බස්නාහිර මහනගර සංවර්ධන සැලසුම කඩිනමින් ඇරඹේ | සිළුමිණ

බස්නාහිර මහනගර සංවර්ධන සැලසුම කඩිනමින් ඇරඹේ

බස්නාහිර මහනගර සංවර්ධන සැලසුම කඩිනමින් ආරම්භ කරන්නැයි නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා බළධාරීන්ට උපදෙස් දෙයි. 
 
එම සැලසුමේ අවසන් සමාලෝචනය සිදු කර මාස 3 ක් ඇතුළත එහි ඉදිරි කටයුතු සිදු කරන ලෙසද ඇමතිවරයා නිළධාරීන්ට උපදෙස් දුන්නේය.
 
අමාත්‍යවරයා මෙම උපදෙස් ලබා දුන්නේ බස්නාහිර මහනගර සංවර්ධන සැලසුම පිළිබද නිළධාරීන් සමග පැවති සාකච්ඡාවකදීය. එම සාකච්ඡාව ඊයේ (22) නාගරික සංවර්ධන අධිකාරියේ ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.  
 
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නාගරික සංවර්ධන අධිකාරියේ නිළධාරීන් සමග පසුගියදා පැවති සාකච්ඡාවකදී එම අධිකාරියට උපදෙස් දී තිබුණේ බස්නාහිර මහනගර සංවර්ධන සැලසුම යළි ක්‍රියාත්මක කිරීම පිළිබද වැඩ කටයුතු ආරම්භ කරන ලෙසයි. ඒ අනුව මේ පිළිබදව සාකච්ඡා කිරීම සදහා නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා මෙම සාකච්ඡාව පැවැත්විය. 
 
බස්නාහිර මහනගර සංවර්ධන සැලසුම සකස් කර ඇත්තේ 2016 වසරේදීය. සිංගප්පූරු නගර නිර්මාණ ශිල්පි ආයතනයක් විසින් එය සකස් කර තිබේ. කොළඹ, ගම්පහ සහ කළුතර යන දිස්ත්‍රික්ක 3 සදහා මෙම සැලැස්ම සකස් කර ඇති අතර ඒ යටතේ මෙම දිස්ත්‍රික්ක ආර්ථික, වාණිජ, සංස්කෘතික සහ පාරිසරික වශයෙන් සංවර්ධනය කෙරෙනු ඇති. 
 
මෙහිදී අමාත්‍යවරයා උපදෙස් දුන්නේ රට ආර්ථික අර්බුදයකට මුහුණ දෙමින් සිටින බැවින් මෙම සංවර්ධන සැලැස්ම වත්මන් ආර්ථික තත්ත්වයට ගැලපෙන ලෙස යාවත්කාලීන කර කඩිනමින් එහි අවසන් සමාලෝචන කටයුතු ලබන මාසය තුළ සිදු කරන ලෙසයි. එම කටයුතු අවසන් වු පසුව නාගරික සංවර්ධන අධිකාරිය විසින් මෙම සංවර්ධන සැලැසුම ගැසට් මගින් ප්‍රකාශයට පත් කරනු ලබයි.   
 
මෙම සැලැස්ම යටතේ මීරිගම සහ හොරණ කර්මාන්ත නගර ලෙසත්, මාළඹේ සහ හෝමාගම තාක්ෂණ නගර ලෙසත්, බදුරළිය සහ අවිස්සාවේල්ල වැවිලි නගර ලෙසත්, මීගමුව සහ වත්තල වෙරළබඩ සංචාරක නගර ලෙසත්, කටාන සහ කටුනායක ප්‍රවාහන හා ගුවන් නගර ලෙසත්, කැස්බෑව සුඛෝපභෝගි නිවාස නගරය ලෙසත්, මුතුරාජවෙල පරිසර කලාපය ලෙසත් සංවර්ධනය කෙරේ. එමෙන්ම කොළඹ වාණිජ නගරය ලෙසත්, ශ්‍රී ජයවර්ධනපුර පරිපාලන නගරය ලෙසත් සංවර්ධනය කෙරෙනු ඇති. 
 
විෂය භාර අමාත්‍යවරයා විසින් නාගරික සංවර්ධන බල ප්‍රදේශයක් ලෙස ප්‍රකාශයට පත් කරනු ලබන ඕනෑම ප්‍රදේශයක් සදහා නගර සංවර්ධන සැලැස්මක් සකස් කර එය ක්‍රියාත්මක කිරීමට නාගරික සංවර්ධන අධිකාරිය බැඳී සිටී. ඒ 1978 අංක 41 දරණ නාගරික සංවර්ධන අධිකාරී පනත මගිනි.  
 
නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශයේ ලේකම් ඩබ්ලිව්.එස්. සත්‍යානන්ද, අතිරේක ලේකම් (නිවාස) ඩබ්ලිව්. එම්. ආනන්ද, සහකාර ලේකම් (නාගරික සංවර්ධන) ඩබ්ලිව්. පී. යූ. කාවින්ද්‍යා, නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති නිමේෂ් හේරත්, අධ්‍යක්ෂ ජනරාල් ප්‍රසාද් රණවීර, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (සැලසුම් කලාප 2) ලලිත් විජයරත්න යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක්  මෙම අවස්ථාවට සහභාගී වූහ.
 
 

Comments