
ලෝ ප්‍රකට ප්‍රසිද්ධ දාර්ශනිකයකු වූ බර්නාඩ් ෂෝගේ හතර කේන්දරෙත් පාළුයි
ජීවිතය ජය ගත් අය ඕනෑ තරම්
ලෞකික ලෝකෝත්තර දියුණුවට කිසිම බාධාවක් නෑ
සාමාන්‍යයෙන් කේන්ද්‍ර සටහනක කොටු 12ක් ඇති අතර එම කොටු 12 පළමුවන කොටුවේ සිට 12 වන කොටුව දක්වා වම් පසට ගණන් කිරීම සිදු කරනු ලබයි. ඒ අනුව කේන්ද්‍ර සටහනේ 1, 4 7,10 යන ස්ථාන 4 කේන්ද්‍රස්ථාන ලෙස හඳුන්වනු ලබයි. ඒ අනුව කේන්ද්‍රස්ථාන 4 හි කිසිදු ප්‍රධාන ග්‍රහයෙකු නොමැති වීම හතර කේන්දරය පාළු වීමේ දෝෂය නම් වේ. බොහෝ දෙනෙකු මෙම දෝෂයට අසීමිත ලෙස බියක් දක්වන බව අප විසින් නිරීක්ෂණය කර ඇත. නමුත් අපගේ අත්දැකීම්වලට අනුව යම් පුද්ගලයෙකුගේ ලෞකික දියුණුවට මෙන්ම ලෝකෝත්තර දියුණුවටද හතර කේන්දරය පාළු වීම කිසිදු බාධාවක් වන්නේ නැත.
හතර කේන්දරය පාළු වීම පිළිබඳව කතාබහ කරද්දී මා හට මුලින්ම මතක් වන්නේ මගේ සමීපතම මිතුරෙකි. ඔහු ගණිත විද්‍යා උපාධිධරයෙකු වන අතර දැනට ගුරු වෘත්තියෙහි යෙදී සිටියි. අගනුවර අවට පෞද්ගලික පන්ති කිහිපයක්ද පවත්වා ගෙන යන ඔහු ඒවායෙන්ද ආදායම ලබයි. මා දන්නා තරමින් ඔහු මේ වන විට නීති උපාධියද සම්පූර්ණ කර ඇත. ඔහු මත්පැන්වලින් පවා තොරව ඉතා යහපත් චරිතයක් පවත්වාගෙන යයි. ඔහු විවාහක වන අතර දරුවන් දෙදෙනෙකුගේ පියෙකුද වෙයි. තවද ඔහු ඉතා සාර්ථක යුග දිවියක් පවත්වාගෙන යයි.
කෙසේ වෙතත් ධනු ලග්නය දරන ඉහත මිතුරාගේ කේන්ද්‍ර සටහනේ හතර කේන්ද්‍රය පාළු වීමේ දෝෂය ඇති අතර ඔහු ආගමට නැඹුරු ජීවිතයක් ගත කරමින් ඉහත කී සුබ පල ලබන්නට හතර කේන්ද්‍රය පාළු වීමේ දෝෂය කිසිම බාධාවක් වූයේ නැත.
මීළඟට අපවත් වී වදාළ පාණදුරේ අරියධම්ම ස්වාමීන් වහන්සේගේ උප්පත්ති කේන්ද්‍ර සටහන පිළිබඳව අපගේ අවධානය යොමු කරමු. උන්වහන්සේගේ ප්‍රසිද්ධියට පත්ව ඇති කේන්ද්‍ර සටහනට අනුව ලග්නය 'සිංහ' වන අතර හතර කේන්ද්‍රය පාළු වීමේ දෝෂය ඇත. සමහර විට උන්වහන්සේගේ මවුපියන් විසින් උන්වහන්සේව පැවිදි කරන ලද්දේද එම දෝෂය නිසා විය හැකිය. කෙසේ වෙතත් විචිත්‍ර ධර්ම කථිකයෙකු ලෙස පාණදුරේ අරියධම්ම ස්වාමීන් වහන්සේ අද දවසෙහිද ජනතා හදවත් තුළ ජීවත් වෙයි. උන්වහන්සේ බිහි කළ නිර්මාණශීලී බෝධි පූජා ශෛලීන් අද දවසෙහිද ස්වාමීන් වහන්සේලාට පරමාදර්ශයක් වී ඇත. පාණදුරේ අරියධම්ම ස්වාමීන් වහන්සේ වැඩ වාසය කළේ කෙටි කලක් වුවද උන්වහන්සේගේ නාමය සදාතනිකව පවතියි. යහපත් ලෙස ජීවත් වන අයෙකුගේ කෙටි ආයු කාලය, අයහපත් ලෙස ජීවත් වූ අයෙකුගේ දීර්ඝ ආයු කාලයට වඩා උතුම් වේ.
ඒ අනුව උන්වහන්සේට සදා නොමැකෙන නමක් තැබීමට උන්වහන්සේගේ කේන්ද්‍ර සටහනේ හතර කේන්ද්‍රය පාළු වීමේ දෝෂය තිබීම කිසිදු බාධාවක් වී නොමැති බව පෙනේ.
හතර කේන්ද්‍රය පාළු වූ කේන්ද්‍ර සටහනට තවත් උදාහරණයක් ලෙස ගජමන් නෝනාගේ කේන්ද්‍ර සටහන දැක්වීමට හැකිය. ඇයගේ ප්‍රසිද්ධියට පත්ව ඇති කේන්ද්‍ර සටහනට අනුව ලග්නය 'කටක' වන අතර කේන්ද්‍ර ස්ථාන 4 හි කිසිදු ග්‍රහයෙකු තැන්පත්ව නැත. ගජමන් නෝනට දුෂ්කරතා රැසකට මුහුණ දීමට සිදු වුවද කලා ලෝකයේ නොමැකෙන නමක් තැබීමට ඇයගේ කේන්ද්‍ර සටහනේ හතර කේන්ද්‍රයේ ග්‍රහයන් නොමැති වීම කිසිම බාධාවක් වී නොමැත.
කළුකොඳයාවේ ප්‍රඥාසේකර ස්වාමීන් වහන්සේගේ ප්‍රසිද්ධියට පත්ව ඇති කේන්ද්‍ර සටහනට අනුව ලග්නය 'මිථුන' වන අතර හතර කේන්ද්‍රය තුළ ග්‍රහයන් පිහිටා නොමැත. නමුත් උන්වහන්සේට ප්‍රසිද්ධ ස්වාමීන් වහන්සේ නමක් ලෙස කීර්තිමත් නමක් තැබීමට උන්වහන්සේගේ කේන්ද්‍ර සටහන තුළ හතර කේන්ද්‍රය පාළු වීම කිසිම බාධාවක් වී නොමැත.
ලෝක ප්‍රසිද්ධ දාර්ශනිකයෙකු වු බර්නාඩ් ෂෝ පිළිබඳව මීළඟට කතාබහ කරමු. ඔහුගේ ප්‍රසිද්ධියට පත්ව ඇති කේන්ද්‍ර සටහනට අනුව ලග්නය 'වෘෂභ' වන අතර කේන්ද්‍ර ස්ථාන 4 තුළ ග්‍රහයන් පිහිටා නොමැත. නමුත් ඔහුට උපහාස රසය ජනිත වන සේ දාර්ශනික අදහස් ලොවට තිළිණ කරන්නටත් ලෝක ප්‍රසිද්ධ දාර්ශනිකයෙකු ලෙස කැපී පෙනෙන්නටත් කේන්ද්‍රස්ථාන 4 හි ග්‍රහයන් නොපිහිටීම කිසිදු බාධාවක් වී නොමැත.
මීළඟ උදාහරණ කේන්ද්‍රය ලෙස මගේ පියාගේ පියා පිළිබඳව කතාබහ කරන්නට බලාපොරොත්තු වෙමි. ඔහුගේ ලග්නය මිථුන වන අතර හතර කේන්ද්‍රය පාළු වීමේ ග්‍රහ දෝෂය ඇත. නමුත් මගේ පියාගේ පියාට රජයේ සේවයට පිවිසීමට ඉතාම අපහසු අවධියක රාජ්‍ය සේවකයෙකු ලෙස කටයුතු කිරීමටත් සාර්ථක විවාහයක් සිදු කර ගැනීමටත්, යහපත් සහ උගත් දූ දරුවන් ලබන්නටත්, යහපත් චරිතයක් පවත්වාගෙන යන්නටත් ධනය ලබන්නටත්, වසර 100කට ආසන්න ආයුෂ භුක්ති විඳීමටත් ඔහුගේ කේන්ද්‍ර සටහනේ හතර කේන්ද්‍රය පාළු වීම කිසිදු බාධාවක් වී නොමැත. නමුත් ඔහු තරුණ අවධියේම උපන් ගමින් පිටවී ඇති අතර තම වාසස්ථානය ලෙස ගමෙන් පිටත ඈත පළාතක් තෝරාගෙන තිබුණි. එමෙන්ම උපන් ගමෙන් පිට වීමෙන් පසු ඔහු ගමේ ගොස් ඇත්තේ ඉතාම කලාතුරකින් පමණි. "හතර කේන්ද්‍රය පාළු වීමේ දෝෂය" සමාජගත වී ඇති තරම්ම භයානක නොවන බව මෙම උදාහරණයෙන් ද පැහැදිලි වෙයි.
ප්‍රවීණ ජ්‍යොතිර්වේදී
පාරින්ද්‍ර සුගතදාස