත්වමිනි. ඒ අතර ඔහු තමන් කළ ප්‍රකාශයෙන් බෞද්ධ ජනයාගේ හිත් රිදුණේ නම් සමාව අයැද සිටියත් ඔහු ඒ කළ ප්‍රකාශය නම් ඉල්ලා අස්කරගත්තේ නැත. සමාව ඉල්ලා සිටින්නට වූයේ ද උපක්‍රමයක් ලෙසිනි. ඒ බව පැහැදිලි වන්නේ සිය නීතීඥයන් මඟින් ඔහු ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමිනි. සිය නීතීඥයන් මඟින් ඔහු එම පෙත්සම ඉදිරිපත් කරමින් අධිකරණයෙන් ඉල්ලා සිටියේ තමන් මෙරටට පැමිණි වහාම අත්අඩංගුවට ගැනීමේ අවදානමක් ඇති බැවින් අත්අඩංගුවට ගැනීම වළක්වාලන අතුරු නියෝගයක් නිකුත් කරන ලෙසිනි. මෙතෙක් එම පෙත්සම විභාගයට ගෙන නැති බැවින් ජෙරොම් මෙරටට පැමිණෙන ඕනෑම මොහොතක අත්අඩංගුවට ගැනීමට පොලිසියට තවමත් හැකියාවක් ඇත්තේය. ඒ බව දන්නා බැවින් ජෙරොම්ද තමාට වාසි සහගත පසුබිමක් ගොඩනැඟෙන තුරු මෙරටට පය නොතබනු ඇත.
නතාෂා එළියට එන්නේ ජෙරොම්ගේ උණුසුම මකාගෙනය. ජෙරොම් කෙරෙහි ඇති සමාජ අවධානය බිඳ දැමීමට නතාෂාව එළියට දැමුවේ දැයි ඇත්තේද සැබවින්ම ගැටලුවකි. ඒ ආගමික ගැටුම් ඇති කරමින් සමාජයේ කැලඹීමක් ඇති කිරීමට මාන බලන මේ හැමෝම එකම ජාලයක පිරිසක් බැවිනි. ඒ බව බුද්ධි අංශ විසින් බලධාරීන්ව මේ වන විටත් දැනුවත් කර හමාරය. මේ හැමෝම පසුගිය කාලයේ ගෝල්ෆේස් අරගලයේ ද කැපී පෙනෙන චරිත බවට පත්ව සිටි අයය. ඇතැම් අය කැපී පෙනුනේ සමාජයට ඔවුන්ගේ මුහුණු පෙන්වා නොව, සැඟවුණු චරිත ලෙස මුදල් හා වෙනත් පහසුකම් සපයමින් අරගලකරුවන්ට උත්තේජනයක් දෙමිනි. අරගල භූමියේදී පවා බුදු දහමට ගැරහුමට ලක් කරනු ලැබුවේ ඔවුන්ය. ඒ අය මේ දේවල් කරනු ලැබුවේ රාජ්‍ය නොවන විදෙස් සංවිධානවලින් ලැබුණු ඩොලර් කුටිට්වලට වහා වැටීය. නතාෂා ද ඒ ගොන්නේ සිටි තැනැත්තියක් දැයි ඇත්තේ ගැටලුවකි. ඒ ඇයද අරගල භූමියේ ගැවසුණු තැනැත්තියක් වූ බැවිනි.
කොට්ටෝරුවා හැම ගහකටම කොටමින් ගිය ද වැඩ වරදින්නේ කෙසෙල් ගහට කොටපු දාට යැයි කියා ඇත්තේ පැරණි කියමනකි. නතාෂාට වැඩ වරදින්නේ ද ඒ විදිහටමය. ඒ ඇය කොළඹ ප්‍රසිද්ධ බාලිකා විද්‍යාලයක රංග ශාලාවක පැවති ප්‍රසංගයකදී බුදුන් වහන්සේගේ සහ සිද්ධාර්ථ කුමාර අවදිය සම්බන්ධයෙන් අපහාසාත්මක ප්‍රකාශයක් සිදු කරමින් ජාතීන් අතර අසමගිය ඇති කිරීමට කටයුතු කිරීම නිසාය. ඇය මේ ප්‍රකාශය කරනු ලබන්නේ යැයි කියන්නේ පසුගිය අප්‍රේල් 01 වෙනිදාය. ඒ “මෝඩාභිමානී“ නම් වූ ප්‍රසංගයේදීය. ප්‍රහසාත්මක ප්‍රසංගයක් වූ එහිදී ඇය ඉතා පහත් ලෙස සිදුහත් චරිතය ප්‍රහසනයට ලක්කළාය.
අප්‍රේල් 01 වෙනිදා පැවති මෙම ප්‍රසංගයේ නතාෂාගේ ප්‍රකාශය ඇතුළත් වීඩියෝ පටය සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ හුවමාරු වන්නට පටන් ගැනෙන්නේ ජෙරොම් ප්‍රනාන්දු දේවගැතිවරයා සම්බන්ධයෙන් සමාජයේ දැඩි කථාබහක් මතුවෙමින් තිබුණු පසුබිමක එම කතාබහ යටපත් කරමිනි. මේ හැම අපහාසයක්ම බුදු දහමට එල්ල කරනු ලබන්නේ බෞද්ධයන් උත්සවශ්‍රීයෙන් සමරන වෙසක් මාසය තුළදී ය. මෙවන් කාල වකවානුවකදීම මෙවැනි වීඩියෝ දර්ශන එළියට දමා සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු කරනු ලබන්නේ බෞද්ධ ජනතාව කුපිත කරවා ආගමික ගැටුමක් ඇති කරවීමේ පටු අරමුණකින් දැයි ඇත්තේද බලවත් සැකයකි. ඒ නිසාම නතාෂාගේ වීඩියෝව ගැන මෙවර මහානායක හිමිවරු ඉහළ තැන්වලට කියන්නට පෙර බෞද්ධ කටයුතු කොමසාරිස් විසින් පොලිස්පතිවරයාට ඒ ගැන පැමිණිල්ලක් ඉදිරිපත් කළේය. ඒ ලිඛිතවය.
ජෙරොම් ප්‍රනාන්දු දේවගැතිවරයා සම්බන්ධයෙන් මෙන්ම නතාෂා සම්බන්ධයෙන්ද වූ විමර්ශන පොලිස්පතිවරයා විසින් පවරනු ලබන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවටය. මෙහිදී නතාෂාගේ වීඩියෝව සම්බන්ධයෙන් වූ විමර්ශන පැවරෙන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසයටය. මෙහිදී පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් මුලින්ම සිදු කරන කාර්ය වන්නේ නතාෂා සම්බන්ධයෙන් තොරතුරු ක්ෂණිකව රැස්කර ඇය විදෙස්ගතවීමකට පැමිණියහොත් එය වළක්වාලන ලෙසට බණ්ඩාරනායක ගුවන්තොටුපොළ පරීශ්‍රය තුළ පිහිටි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ ඒකකය දැනුවත් කිරීමය. ඒ අධිකරණය හරහා ඇයට එරෙහිව විදෙස් ගමන් තහනමක් ලබා ගන්නා තෙක් ආරක්ෂක පියවරක් ලෙසිනි. මෙවැනි පියවරක් ගැනීමට පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් කල්පනා කර ඇත්තේ ජෙරොම් ප්‍රනාන්දු දේවගැතිවරයා රටින් පැනගත් ආකාරයට නතාෂාට පැන ගන්නට ඉඩක් නොතබමිනි.
බෞද්ධ කටයුතු කොමසාරිස් විසින් නතාෂාගේ වීඩියෝවට එරෙහිව පොලිස්පතිවරයාට පැමිණිල්ල ඉදිරිපත් කරනු ලබන්නේ පසුගිය 27 වෙනිදාය. කනින් කොනින් නතාෂාට ඒ ගැන තොරතුරු ලැබුණු නිසාදෝ ජෙරොම් ප්‍රනාන්දු දේවගැතිවරයා ගිය මඟ අනුගමනය කරමින් ඇයද සූදානම් වන්නේ සිංගප්පූරුවට පැන ගන්නටය. ඇය සිය පෙම්වතා සමඟ ඒ අනුව ගුවන්තොටුපොළ පරීශ්‍රයට පැමිණෙන්නේ එදින රාත්‍රී කාලයේදීය. කල්තියාම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඇය රටින් පලා යනු ඇතැයි අපේක්ෂා කළ බැවින් රෙජොම්ට මෙන් ඇයට රටින් පිටව යාමට හැකියාවක් නොවූවාය. ඇයට සිදුවන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන්ගේ අත්අඩංගුවට පත්වීමටය.
මෙදින ඇයට රැය පහන් කිරීමට සිදුවන්නේ කොළඹ කොටුව නව මහලේකම් කාර්යාල ගොඩනැගිල්ලෙහි පිහිටි පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය තුළය. ඇයව අධිකරණයට ඉදිරිපත් කරනු ලබන්නේ 28 වෙනිදා රාත්‍රී කාලයේදීය. ඒ දීර්ඝ ලෙස ඇගෙන් ප්‍රශ්න කරමින් කළ විමර්ශනයකින් අනතුරුවය. මෙහිදී ඇය බොහෝ තොරතුරු ප්‍රශ්න කිරීම් හමුවේ පවසා තිබුණාය. එම ප්‍රසංගය සංවිධාන කළ අය ගැන පවා තොරතුරු ඇය හෙළි කළාය. ඊට අනුව නම් මේ ප්‍රසංගය සංවිධානය කර ඇත්තේ වෙනම කණ්ඩායමකි. ඇය ඊට සම්බන්ධ වී ඇත්තේ ඉදිරිපත් කරන්නියක් ලෙසිනි. ඒ වෙනුවෙන් ඇයට හොඳ ගෙවීමක්ද කර ඇත්තේය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන්ගේ ප්‍රශ්න කිරීම් හමුවේ ඇය තවත් බොහෝ දේවල් පවසා තිබුණාය. එහිදී ඇය කියා ඇත්තේ තමා ප්‍රහසන වැඩසටහන්වලට සම්බන්ධ වන්නේ 2022 වසරේ සිට බවය. උසස් තත්ත්වයේ ප්‍රහසන වැඩසටහන් ක්‍රමයක් හඳුන්වා දීම මෙම ප්‍රහසන වැඩසටහන සංවිධානය කළ යූටියුබ් චැනලයේ අභිප්‍රාය වූ බවද ඇය පවසා තිබුණාය. එදා අප්‍රේල් 01 වෙනිදා පැවති වැඩසටහන පවත්වා ඇත්තේද ප්‍රවේශ පත්‍ර අලෙවි කරමිනි. ඉහළ මිලක් ගෙවා ප්‍රවේශ පත්‍රයක් මිලදී ගෙන එම ප්‍රසංගය නැරඹීමට පැමිණ සිටි වැඩිදෙනෙක් එම වැඩසටහන සංවිධානය කළ යූ ටියුබ් නාළිකාව හා සම්බන්ධව සිටින්නන්ය. එසේත් නැතිනම් ඒ අයගේ මිතුරන්ය. එම මිතුරන්ගෙන්ද වැඩි දෙනෙක් විවිධ ආකාරයේ යූටියුබ් නාළිකා පවත්වාගෙන යන්නන්ය. ඒ බොහෝ අය ගැන තොරතුරු නතාෂාගේ විමර්ශනය ඔස්සේ පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත ගලාවිත් තිබුණේය. නතාෂාගෙන්ද ප්‍රශ්න කර මේ හැම දෙයක්ම ගැනම තොරතුරු දැනගත් පරිගණක අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් ඇයව ඉදිරිපත් කරනු ලබන්නේ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ හමුවටය. පරිගණක අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් නතාෂාගේ ප්‍රකාශය හා ඒ තුළින් ඇතිවන අහිතකර බලපෑම් ගැන එහිදී ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා ඇයව රක්ෂිත බන්ධනාගාරගත කරනු ලබන්නේ ජුනි 07 වෙනිදා දක්වාය.
“නතාෂා කියන තැනැත්තිය ගැන ඔබ සොයලා බලන්නකො. ඇය අමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ව්‍යාපෘතියක සේවය කළ තැනැත්තියක්. ඊට අමතරව USAID ආයතනයේ සේවය කළ අයෙක්. එහෙම චරිත තමයි “සුද්ධෝදනගෙ කොලුවා” කියමින් බුදුදහමට ගරහන්නේ. මේ අය නිකම් එන්නේ නැහැ. ඔවුන් සැලසුම් සහගතව, ගොඩනඟලා, වේදිකාගත කරලයි තිබෙන්නේ. මේක අහිංසක මෙහෙයුමක් නොවෙයි” නතාෂා අත්අඩංගුවට ගැනීමත් සමඟ ඇයට මෙවන් චරිත සහතිකයන් දෙන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ ය.
පරිගණක අපරාධ කොට්ඨාසය විසින් නතාෂා ගැන සොයාගත් තොරතුරුවලට අනුව ඇය 2013 වසරේ සිට 2018 වසරෙ දක්වා කාලය තුළ රැඳී සිට ඇත්තේ ඕස්ට්‍රේලියාවේය. අනතුරුව ඇය මෙරට පැමිණ සමාජ ක්‍රියාකාරිනියක් ලෙස කටයුතු කර ඇති බවද කියැවෙති. ඇය සම්බන්ධයෙන් විමර්ශන තවමත් ඇත්තේ ආරම්භක අවදියකය. පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් ඇය සම්බන්ධයෙන් මේ වන විට ගැඹුරු සොයා බැලීමක නිරතව සිටින්නේ බුදු දහමට සහ බෞද්ධ දර්ශනයට අපහාසාත්මක ප්‍රහසනයක් කිරීමට ඇප පසුපස ඇති බලවේග හඳුනා ගන්නටය.
“අපි කිව්වේ නතාෂා එදිරිසූරිය අත්අඩංගුවට ගන්න කියලා විතරක් නෙමෙයි මේකෙ පිටිපස්සේ ඉන්න මංජු නිශ්ශංක කියන්නේ කවුද?, නාලක ගොඩහේවාත් එක්ක මෙයාගේ තිබෙන සම්බන්ධය මොකක්ද? එතකොට මංජු නිශ්ශංකගේ මාමා අමෙරිකාවේ ඉඳන් කොහොමද සල්ලි එවන්නේ. මේගොල්ලෝ කොටි ඩයස්පෝරාවලට සම්බන්ධයි. මේකෙ පිටිපස්සේ ඉන්න කොටි ඩයස්පෝරාව, බෝනගේන් කල්ලිය මේ සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විධිමත් පරීක්ෂණයක් කරලා මේ කණ්ඩායම අත්අඩංගුවට ගන්න ඕන කියලා.”
නතාෂා අත්අඩංගුවට ගැනීමෙන් පසු මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් මේ ගැන කියන්නේ ගෝල්ෆේස් අරගලයේ කැපී පෙනෙන චරිතයක් වූ බලංගොඩ කස්සප හිමියෝය. ගෝල් ෆේස් අරගල භූමියේ අනාගාමික නමින් සිදු වූ බොහෝ දේ ගැන ද උන්වහන්සේ දැන් කියති. අරගලයට මුදල් වියදම් කළේ කවුරුන්ද? ඒ අයට අවශ්‍ය වූයේ කුමක් දැයි කියාද උන්වහන්වහන්සේ පවසති. ෂැංග්‍රිලා හෝටලයේ රැඳී සිටිමින් ගෝල්ෆේස් අරගලය මෙහෙයැවූයේ කවුරුන්දැයි කියා ද උන්වහන්සේ කියති. බුදු දහමට පහර ගසමින් අපහාස කරමින නතාෂාලා වැනි අය මඟින් ආගමික ගැටුමක් ඇති කිරීමට උත්සාහ දරන්නේ කවුරුන් දැයි ඒ අනුව දැන් හොඳටෝම පැහැදිලිය.
නතාෂාලාව මෙහෙය වන පිරිස් ගැන පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසයේ අවධානය විශේෂයෙන් යොමු වී ඇත්තේ එබැවිනි. විශාල වශයෙන් මේ අයට තහවුරු කළ නොහැකි මාර්ග ඔස්සේ මුදල් ගලා එමින් ඇති බවක් ද මේ වන විට පෙනී ගොස් හමාරය.
“ මේ දේවල් කරන අයට ස්ථිර ආදායම් මාර්ගයක් නැහැ. අඩුම තරමින් කරන ව්‍යාපාරයක්වත් නැහැ. හැබැයි කන්නේ බොන්නේ තරු පන්තියේ හෝටල්වලට ගිහින්. අඳින්නේ පලඳින්නේ මිල අධික දේවල්. මේ අය ගමන් බිමන් යන්නේ සුඛෝපභෝගී වාහනවලින්. මේ අයට මුදල් ලැබෙන හැටි අසාමාන්‍යයි. මේ අය කරන්නේම සමාජ මාධ්‍ය ජාල මඟින් ආගම්වලට ජාතීන්වලට අපහාස කරන එකයි. එහෙම නැතිනම් පුද්ගල චරිත ඝාතනය කිරීමයි. ඉතා සංවිධානාත්මකව මේ දේවල් ඒ අය කරනවා.“ මෙම කණ්ඩායම් ගැන මේ වන විට තොරතුරු රැස් කරමින් සිටින විශේෂ පොලිස් අංශයක උසස් නිලධාරියෙක් මේ අය සම්බන්ධයෙන් චරිත සහතිකයක් දුන්නේ එසේය.
මෙසේ ආගම්වලට සහ ශාස්තෘවරුන්ට අපහාස කිරීම අද සමාජයේ ඇතැම් පුද්ගලයන් පත්කරගෙන ඇත්තේ විලාසිතාවක් බවටය. ඒ අය රාජ්‍ය නොවන සංවිධානවල අතකොළු බවට පත්ව ඇති බව බුද්ධි අංශ මේ වන විටත් බලධාරීන් දැනුවත් කර හමාරය. ඒ අය සිය වැඩසටහන් ක්‍රියාත්මක කරනු ලබන්නේ පිටරටින් ලැබෙන ඩොලර්වලට අවශ්‍ය හැටියටය. ආගම්වලට ගරහමින් පිටරටින් ලැබෙන ඩොලර්වලට වහල්වී කටයුතු කරන මේ අයට ජාතියක් ආගමක් පමණක් නොව, නිසි ජන්මයක්ද තිබේ දැයි ඇත්තේ සැබවින්ම ගැටලුවකි. ඒ අය අම්මා තාත්තා පවා විකුණන ජාතියක්ය. භාෂණයේ නිදහස ගැන හඬ නඟමින් ඒ අය කරන්නේ මෙවැනි කුප්ප වැඩය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් නතාෂාගෙන් මෙම විමර්ශන අවසන් නොකර නතාෂාගේ වීඩියෝව සමාජ මාධ්‍ය ජාල ඔස්සේ සමාජ ගත කරමින් කැළඹිමක් ඇති කරන්නට මුල්වූ අය පවා සොයන්නේ එබැවිනි. එහිදී පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසයට පෙනී යන්නේ අප්‍රේල් 01 වෙනිදා පැවති ප්‍රසංගයේ නතාෂාගේ වීඩියෝව යූ.ටියුබ් චැනලයක් ඔස්සේ එළියට දමන්නේ මැයි 24 වෙනිදා බවය. ඒ දේවගැති ජෙරොම් ප්‍රනාන්දු කළ ප්‍රකාශයක් හේතුවෙන් බෞද්ධ ජනයා මෙන්ම සෙසු ආගමිකයන් පවා කැලඹීමකට ලක්ව සිටියදීය. නතාෂාගේ වීඩියෝවෙන් සිදුවන්නේ එම කැලඹීම තීව්‍ර වීමකි. මෙහිදී ඇතැම් උදවිය උත්සාහ දරන්නේ ජෙරොම්ගේ සහ නතාෂාගේ ප්‍රකාශ ඇතුළත් වීඩියෝවලින් සමාජය තුළ කැළඹීමක් ඇතිවී නැති බව කියාපාන්නටය. එවැන්නක් ඒ අය කියන්නේ ජෙරොම්ගේත් නතාෂාගේත් ප්‍රකාශ පදනම් කරගෙන රටේ ගැටුම් හා උද්ඝෝෂණ මෙන්ම කලහාකාරී තත්ත්වයන් ඇති නොවූ බැවිනි. එය මතුපිටින් දකින කරුණකි. සමාජය සිටින්නේ කැලඹිමකිනි. ජනතාව පාරට බැස නැත්තේ නීතිය ගැන ඇති විශ්වාසය නිසාය. එසේ නොවිණි නම් මේ වන විට මෙම ප්‍රකාශ මුල් කරගෙන ජනතාව මේ වන විට මහා මඟට බැස හමාරය. එබැවින් ජනතාව මහ මඟට බැස කලහකාරී ලෙස නොහැසිරීම සමාජය තුල කැලඹීමක් නැතැයි කියන්නට බැරිය.
නතාෂාගේ ප්‍රකාශය ඇතුළත් වීඩියෝව මැයි 24 වෙනිදා ප්‍රසිද්ධ කළ යූටියුබ් නාළිකාවේ හිමිකරුව අත්අඩංගුවට ගනු ලබන්නේ ද සමාජය තුළ කළහාකාරී තත්ත්වයක් ඇති නොවන්නට වග බලා ගනිමිනි. ඒ නීතිය විශ්වාස කරන පිරිස් වෙත නීතිය ක්‍රියාත්මක වෙමින් ඇතැයි පෙන්වමිනි. ඒ අනුව අත්අඩංගුවට ඔහු බෘෘනෝ දිවාකරය. සමාජ ක්‍රියාකාරිකයෙක් වන ඔහුට අයත් යූටියුබ් නාළිකා කිහිපයකි. ඒ එක් යූටියුබ් නාළිකාවක් ඉතා ජනප්‍රිය එකකි. පැවසෙන ආකාරයට අනුව එම නාළිකාව බෘෘනෝ සිය මිතුරෙක් සමඟ එක්ව ඉතාලියේ රැකියාවක නිරතව සිටියදී නිර්මාණය කළ එකකි. එහෙත් දැන් ඒ මිතුරා ඔහු සමඟ නැත. නාළිකාවේ හිමිකරු වන්නේ ඔහුය. බුදු දහමට සහ බෞද්ධ දර්ශනයට පහර ගසමින් ජාතීන් අතර අසමගියක් ඇති කරන ආකාරයේ නතාෂා විසින් ශාලාවක් ඇතුළේ සීමිත පිරිසක් වෙනුවෙන් කළ ප්‍රකාශය යූ.ටියුම් නාළිකාවක් මඟින් උඩුගතකර ඊට පොකු ප්‍රචාරයක් දෙමින් විශාල පිරිසක් අතරට රැගෙන ගියේ බෘෘනෝ දිවාකරය.
ඒ ගැන තමාට එරෙහිව නීතිය ක්‍රියාත්මක වනු ඇතැයි කල්තියාම පෙනී ගිය බැවින් බෘෘනෝ මාධ්‍ය හමුවක් පවත්වමින් බොහෝ දේවල් කීවේය. සමාව ද අය ද සිටියේය. අවසානයේදී මෙම ප්‍රකාශයේ වගකීම එය උඩුගත කළ අයට නොව, ප්‍රකාශය කළ අයට පැවරෙන බවද කීවේය. ඒ ජෙරොම් ප්‍රනාන්දු දේවගැතිවරයාගේ අඩි පාරේ යමිනි. ඒ යැයි කියා පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන්ගෙන් බෘෘනෝට සමාවක් නොවීය. පසුගිය මැයි 31 වෙනිදා ඔහුව පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය හමුවට කැඳවනු ලැබුවේ ප්‍රශ්න කරන්නටය. එදා දීර්ඝ ලෙස ඔහුගෙන් ප්‍රශ්න ද කළේය. ඔහුව අත්අඩංගුවට ගන්නේ පෙරවරු 10.00 සිට සවස 4.00 දක්වා පැය 06ක් පුරාවට ප්‍රශ්න කිරීමෙන් අනතුරුවය. බෘෘනෝවත් ඉදිරිපත් කරනු ලබන්නේ කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ හමුවටය. ඒ පසුගිය 01 වෙනිදාය. පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය මෙහිදී අධිකරණය හමුවේ පෙන්වා දෙන්නේ නතාෂාට එම ප්‍රකාශය කිරීමට පහසුකම් සැලසීම, මහජනයා රැස් කිරීම, වේදිකාව සකසා දීම මෙන්ම එම ප්‍රකාශය සමාජ මාධ්‍ය ඔස්සේ උඩුගතකර ඇත්තේ බෘෘනෝ බවටය. ඒ අනුව බෘෘනෝට එරෙහිව චෝදනා නඟන්නේ මෙම ප්‍රකාශය කිරීමට නතාෂාට ආධාර හා අනුබල දී ඇත්තේ ඔහු බවටය. ඒ බෘෘනෝටද ගැලවිල්ලකට ඉඩ නොතබමිනි. ඒ අනුව බෘෘනෝට ද සිදුවන්නේ ලබන 07 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනගාරගත වන්නටය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙසේ අත්අඩංගුවට ගනු ලබන්නේ නතාෂාලා, බෘෘනෝලා පමණක් නොව, ජාතීන් හා ආගම් අතර සංහිඳියාවට බාධා වන ආකාරයෙන් ඉතා පහත් මෙන්ම අශෝබන ලෙස ප්‍රකාශ නිකුත් කරමින් සිටි රාජාංගනයේ සද්ධාරතන හිමියන්වද පසුගිය 29 වෙනිදා අත්අඩංගුවට ගත්තේය. ඒ අනුරාධපුරය, ශ්‍රාවස්තිපුර ප්‍රදේශයේ පිහිටි ශ්‍රීමත් පින්සිරි ප්‍රනාන්දු ආශ්‍රමයේදීය. උන්වහන්සේව අත්අඩංගුවට ගනු ලබන්නේ පාහියංගල ආනන්ද හිමියන් විසින් කළ පැමිණිල්ලකට අනුවය.
උන්වහන්සේවද ඉදිරිපත් කරනු ලබන්නේ කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයටය. උන්වහන්සේව අත්අඩංගුවට ගැනීමට අදාළ විමර්ශන පැවැත්වූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඩිජිටල් වෝහාරික පරිගණක විද්‍යාගාරයේ නිලධාරීන් එහිදී අධිකරණය හමුවේ පෙන්වා දී තිබුණේ මෙම හිමියන් විසින් පවත්වාගෙන යන සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ පළ කරන ලද වීඩියෝවලින් ජාතින් අතර සංහිඳියාවකින් බිඳ හෙළන ආකාරයේ වෛරී ප්‍රකාශ සමාජ ජාල තුළ උන්වහන්සේ ප්‍රවර්ධනය කරන බවය. ජාතීන් හා ආගම් අතර නොසන්සුන්තාවක් ඇති කරන ආකාරයේ ප්‍රකාශ පමණක් නොව ඇතැම් පුද්ගලයන්ට උන්වහන්සේ තර්ජනය කරමින් ප්‍රකාශ නිකුත් කර තිබෙන බව ද අධිකරණය හමුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නට වූයේ මෙම හිමියන් පිටුපස විශාල පිරිසක් සිටිමින් මෙවැනි කටයුතු සඳහා උන්වහන්සේව පොලඹවන බවට සැකයක් මතු වී තිබෙන බවද කියමිනි.
උන්වහන්සේ සම්බන්ධයෙන් කරනු ලබන විමර්ශනවලදීත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට පෙනී ගොස් ඇත්තේ උන්වහන්සේට පවා විශාල වශයෙන් මේ දේවල් සඳහා මුදල් ගලාගෙන විත් ඇති බවකි. උන්වහන්සේට එම මුදල් ලැබෙන ආකාරය ගැන බැංකු ගිණුම් පරීක්ෂාවක් මඟින් අනාවරණයකර ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ වන විටත් පියවර ගෙන ඇත්තේ එබැවිනි. මෙම විමර්ශනය උන්වහන්සේ සම්බන්ධයෙන් පමණක් සීමා වූවක් නොව, ජෙරොම්ටත්, නතාෂාටත්, බෘෘනෝටත් පොදුය. ඒ අයට මුදල් පොම්ප කරන අය මෙන්ම සංවිධාන ගැන ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙන්ම බුද්ධි අංශද මේ වන විට සිටින්නේ දැඩි සෙවිල්ලකිනි. මේ හැමෝටම එරෙහිව නීතිය ක්‍රියාත්මක වන්නේ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුති පනත, දණ්ඩ නීති සංග්‍රහය සහ පරිගණක අපරාධ පනත මඟිනි. ඒ මේ අයට කිසිදු තැනකින් රිංගා නිදහස් වන්නට ඉඩ නොතබමිනි.