
ජාත්‍යන්තර පරිසර දිනය ජුනි මස 5වැනිදාට යෙදී ඇති අතර ඒ වෙනුවෙන් වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කෙරෙන බව පරිසර අමාත්‍යංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.
මෙවර ජගත් පරිසර දින තේමාව ” ප්ලාස්ටික් මගින් සිදුවන දූෂණය පිටුදකිමු ” යන්නයි.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (29) පැවැති මාධ්‍ය සාකච්ඡාවකට එක් වෙමින් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා මේ බව පැවසීය.
එක්සත් ජාතීන්ගේ මහා සම්මේලනයේදී ගන්නා ලද තීරණයකට අනුව 1972 ජුනි මස 5 වැනි දින සිට 16 වැනි දින දක්වා ස්වීඩනයේ ස්ටෝක්හෝම් නුවර මානව පරිසරය සුරැකීම පිළිබඳ එක්සත් ජාතීන්ගේ සමුළුව පවත්වන ලද අතර මෙම සමුළුවේ සමාරම්භ දිනය සැමරීම සඳහා සෑම වසරකම ජුනි 5 වැනි දින ජගත් පරිසර දිනය ප්‍රකාශයට පත් කර තිබේ.
මෙවර සමරනු ලබන්නේ 50 වැනි පරිසර දිනය බවත් ඒ අනුව ජගත් පරිසර දිනයට සමගාමීව ජාතික පරිසර සතියක් ප්‍රකාශයට පත් කර ඇති බවත් ඒ සඳහා ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල සංදේශයට අනුමැතිය හිමිවී ඇති බවද ලේකම්වරයා පැවසීය.
මැයි මස 30 වැනි දින සිට ජුනි 5 වැනිදා දක්වා පරිසර සතිය ප්‍රකාශයට පත්කර ඇත.
මැයි 30 වැනිදා රුක්රෝපණ දිනය ලෙසත් , මැයි 31 වැනිදා වායු දූෂණය හා එහි අහිතකර බලපෑම් අවම කිරීමේ දිනය ලෙසත් , ජුනි 1 වැනිදා පරිසර පවිත්‍ර කිරීමේ දිනය ලෙසත් , ජුනි 2 වැනිදා ජෛව විවිධත්වය සංරක්ෂණ දිනය ලෙසත්, ජුනි 3 වැනිදා ජලය සහ ජල මූලාශ්‍ර සංරක්ෂණ දිනය ලෙසත් , ජුනි 4 වැනිදා තිරසර ඉඩම් කළමනාරණ දිනය ලෙසත් සහ ජුනි 5 වැනිදා ප්ලාස්ටික් අපද්‍රව්‍ය කළමනාකරණ දිනය ලෙසත් ජගත් පරිසර දිනයේ සැමරුම් දින නම් කර තිබේ.
දිවයින පුරා පළාත් පාලන ආයතනවල මූලිකත්වයෙන් එම පළාත්පාලන බල ප්‍රදේශ තුළ පරිසරය පවිත්‍ර කිරීම , ඉවත දමන ලද ප්ලාස්ටික් පොලිතීන් එකතු කිරීම , කසළ වර්ගීකරණය සහ කසළ කළමනාකරණය සඳහා වැඩසටහන් ක්‍රියාත්මක කර පවත්වාගනෙ යාම ඇතුලු පරිසර සංරක්ෂණ වැඩසටහන් ක්‍රියාත්මක කෙරෙන බවත් අමාත්‍යංශ ලේකම්වරයා වැඩිදුරටත් පැවසීය.