බුධ අපල‍යෙන් මිදෙන්න වත්පිළිවෙත් | සිළුමිණ

බුධ අපල‍යෙන් මිදෙන්න වත්පිළිවෙත්

සුන්දර දේට මුල් තැන ගත්තත් පිහිටන තැන අනුව විපත්ති

සෞර ග්‍රහ මණ්ඩලයේ කුමාරයා බුධ

ග්‍රහ මණ්ඩලයේ ප්‍රධානියා රවි අසලටම වී සිටින කුඩාම ග්‍රහයාග්‍රහ මණ්ඩලයේ සුරතල් කුමාරයා පොඩි වුණත් මිනිසාගේ බුද්ධිය, ස්නායු පද්ධතිය, මතක ශක්තිය මෙන්ම චර්මය ගැනද අණසක පතුරුවන මෙම ග්‍රහයා විශේෂයෙන් විසි දෙවන දෙර්කාණය අනුව තැන්පත් වී ඇති අයුරින් මෙන්ම අනෙක් අතට මහ දශාව අන්තර් දශාව ආදියේදී අමුතුම ආකාරයකට ජීවිතයට සම්බන්ධ වන්නාවූ මෙම සෙල්ලක්කාරයා කලාව, දර්ශනය ආදී සුන්දර දේ සඳහා මූලිකත්වය ගත්තත් පිහිටන ස්ථානය අනුව මනුෂ්‍යයාට විපත් ගෙන දීමේද හැකියාවක් ඇති අයෙකි.

එසේම මෙම ග්‍රහයාගේ තවත් සුවිශේෂි ගතියක් වනුයේ තැන්පත්ව ඇති රාශිය අනුවද එහි ඇති අනෙකුත් ග්‍රහ බලපෑම්වලටද අනුගත වීමේ හැකියාවයි. එනම් එම ස්ථානය අනුව ක්‍රියාත්මක වී එහි හිමිකරුට බලපෑම් ඇති කරලීමේ හැකියාවයි.

මෙය එක් හේතුවක් වනුයේ ජ්‍යොතිෂයේ සඳහන් බුද්ධි කාරක ග්‍රහයා මෙන්ම නපුංසක ග්‍රහයකු ලෙසද ක්‍රියා කරන නිසාමය. එම නිසා එම ස්ථානය අනුව එයට අනුගතවී තැනේ හැටියට ඇඟේ ගැසීමේ පිළිවෙතට ක්‍රියා කිරීමයි.

විශේෂයෙන් බුද්ධිකාරක ග්‍රහයා ඥානයට බලපෑම් සිදු කරන නිසා මොහු නීච වීම මඟින් බුද්ධිමය තීරණ ගැනීම, ඥානය මෙහෙයවා කරන ක්‍රියාකාරකම්වල හොඳ නොහොඳ, මතක ශක්තිය හීන වීම මෙන්ම ස්නායු පද්ධතියට ඇතිවන බලපෑම්ද ඇති විය හැකි බව ජ්‍යොතිෂයේ සඳහන් කර ඇති දෙයකි.

මෙයින් වඩාත්ම කල්පනාවෙන් කටයුතු කළ යුතු වන්නේ ස්නායු රෝග, මතක ශක්තිය, කල් පවතින සොයා ගැනීමට අසීරූ රෝග මෙන්ම නිසි තීරණ ගැනීමට නොහැකියාව නිසා ඇති විය හැකි අපදාවලින් ආරක්ෂා වීම ප්‍රධාන වශයෙන් සිතට ගත යුතු දෙයක් වනවා ඇත.

මේ සඳහා කළ යුතු වත්පිළිවෙත් මඟින් තමාට මෙම අයහපතින් සහනයක් ලබා ගැනීම සඳහා කටයුතු කිරීමට ප්‍රථමයෙන්ම බුධගේ ඉතාමත්ම ආශාව දක්වන ධර්ම පුස්තක, පිරිත් පොත්, ශාස්ත්‍රිය පොතපත, දරුවන් සඳහා අධ්‍යාපනයට උපකාර වන දේ, තමාගේ වත්කමේ ප්‍රමාණය අනුව හැකි පමණින් සිදු කරන්න.

ඉන් පසු බෝධින් වහන්සේ වෙත බෝධි පූජාවක් පවත්වන්න. එම පූජාවට මුං ඇටවලින් සාදා ගත් කැවිලි, වී, ගිතෙල්, සුවඳ ජාති, එනම් සඳුන්, සැවැන්දරා වැනි දේද නාමල්, කැලෑ මල්ද සමඟ නිල් පැහැති රෙදි රියනක්ද සමඟ මෙම පූජාව පවත්වන්න.

ඔබ බුධ අපලයට මුහුණ දී ඇත්නම් ඒ සඳහා බලපාන යක්ෂයන්ද ඇති බවද ඔබ නොදන්නවා ඇත. එනම් මෙහිදී ප්‍රධානම බඹ යක්ෂයාද, ගිනි කණ්ඩි නමැති යක්ෂණියද බලපෑම් සිදු කරන නිසා ඔවුන්වද මෙල්ල කිරීම සඳහා කටයුතු කළ යුතු වනවා ඇත. ඒ සඳහා විෂ්ණු දෙවියන් ප්‍රධානව මානසකාම නමැති භෛරව දේවතාවන් හට පුද පූජාවක් පවත්වා ඉදිරි කටයුතු සිදු කළ යුතු වනවා ඇත.

මෙම පූජාවන්ගෙන් පසුව මී පැණි, ගෝරෝචන, යව ඇට, ගල් පෙඳ, නිදිකුම්බා, කොහොඹ, දෙහි කොළ සමව ගෙන තම්බා එම වතුර පිරිසිදු ජලය සමඟ මිශ්‍ර කර ස්නානය කරන්න. මෙයද සතියකට දෙවතාවක්වත් සිදු කිරීම මඟින් හිසේ ඇතිවන ආබාධයන් චර්ම රෝග මෙන්ම ස්නායු ආබාධයන්ද සමනය කිරීමට මහත් පිටිවහලක් වනවා ඇත.

ඉන්පසු බදාදා දිනයක උදෑසනම කොහොඹ වෘක්ෂයකට සත්කාර කර පැන් දමා ගස ස්පර්ශ කරමින් තමාගේ මෙම බුධ අපල කාලය තුළ ඇතිවිය හැකි ආපදාවන්ගෙන් ආරක්ෂා කර සහනය ලබා දෙන ලෙසට ප්‍රාර්ථනා කරන්න. මෙයද සතියකට වරක්වත් අවම වශයෙන් සිදු කිරීමෙන් නියත සහනයක් ඔබට ලබාගත හැකි වෙනවා ඇත.

තවද බදාදා දිනයක උදෙන්ම නා පිරිසිදු වී, නාමල්, කහ මල්, නිල් මානෙල් මල් සමඟ රණවරා, කොත්තමල්ලි තම්බා සාදා ගත් පානයක්ද, කිරි බතක්, පලතුරු ස්වල්පයක්, කැවිලි කීපයක් දැහැත් සමඟ බුදුන් වහන්සේට පන්සලකට ගොස් හෝ බෝධීන් වහන්සේ ඇති තැනක පූජා කර තමන්ට සහනය ලබා දෙන ලෙසට ප්‍රාර්ථනා කරන්න.

එදිනම රාත්‍රියේදී බෝධින් වහන්සේ නමක් වටා පස්තෙල් සහ පොල් තෙල්වලින් ආලෝකවත් කරන්න. මේ සියල්ල අවසානයේ පිරිත් සජ්ඣායනය කර විෂ්ණු දෙවියන් හට ඒ පින් අනුමෝදන් කරන්න.

මෙම පූජාවට අමතරව අතීතයේ සිට සිදු කරනු ලබන පූජාවක් වන කිරිපිඬු පූජාවද ඔබට සිදු කළ හැකිය. මේ සඳහා නෙළුම් කොළ තුනක්, තල මිශ්‍රව නොඉඳුල්ව සාදන ලද සුදු කිරිබතක්ද, එළ අඹ, මී පැණි, විලඳ, ගවයින්ගේ පිරිසිදු කිරි බඳුනක් සූදානම් කරගෙන නෙළුම් කොළ මත කිරිබත් ගුළි වශයෙන්ද ඒ සමඟ, එල අඹ, මී පැණි, විලඳ සහ කිරිද තබා මල් ආසනය (පූජාසනය) මත තබා නිල්, කහ සහ සුදු මලින් කලවමේ සාදාගත් මල් වට්ටි හතක්ද තබන්න. ඒ මල් වට්ටි හත සමඟ කහ දියරයෙන් පිරිසිදු කරගත් පඬුරු හතක්ද තබන්න. ඒ සමඟ සෝදා පිරිසිදු කරගත් කුරුම්බා ගෙඩියක් ඇස්ස නොකපා තබන්න. දුම් ඇල්ලීම සඳහා වී පොතු සහිතවද ලොක් සුඹුල්ද යන දෙවර්ගය සමඟ නව සුවඳ දුම් එනම් සුවඳ වර්ග නවයක් සහිතව සාදා ඇති දුම් බෙහෙත් (මේවා සිංහල බෙහෙත් බඩු ශාලාවලින් ලබාගත හැකිය) කලවම් කර සාදාගත් සුවඳ ධූපය යොදා ගන්න.

ඉන් පසු මෙම පූජාව සිදු කර අවසානයේ පිරිත් තුන් සූත්‍රය දේශනා කර බුධ ග්‍රහයාට පමණක් ඒ පින් අනුමෝදන් කරන්න. මෙය දින තුනක් එක දිගට සිදු කර තුන්වන දිනයේදී කුරුම්බා ගෙඩියේ ඇස්ස කපා පූජාවට තබන්න. එදිනද පෙර සේම කටයුතු කර අවසානයේ එම කුරුම්බා ගෙඩිය නි‍ෙවසට රැගෙන ගොස් පසුවදා පාන්දර හිස් බඩට පානය කරන්න. එය ඔබගේ සියලුම දෝෂ යන්ට විශිෂ්ට ප්‍රතිකර්මයක් වනවා ඇත. එය ඔබටම අත්විඳීමට ලැබෙනු ඇත.

මෙම කටයුතු සියල්ල පේවීමෙන් සිතට අරගෙන විශ්වාසය භක්තිය පෙරදැරි කරගෙන සිදු කරන්න. මෙම වත්පිළිවෙත් මඟින් ඉතාමත් සාර්ථක ප්‍රතිඵල ඔබට ලබාගත හැකි වනවා ඇත. මේ මඟින් අයහපත යහපතට හරවාගෙන අපලයද සපල කර ගැනීමට සිතට ගන්න.

 අගස්ති ප්‍රනාන්දු - ජ්‍යොතිර්වේදී

Comments