
- ප්‍රවීෂ්ට වීම ජුනි 07 සවස 7.50ට
- ජුනි 24 දක්වා සිකුරුගේ රාශියේ
- ඉගෙනීමේ නිරත අයට කලාකරුවන්ට ලේඛකයන්ට - නීති ක්ෂේත්‍රයට තැපැල් - විදුලි සංදේශ කටයුතුවල නිරත වූවනට සුබ පල
සත්‍යවාදී බව, කතාව, ඉගෙනීම, සියුම් කැටයම් කර්මාන්ත, පොත්පත් ලිවීම ආදියට මුල් වන බුධ ග්‍රහයා මේෂ රාශියේ සිට සිකුරු හිමි වෘෂභ රාශියට ප්‍රවිෂ්ට වීම 2023 ජුනි මස 07 වෙනි දින සවස 07.50 ට සිදු කෙරේ. ජුනි 24 වැනි දින දක්වා එම රාශියෙහි සිය චලිතය පවත්වාගෙන යන බුධ ස්ථීර නොනැමෙන සිතක් ඇති අධිෂ්ඨානශීලි පුද්ගලයෙකු බිහි කරයි. ජනතාවගේ සියලු යහපත් බලාපොරොත්තු මල්පල ගැන්වෙන කාලයක් ලෙස හඳුන්වාදිය හැකිය. මෙම ග්‍රහ මාරුවෙන් මනුෂ්‍යායාගේ සිහිය යහපත් මාර්ගයක පිහිටුවා දෙයි. යමක් කරන්නට සිතුණොත් දෙවරක් නොසිතා යහපත් ප්‍රතිඵලයක් ලැබේනම් එය කරන එක බුධගේ සිරිතයි. සංයෝග වන ග්‍රහයා අනුව සිතුවිලි වෙනස් කරන ගතියක්ද වරෙක පෙන්නුම් කරයි.
මේෂ ලග්නයෙන් උපන් අයගේ දෙවැන්නටද වෘෂභ ලග්නයෙන් උපත ලද අයගේ ලග්න භාවයටද මිථුනයෙන් උපන් අයගේ දොළොස්වැන්නටද කටකයෙන් උපන් අයගේ 11 වැන්නටද සිංහයෙන් උපන් අයගේ 10 වැන්නටද කන්‍යාවෙන් උපන් අයගේ 9 වැන්නටද තුලාවෙන් උපන් අයගේ 8 වැන්නටද වෘශ්චිකයෙන් උපන් අයගේ 7 වැන්නටද ධනුවෙන් උපන් අයගේ 6 වැන්නටද මකරයෙන් උපන් අයගේ 5 වැන්නටද කුම්භයෙන් උපන් අයගේ සිවු වැන්නටද මීනයෙන් උපන් අයගේ 3 වැන්නටද සිකුරු මාරුව සිදු වෙයි.
සිකුරු රසයට සැපයට ලොල් ග්‍රහයෙක් බැවින් බුධ සිකුරුගේ රාශියේදී සිකුරුගේ වැඩවලට සහයෝගය දීමටද ඒවා අනුමත කරන්නටද හැකියාව ඇත. එවන් අවස්ථාවල ඔබ බුද්ධියට මුල් තැන දීම දෙවරක් නොසිතා කළ යුතු වේ. මෙම ග්‍රහ මාරුවෙන් යාන වාහන, ගේදොර, දේපළ ලැබීම්වලට වඩා ඉගෙනීමේ යෙදෙන අයට, කලාවේ නියැළෙන අයට, ලේඛකයනට, නීති ක්ෂේත්‍රයේ යෙදෙන්නන්ට, බ්‍රෝකර් වැඩ කරන අයට, තැපැල් හා විදුලි සංදේශ අංශවල නියැළෙන අයට වැඩි වාසි සැලසෙයි.
සුබ ග්‍රහ සංයෝගයක් හේතුවෙන් මෙය සියලුම ලග්න හිමියනට සුබ පල වැඩියෙනුත් අසුබ පල අඩුවෙනුත් හිමි වන බවක් පෙන්නුම් කරයි. ඒ අනුව මේෂ, වෘෂභ, කටක, සිංහ, කන්‍යා, මකර, මීන යන ලග්නවලට ඉතා සුබ පලදායක වන අතරේ මිථුන, තුලා, වෘශ්චික, ධනු සහ කුම්භ ලග්න හිමියන්ට මිශ්‍රපල දායකය බවක් පෙන්නුම් කරයි.
සුබ පල වඩා වර්ධනය කර ගැනීමටත් අසුබ පල මඟ හරවා ගැනීමටත් කළ යුතු වත්පිළිවෙත් කීපයක් සඳහන් කරමි.
කොහොඹ පැළයකට සත්කාර කිරීම, කොහොඹ කොළ තැම්බූ වතුර ස්නානය සඳහා යොදා ගැනීම, රතන සූත්‍රය උදේ සවස ශ්‍රවණය කිරීම හෝ තමන් විසින්ම කීම. විෂ්ණු දෙවියනට පූජෝපහාර දැක්වීම, ගිතෙල් සුවඳ වර්ග මුං ඇටවලින් සාදන කැවිලි නිල් තිර දනට දීම, නාමල්, තල මල් පූජා කිරීම, අන්‍යයන් හා කතා කිරීමේදී ප්‍රිය වචන පාවිච්චි කිරීම, අසරණ දරුවනට පොතපත, පාසල් උපකරණ තෑගි කිරීම, ධර්ම ග්‍රන්ථ පූජා කිරීම, ධර්ම පත්‍රිකා බෙදා හැරීම ආදිය ඉතාම සුබපල ලබා දෙයි.
බුධ ග්‍රහයා සිකුරු රාශියට ප්‍රවීෂ්ට වීම ඒ ඒ ලග්න හිමියන්ට බලපාන ආකාරය මෙලෙසිනි.
මේෂ - අතමිට මුදල් ගැවසේ
ලග්නයෙන් දෙවැන්නට බුධගේ පැමිණීම යහපත්ය. මිල මුදල් අතමිට ගැවසේ. රැකියාවේ දියුණුව, උසස්වීම්, අන්‍යයන්ගේ උදවු උපකාර හිමිවේ. බ්‍රෝකර් වැඩ නීති වෘත්තිකයනට සුබ දායකය. අසනීප ගති සුව අතට හැරෙන්නට පුළුවන.
වෘෂභ - සෑම කටයුත්තකින්ම ජයග්‍රහණ
ලග්න භාවයට බුධගේ පැමිණීම නිසා නිතර විනෝදයෙන් කල් ගෙවයි. නොයෙක් භාෂා ශාස්ත්‍ර ඉගෙනීමට කැමැත්තක් ඇතිවේ. කරන කියන සෑම කටයුත්තකින්ම ජයග්‍රහණ ලබන්නට හැකි වාසනාවන්ත කාලයකි. ඇසුරු කරන අය අතර ප්‍රියමනාපව සුහදත්වය වර්ධනය කර ගනී.
මිථුන - විදේශ ගමන්
12 වැන්නට මිශ්‍රශීලීව පැමිණෙන බුධ නිසා ඔබට විදේශ ගමන් යෙදෙන්නට අවස්ථාව උදා වෙයි. විදෙස්ගත හිතවතුන්ගේ උපකාර ලැබෙයි. එමෙන්ම මෙරට වුවද දුර බැහැර ගමන් යෙදෙන අතර ඥාති හිතවත් අයට වඩා පිට පළාත්වල අයගෙන් උදවු උපකාර ලැබේ. අවාසිසහගත අවස්ථාවන්ටද ඉඩකඩ ඇති බැවින් කල්පනාවෙන් සිතාමතා තීන්දු තීරණ ගන්න.
කටක - සතුටුදායක කාලයක්
ඔබගේ 11 වැනිභාවයට පැමිණීම වාසි සහගතය. ව්‍යාපාර ලාභ උසස් උගත් මිතුරන්ගේ සැලකිලි හිමි වෙයි. සමාජයේ ප්‍රියමනාප පුද්ගලයෙකු වන අතර ආර්ථික අපහසුතා මඟ හැරෙන ගෘහ ජීවිතය සතුටින් ගෙවන කාලයක් උදා වනු ඇත.
සිංහ - ව්‍යාපාරවලින් ලාභ
ස්ථානෝචිත ප්‍රඥාවෙන් වැඩ කටයුතු කරන අතර ව්‍යාපාරවලින් ලාභ ප්‍රයෝජන අත්කර දෙයි. යහගුණදම් වර්ධනය කර ගැනීමෙන් සහ අන්‍යයන්ට උදවු උපකාර කිරීමෙන් යහපත් ලෙස කාලය ගෙවයි. සැපය සතුට ඔබ වෙත ළඟා වන වාසනාවන්ත කල දසාවකි.
කන්‍යා - පුණ්‍ය කටයුතුවලට වැඩි කාලයක්
ඔබගේ කේන්දරයේ 9 වැන්නට පිවිසෙන බුධ ඔබේ ලග්නාධිපති බැවින් පුණ්‍යවන්ත කටයුතුවලට ලැදි වේ. සත්‍යවාදී ලෙස සියලු කටයුතු කරගෙන යයි. උසස් අධ්‍යාපනයට මුලිකත්වයක් දෙයි. ධර්මානුකූල දිවියකට හිමිකම් පෙන්වයි. භාග්‍යවත් කාලයකි.
තුලා - දේපළ උරුම
ඔබගේ කේන්දරයේ 8 වැන්නට සිකුරුගේ පැමිණීම සුබ අසුබ දෙආකාරයෙන්ම බලපවත්වයි. ශරීරය පැහැපත් බවක් ඇතිවේ. සමහර විට විදේශ ගමන් යෙදෙන්නට හැකි අතර අන්‍යයන්ගේ වැඩිහිටි අයගේ දේපළ උරුමයකට හිමිකම් පෙන්වයි. අසනීප ගති සහ සුළු අපල උපද්‍රව පැවතිය හැකියි.
වෘශ්චික - අනුන්ගෙන් උදවු උපකාර
ඔබගේ කේන්දරයේ 7 වැනිභාවයට පැමිණෙන බුධ 8, 11 අධිපති බැවින් අන්‍යයන්ගේ උදවු උපකාර සහ වෙනත් ලැබීම්වලට ඉඩ ඇති අතර ව්‍යාපාර කටයුතුවලින් ලාභ ප්‍රයෝජන අත්වේ. මිශ්‍ර පල ගෙන දෙන ග්‍රහ මාරුවකි.
ධනු - රැකියාවේ දියුණුව
6 වැනි භාවයට පැමිණෙන බුධ රවි සමඟ යෝග වීමෙන් මෙතෙක් තිබූ අසනීප ගති සුව වීමට ඉඩකඩ පවතී. රැකියාවේ දියුණුව පෙන්නුම් කරයි. තැන්පත් ධනයක් පවත්වා ගැනීමටද හැකියාව ලැබෙයි. සතුරු කරදර ඉවත් වී මානසික සුවය බලපවත්වයි.
මකර - පෙර පින් මතු වේ
ඔබගේ කේන්දරයේ 5 වැනිභාවයට පැමිණෙන බුධ ග්‍රහයාගේ ක්‍රියාකාරිත්වයෙන් ඉගෙනීම ලබන දරුවනට දැනුම, මතක ශක්තිය ඇති කරන ග්‍රහ බලයක් සේම ධාර්මික සිතුවිලිද ඇති කරයි. පෙර කුසල ශක්තිය ඉස්මතු වී කරන කියන සෑම කටයුත්තකම යහපත් ප්‍රතිඵල අත්දකින්නට හැකිවේ.
කුම්භ - ගෙදරදොර දියුණුව
ඔබගේ කේන්දරයේ 4 වැන්නට පිවිසෙන බුධ ග්‍රහයා 5 වැන්න සහ 8 වැන්න අධිපති බැවින් සුබ පල මෙන්ම අසුබ පලද අත්කර දෙයි. දරුවන්ගේ ඉගෙනීම් මෙන්ම සියලු යහපත් බලාපොරොත්තු ඉටු විය හැකි අතර ගෙදර දොර දියුණුවටද හේතු වේ. අසුබ පල වශයෙන් ස්නායු දුබලතා වැනි දේට ලක් විය හැකිය.
මීන - ව්‍යාපාරවලින් ලාභ
ඔබගේ කේන්දරයේ 3 වැන්නට පිවිසෙන බුධ ග්‍රහයා සිවු වැන්න සහ 7 වැන්න අධිපති බැවින් සුබ පල උදා කර දෙයි. පදිංචි ස්ථානයේ දියුණුව විවාහ ජීවිතයේ සතුට අත්කර දෙයි. ව්‍යාපාර කටයුතුවලින් ලාභ ප්‍රයෝජන සහ වෙනත් අයගේ උපකාරද ලැබීමට හේතු වේ.
ප්‍රවීණ ජ්‍යොතිර්වේදී ශ්‍රියා ගනේගොඩ