
විද්‍යාත්මක සමීක්ෂණයකින් හෙළි වූ කරුණු
එය ඇසූ සැණින් රට තිගැස්වූ කතාවකි. සමාජ සහ ආර්ථික වශයෙන් ඔත්පලව සිටින ජන සමාජයක මිනිස්සු සෞඛ්‍ය අතින් ද මාරකව ගිලන් වී ඇති ආකාරය විද්‍යාත්මක සමීක්ෂණයක් මඟින් හෙළිදරව් කර තිබිණි. කොළඹ වෛද්‍ය පර්යේෂණ ආයතනය, සෞඛ්‍ය ප්‍රතිපත්ති පිළිබඳ ආයතනය සහ කොළඹ රුහුණ රජරට විශ්වවිද්‍යාලය එක්ව කරන ලද මෙම සමීක්ෂණය හෙළිදරව් කළේ ජන අනුපාතය අනුව ආසියාවේ ඉහළම දියවැඩියා රෝගීන් සිටින රට ශ්‍රී ලංකාව බවය. යාපනයේ මෙන්ම උතුරු සහ නැඟෙනහිර පළාත්වලත් බස්නාහිර පළාතේත් දියවැඩියා රෝගීන් හමුවන අනුපාතය ඉහළ අගයක් ගෙන තිබිණි.
කොළඹ දිස්ත්‍රික්කයේ වැඩිහිටි ජනගහනයෙන් සියයට 31ක ප්‍රතිශතයකට දියවැඩියාව වැලඳී ඇති බවත්, ඒ අනුව සෑම වැඩිහිටි පුද්ගලයන් 3 දෙනකුගෙන්ම එක් අයකු දියවැඩියා රෝගියකු බවත් සමීක්ෂණ කණ්ඩායම නිවේදනය කළේය. ඔවුන්ට අනුව ශ්‍රී ලංකාවේ සෑම වැඩිහිටියන් හතර දෙනකුගෙන් එක් අයකුට දියවැඩියාව වැලඳී ඇත. එය 23%ක ප්රතිශතයකි. වර්ෂ 2019දී කොළඹ, රුහුණ, රජරට විශ්වවිද්‍යාල කළ සමීක්ෂණයකට අනුව සෑම පුද්ගලයන් තුන්දෙනකුගෙන් එක් අයකු දියවැඩියාවට ප්‍රතිකාර ගෙන තිබිණි.මෙම දත්ත ප්‍රකාරව සෞඛ්‍ය ප්‍රතිපත්ති පිළිබඳ ආයතනය පුරෝකථනය කළේ මේ වන විට බිඳ වැටී ඇති සෞඛ්‍ය ක්ෂේත්රයේ සේවා සැපයුම් පිළිබඳ දුක්ඛිත තත්ත්වය සලකා බැලීමේදී ඉදිරි වසර කිහිපය ඇතුළත මිලියන ගණනින් ශ්‍රී ලාංකිකයන් දියවැඩියාවට ගොදුරු වීම වැළැක්විය නොහැකි වනු ඇති බවය. සෞඛ්‍ය ප්‍රතිපත්ති පිළිබඳ ආයතනය සිදු කළ අධ්‍යයනයට අනුව තරබාරු පුද්ගලයන් මෙන්ම නාගරික සැප පහසු ප්‍රදේශවල ජීවත් වන අයට දියවැඩියාව වැඩි වශයෙන් වැලඳී තිබිණි. ඔවුන් හෙළි කළ සංවේගාත්මක ඇත්ත වූයේ මිලියනයකට අධික ශ්‍රී ලාංකිකයන් පිරිසක් තමන්ට දියවැඩියාව වැලඳී ඇති බව නොදැන ජීවත් වීමය.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ බෝනොවන රෝග ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ ශාන්ති ගුණවර්ධන මේ ප්‍රජා ව්‍යසනය සම්බන්ධයෙන් දැක්වූයේ මෙවැනි අදහසකි.
සෑම පුද්ගලයකුගේම රුධිරයේ යම් සීනි ප්‍රමාණයක් ඇත.මෙය අසාමාන්‍ය ලෙස ඉහළ යෑම දියවැඩියාව ලෙස හැඳින්වේ. නීරෝගි පුද්ගලයකුගේ රුධිරයේ සාමාන්‍ය සීනි මට්ටම 100 mg/dlට අඩු වේ. රුධිරයේ සීනි මට්ටම 100-125 mg/dl අතර පැවතීම පූර්ව දියවැඩියා රෝගී තත්ත්වයය. රුධිරයේ සීනි මට්ටම 126 mg/dlට වඩා පැවතීම දියවැඩියා රෝගී තත්ත්වය ලෙස හඳුනා ගැනේ.
"වසර කීපයකට පෙර වැඩිහිටියන් තුළ දක්නට ලැබුණු දෙවැනි ගණයේ දියවැඩියාව මේ වන විට දරුවන් අතර දක්නට ලැබෙන තත්ත්වයක් උද්ගත වෙලා තිබෙනවා. කුඩා කාලයේදී දරුවන් ක්ෂණික ආහාරවලට සහ පැණිරස අධික ආහාරවලට පුරුදු වීම හේතුවෙන් අග්න්‍යාශයට වැඩි වැඩියෙන් ඉන්සියුලින් නිපදවීමට සිදු වීමත් සමඟ මේ ක්‍රියාවලිය මන්දගාමී වෙලා. එහි ප්‍රතිඵලයක් වන්නේ බොහෝ අඩු වයසින් සීනි පාලනය අඩාළ වී දරුවන් දියවැඩියා රෝගීන් බවට පත්වීමයි.
මේ තත්ත්වය සමාජයක් ලෙස ඇති කරන්නේ බිහිසුණු ප්‍රතිඵල. දියවැඩියාවත් එක්ක ආඝාතය,වකුගඩු හානි සිදුවීම,ඇස්වල පෙනීම අඩුවීම, ස්නායු පද්ධතියේ ගැටලු මතුවීම, සුව නොවන තුවාල ඇති වීම, පාද ඉවත් කිරීමට සිදුවීම වැනි ඉතාම නරක ප්‍රතිඵල අත් කරනවා. කොටින්ම රුධිරගත සීනි ප්‍රමාණය පාලනය නොවන මේ දියවැඩියා රෝගය ශරීරයේ සෑම ඉන්ද්‍රියක් කෙරෙහිම නරක ලෙස බලපානවා."
ප්‍රජා වෛද්‍ය විශේෂඥ ශාන්ති ගුණවර්ධන වැඩිදුරටත් එසේ පැහැදිලි කළාය.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ බෝනොවන රෝග ඒකකය මඟින් වර්ෂ 2021දී සිදු කළ අවදානම් සාධක සමීක්ෂණයට අනුව පිරිමින් සියයට 25ක් ක්‍රියාශීලි නැති, සිරුර වෙහෙසා වැඩ නොකරන අලසයන්ය. කාන්තාවන්ගෙන් සියයට 43ක් ක්‍රියාශීලි නොවන අයය.
කොළඹ ජාතික රෝහලේ අන්තරාසර්ග පිළිබඳ විශේෂඥ වෛද්‍ය, කොළඹ වෛද්‍ය පීඨයේ මහාචාර්ය ප්‍රසාද් කටුලන්ද මෙම විෂය පිළිබඳ රට තුළ සිටිනා ප්‍රාමාණිකයෙකි. අයහපත් ආහාර පුරුදු, සෞඛ්‍ය පුරුදු, ව්‍යායාම මඟහැරීම මෙන්ම ජානවලට බලපාන හේතු ද දියවැඩියාව වැලඳීමට බලපාන බව මහාචාර්යවරයා පෙන්වා දෙන්නේය. දියවැඩියාවෙන් පෙළෙන ආසියානු රටවල පළමු තැන සිටින ශ්‍රී ලාංකිකයන් එයින් මිදීම සඳහා අනාගත පරපුර නිවැරැදි ජීවන රටාවකට යොමු විය යුතු බව ද ඔහුගේ යෝජනාවයි.
"ව්‍යායාම කිරීම දවසේ තම ජීවන රටාවේ පුරුද්දක් බවට පත් කළ යුතුයි. වෙහෙසකර රාජකාරිවල නිරතවන අය මෙන්ම ක්‍රීඩාවල නිරතවන අය හැරුණු විට සෙසු පුද්ගලයන් පිෂ්ටය අධික ආහාර වෙනුවට කෙඳි සහිත තන්තුමය ආහාර වෙත වැඩි වශයෙන් යොමුවිය යුතුයි....පිෂ්ටය අඩු ප්‍රෝටීන් බහුල ආහාර ගත යුතුයි... ප්‍රෝටීන් බහුල අහාර ලෙස ගන්නා ධාන්‍යවල පිෂ්ටයත් බහුල බව අවබෝධ කරගෙන බිත්තර, තෙල් අඩු මස්, මාළු ආහාරයට ගැනීම වැදගත්. බිත්තර වැඩි වශයෙන් අාහාරයට ගැනීම අහිතකර නැති බව අලුත්ම පර්යේෂණ මඟින් හෙළි වෙලා තිබෙනවා.." මහාචාර්යවරයා කීවේය.
පේරාදෙණිය රෝහලේ කායික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ මහාචාර්ය උදය රළපනාව දියවැඩියාව මේ තරම් බිහිසුණු සෞඛ්‍ය ප්‍රශ්නයක් වීම පිළිබඳ දරන්නේ මෙවැනි අදහසකි.
"වර්ෂ 2000ට පසුකාලයේදී දියවැඩියාව දීපව්‍යාප්ත රෝගයක් ලෙස පැතිර යන තත්ත්වයක් රෝහල්වලින් වාර්තා වීම් ආරම්භ වුණා. වර්ෂ 2000න් පස්සේ කැපී පෙනෙන ලෙස දියවැඩියා අවදානම ඉහළ ගියා. මේ තරම් බරපතළ තත්ත්වයක් දක්වා පැමිණීම පැහැදිලිව දිස් වන්නේ වර්ෂ 2015න් පසුව බව අනුමාන ගතව ප්‍රකාශ කළ හැකියි. ඒ සඳහා දත්ත සපයන්නේ දිවයින පුරා රෝහල්වල සායනික රෝගීන්ගේ වයස් කාණ්ඩයි."
මහාචාර්යවරයා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ රෝග පාලනය විෂයෙහි දියත්වන ඇතැම් ව්‍යාපෘති ජාතික ප්‍රතිපත්තියක් තුළ ක්‍රියාත්මක නොවීමෙන් දීර්ඝකාලීනව පවත්වාගත නොහැකි වීමත් රෝගය වළක්වා ගැනීම සම්බන්ධයෙන් ජන සමාජයේ ඇති අලස බවත් මෙම ගැටලුව යාවත් කාලීන වෙමින් බරපතළ තත්ත්වයක් නිර්මාණය කර ඇති අයුරුය.