
නිවෙස ආසන්නයේ ඇති විහාරස්ථානයේදී සිදු කළ හැකියි
විභාගයට කලින් දා ඉරිදා දවස පුරා සිකුරුගේ පුවපල් නැකැත
බෝධි පූජාවට දහවල් 2.53ත් 3.17ත් අතර විහාරස්ථානයට යන්න
2023 මැයි මස 29 වැනි දින ආරම්භ වන අපොස සාමාන්‍ය පෙළ විභාගය සඳහා සූදානම් වන සියලු දරු දැරියන්ට ඉන් උපරීම පල නෙළාගත හැකි බෝධි පූජාවක් ළඟම විහාරස්ථානයේ බෝධින් වහන්සේ අබියසදී සිදුකරගන්නා අයුරු පහදා දෙමි. විභාගයට කලින් දවස ඉරිදා දවසයි. එදින මුළු දවස පුරාම පවතින්නේ සිකුරුගේ පුවපල් නැකතයි. එය සරස්වතී දේවියට අයිතිවාසිකම් ඇති නැකතකි. එදින 2.53ත් 3.17ත් අතර කාලයේ බෝධි පූජාව සඳහා විහාරස්ථානයට යා යුතුය. රතු, නිල්, සුදු සහ කහ ආදී නොයෙකුත් වර්ණවල මල් සහ බෝධි පූජාවට අවශ්‍ය දෑ රැගෙන යන්න. නෙලුම් මල් තිබේ නම් වඩා සුදුසුය. බුද්ධ මන්දිරය බෝධින් වහන්සේ අවට චෛත්‍ය රාජයාණන් අවට හොඳින් පිරිසුදු කරන්න.
අනතුරුව පැන් කළ හතක් පෙරාගෙන ඒවාට සුදු හඳුන් කුඩු සැවැන්දරා සහ සමන්පිච්ච මල් දමා සකසා ගන්න. චෛත්‍ය රාජයාණන් වෙත සහ බුද්ධ මන්දිරය වෙත මල් පහන් දැහැත් ගිලන්පස සුවඳ දුම් පූජා කරන්න. ඉන් පසුව බෝධින් වහන්සේ වෙත එලඹ නියමිත පුද පූජා පවත්වන්න. බෙහෙත් ද්‍රව්‍ය දැහැත් ගිලන්පස මල් වට්ටි බෝධිය අබියස පූජාසනය මත තැන්පත් කරන්න. කපුරු හඳුන්කූරු පහන්ද සුදුසු තැනක දල්වන්න.
මීළඟට බෝධින් වහන්සේ යනු ජීවමාන බුදු රජාණන් වහන්සේමය සිතා පහසු ඉරියව්වකින් බෝධිය අබියස වාඩි වන්න.
1. පූජා වස්තු පූජා කරන ගාථා කියන්න.
2. නව අරහං බුදු ගුණ ගාථා සහ
ශාන්ති කවි ගායනා කරන්න.
3. බෝධි වන්දනා කවි තාලයට
ගායනා කරන්න.
4. නවග්‍රහ ශාන්ති කවි ගායනා කරන්න.
අනතුරුව කරණීය මෙත්ත සූත්‍රය පළමුව කියා ඇණවුම් පිරිත, රතන සූත්‍රය ආදිය කියා දෙවියන්ට පින් අනුමෝදන් කරන්න. විෂ්ණු, කතරගම, පත්තිනි මෑණියන් ඇතුළු අනෙකුත් බලගතු දෙවිවරුන් වන ගණ දෙවි, සරස්වතී යන දෙවි දේවතාවුන් වහන්සේටද එම ගාථාවන් කියා පින් පමුණුවන්න.
ඉන් පසුව මේ ඡේදය කියන්න.
අමාමෑණි ලොව්තුරා
බුදුරජාණන් වහන්සේට
බුදු බව ලැබීම සඳහා මේ
බෝ සමිඳුන් පිහිට වූයේ යම් සේද
මා හට ද මේ බෝ සමිඳුන්ගේ
අනුහසින් හා
බෝ රදුන්ට අධිගෘහිතව සිටින්නා වූ
සියලු දෙවි දේවතාවුන් වහන්සේලාගේ ආනුභාවයෙන්
කායික මානසික සුවය ලැබේවා!
හෙට දින මා ඉදිරිපත් වන්නා වූ
අභියෝගාත්මක විභාගයෙන් ජයග්‍රහණයක් ලබන්නට
අවැසි දැනුම ශක්තිය මතක ශක්තිය
මා වෙත ලැබේවා!
තවද විෂ්ණු, කතරගම, සමන්,
විභීෂණ, දැඩිමුණ්ඩ,
ඊශ්වර, අයියනායක, ගම්භාර, සත්පත්තිණි මෑණියන් ආදි
සියලුම දෙවිවරුන්ගේ නාමයෙන් හා
ආනුභාවයෙන් මා වෙත බලපා තිබෙන්නා වූ අපල උපද්‍රව දුරු වේවා!
කායික මානසික සුවය මා වෙත
ළඟා වේවා!
තවද නවග්‍රහයින් නව දෙනා වහන්සේලාගේත්
මා වෙත යම් ග්‍රහ දෝෂ අපල උපද්‍රව
හදි හූනියං ඇස්වහ කටවහ
මාරක බාධක
යක්ෂ දෝෂ ප්‍රේත දෝෂ
ආදිය යෙදී ඇත්නම්
සියල්ලම දුරු කර දී
මා හෙට දින ඉදිරිපත් වන්නා වූ
ඒ කඩඉම් විභාගයට මුහුණ දීමට අවශ්‍ය ශක්තිය ධෛර්ය
මට ලබා දෙන මෙන් මේ බෝධි මූලයෙහි
වැඳ නමස්කාරයෙන් ඉල්ලා සිටින්නෙමි.
ප්‍රාර්ථනීය ඡේදය තුන් වරක් කියා
පැන් කළ 7 බෝධියට වත්කරන්න.
ප්‍රවීණ ජ්‍යොතිර්වේදිනී
ශ්‍රියා ගනේගොඩ