කේන්දරේ ගු රු නීචව තිබියදීත් රාජ යෝග උදා වන හැටි | සිළුමිණ

කේන්දරේ ගු රු නීචව තිබියදීත් රාජ යෝග උදා වන හැටි

නව ග්‍රහ අපලවලින් බේරෙන ක්‍රම

උප්පත්ති කේන්දරේ 6, 8, 12 යහපත් නෑ ලෙඩ රෝග අවදානම්

 

වර්ෂාධිපති බලිය විෂ්ණු රූප බලිය අඹේකල්‍යාණි බලිය ගු රු දෝෂ දුරු කරයි

දෝෂ දුරු කරන්න ශාන්තිකර්ම

දෝෂ වළක්වන්න කතරගම දෙවිඳුට පුද පූජා කරන්න

 

 

අප සියලු දෙනාම යහපතක් බලාපොරොත්තු වන සුර ගුරු වශයෙන් ග්‍රහ මණ්ඩලයේ තැනක් ලබා ගෙන සිටින ගුරු නීච වීමෙන් නැත්නම් අපල උපද්‍රව කාලයකදී මෙම ග්‍රහයාගෙන් ද අපට කරදර බාධක ලෙඩ දුක් ඇතිවිය හැකි බව ඔබ නොදන්නවා විය හැකිය. ගුරු අපට බොහෝ අවස්ථාවලදී පිහිටට සිටියද මෙම නරක කාලසීමාවන්හීදී අපට ඇති කරන කරදර මොනවාද? ගුරු කුමන ආකාරයක ග්‍රහයකු ද? යන්න ප්‍රථමයෙන් විමසා බැලීම සුදුසු වෙනවා ඇත. සමහර අවස්ථාවලදී බොහෝ අය ගුරුගෙන් මෙවන් කරදර ඇතිවේද කියා විශ්වාස නොකරනු ඇත. නමුත් සත්‍ය එයයි. ගුරුගේ වුවද නරක කාලයක අපට කරදරවලට මුහුණ දීමට සිදු විය හැකිය.

ජ්‍යොතිෂයේ ගුරු හෙවත් බ්‍රහස්පති ග්‍රහයා හඳුන්වනුයේ ‘ධන කාරක‘ ග්‍රහයා ලෙසිනි. ග්‍රහයන් අතර ප්‍රමුඛ ස්ථානය මෙන්ම දෙවියන් හටද ගුරු වන නිසා මොහු සුර ගුරු වශයෙන් සඳහන්ව ඇත. ගුණ නුවණින් මෙන්ම ශරීර ස්වභාවය අනුව ද උසස්ම ග්‍රහයා වන මොහු එක තැන සිට වැඩ කරන අයෙකු නිසා ශරීරය ස්ථුලභාවයක් දක්වන මොහු මිනිසාගේ චින්තන ශක්තිය වැඩි කර මිනිසාට ගෞරවාන්විත උසස් තත්ත්වයක් ලබාදීමට හැකියාව ඇති ග්‍රහයාය. එමෙන්ම අනෙක් සැර පරුෂ ග්‍රහයන්ගෙන් ඇතිවිය හැකි දුර්විපාකයන් මඳක් හෝ සමනය කර යහපත ලැබීමට පසුබිමක් සකස්කර දෙන යහපත් කෙනෙකු වන අතර ඉහළ තානාන්තර සඳහා මිනිසාට මඟ සාදා දෙන ග්‍රහයකු වශයෙන් ද පිළිගැනීමක් ඇත.

එනමුත් නීච අවස්ථාවන්හිදී රත්රන් සම්බන්ධව එනම් රන් ආභරණවලින් හානි, දරුවන්ට දියුණුවට සහ අනෙක් කටයුතු කාරණාවලදී පසුබෑමක් ඇති කරනවා මෙන්ම ශරීර සෞඛ්‍යයට ද බලපෑම් රෝගාබාධයන් ද ඇති කරනවා ඇත. මෙහිදී ගුරු කේන්ද්‍රයේ පිහිටන ස්ථානය අනුව ද මහ දශාවේදී ලබන්නා වූ අන්තර් දශාවන්ගේ කාලයන්හිදී ඇති කරනු ලබන බලපෑම් ද වෙනත් ආකාර ස්වරූපයක් ගනු ඇත. එසේම ගුරු නීච වීමක් කේන්ද්‍රයේ ඇත්නම් එම නීච වීම වඩාත්ම ක්‍රියාත්මක වනුයේ මහා දශා කාලයේදීය.

එම කාලසීමාවේදී නීචයට හසුවන ස්ථානය අනුව එම නීචය නීච භංග වී රාජ යෝගයන් ද උදාකර දෙනවා ඇත. එනම් බලවත් වනවා සේම නීච අවස්ථාවන්ට පත් වීමේදී බලවත් වන අවස්ථාවලටත් වඩා යහපතක් උදාකර දීමට ද හැකියාව ඇත.

නමුත් උප්පත්ති කේන්ද්‍රයේ 6, 8, 12 යන ස්ථාන එතරම් යහපත් නොවන නිසා බොහෝ විට අයහපත උදාකර නොයෙක් ලෙඩ රෝග එනම් අක්මාව, පෙණහැල්ල, නාඩි ශිරා ආදිය පාලනය කරන නිසා අර්ශස්, ලේ කැට ගැසීම්, මධුමේහය හෙවත් දියවැඩියාව, ලියුකේමියාව මෙන්ම අජීර්ණ තත්ත්වයක් ද ඇති කරනවා ඇත.

එනිසා ගුරුගෙන් ඇතිවන දෝෂයන් වළකා ගැනීමට එනම් අපල උපද්‍රව මඟහරවාගෙන ඒවායින් ආරක්ෂාව ලබා ගැනීම සඳහා ද කළ යුතු වත්පිළිවෙත්වලදී ගුරුගේ නියෝජනයන් වන අභිමාන යක්ෂයන් ද, නීල කණ්ඩලි යක්ෂණිය ද මර්දනය කළ යුතු වෙනවා ඇත.

මේ සඳහා ද අප පිහිට පැතිය යුත්තේ කතරගම දෙවියන්ගේමය. ඒ සඳහා පූර්ණ පලතුරු පූජාවක් සමඟ රන් පැහැති, කහ පැහැති මල් පූජා කර පිහිට පතන්න. මෙයට අමතරව ගුරු දෝෂවලින් වැළකීමට බලි ශාන්තිකර්ම සිදු කළ හැකි බව පුරාණ ග්‍රන්ථයන්හි සඳහන්ය. එනම් වර්ෂාධිපති බලිය, විෂ්ණු රූප බලිය, අඹේකල්‍යාණි බලිය වැනි දේ මඟින් ද මෙම ගුරුගේ අපල තත්ත්වයන් පූර්ණව සමනය කළ හැකි බව දක්වා ඇත.

එසේම දුගී දුප්පත් අය සඳහා කහ, මී පැණි සමඟ සීනි අඩංගු ආහාර ද්‍රව්‍යයන් ද පූජා කර, ගුරුගේ අපලයන්ට මුහුණ දී ඇති අයෙකු සොයාගෙන ඔහුට පුෂ්පරාග ගලක් ඇල්ලූ මුදුවක් සාදා දානය කර ඔබ ද පුෂ්පරාගයක් සහිත මුදුවක් පැලඳ ගැනීමෙන් ඔබ දෙදෙනාටම යහපත උදාකර ගත හැකි වනවා ඇත. එනම් එම පුෂ්පරාගය මඟින් විශ්ව ශක්තිය එක්තැන් කර ඔබ වෙත යොමු කර එම කිරණ මඟින් ග්‍රහයාගෙන් ඇතිවන අයහපත් කිරණ යටපත් කොට ඔබට යහපත ලබා දෙනු ඇත.

ඔබට තවත් සිදු කළ හැකි දෙයක් වනුයේ බෝ වෘක්ෂයක් තෝරාගෙන එයට නිතරම සාත්තු කර එම වෘක්ෂය ස්පර්ශ කරමින් තමාට සහනයක් ලැබේවා කියා ප්‍රාර්ථනා කරන්න. ඔබ එය සිදු කරනුයේ පන්සලක වැනි ස්ථානයකදී නම් එම ස්ථානයේම ඇති බුදුන් වහන්සේගේ පිළිමයක් අසල වැල්මී, සුදු අබ, සමන්පිච්ච මල්, රන්වන් පැහැති මල්, කහ මල්, උක් හකුරු, මුං ඇට, තිරිඟු වැනි ධාන්‍ය ගිතෙල් සමඟ පූජා කර අබ තෙල් පහන් 7ක් අවම වශයෙන් දල්වා ශක්‍ර දේවයන් හට කතරගම දෙවියන් හට පින් පමුණුවන්න. එසේම පිච්ච මල්, සුදු අබ, වැල්මී සමඟ තම්බා එම දියරයට පිරිසිදු වතුර කලවම් කර ස්නානය කරන්න. මේ සෑම දෙයක්ම භක්තියෙන් විශ්වාසයෙන් සිදුකර එම අපල උපද්‍රවවලින් ආරක්ෂා වී ගුරුගෙන්ම යහපත උදාකර ගන්න.

ප්‍රවීණ ජ්‍යොතිර්වේදී

අගස්ති ප්‍රනාන්දු

Comments