O අකුර හිමියෝ ශක්තිමත් මනසකින් යුක්ත වූ‍වෝ | සිළුමිණ

O අකුර හිමියෝ ශක්තිමත් මනසකින් යුක්ත වූ‍වෝ

සමාජ සේවා කටයුතුවලදී මුල් තැන ගනී

ඕනෑම තැනකට ගැළපෙන අයුරින් කටයුතු කරයි

සුළු වරදකටත් සමාව ගනී

අවවාද උපදෙස් පිළිගනී

නමේ මුල් අකුරෙන් කියවෙන ඔබේ චරිතය පිළිබඳ ලිපි මාලාවේ තවත් අකුරක් පිළිබඳව කතා කරන්නටයි මේ සූදානම. මෙම ලිපියෙන් ඉංග්‍රීසි භාෂාවේ O අකුරෙන් නම පටන් ගන්නා අයගේ චරිත ස්වභාවය පිළිබඳව විස්තර කෙරේ. මෙයට පෙර ලිපිවලින් A අකුරේ සිට N අකුර දක්වා විස්තර පැහැදිලි කරන ලදී. මෙහිදී ඔබ මතක තබා ගත යුතු කරුණක් වන්නේ O අකුර මුලට යෙදී නමක් පටන් ගන්නවා සේම ඒ නම ඔබ නිතර භාවිත කරන නමක් බවට පත්වීම තුළ මේ කියන කාරණාවන් වඩාත් ඔබ තුළින් ඉස්මතු වන බවයි. ඔබට O අකුරින් පටන් ගන්නා නමක් තිබුණත් එය භාවිත නොකරන්නේ නම් එහි බලපෑම අවම වෙයි. ඉතින් ඔබත් ඉංග්‍රීසි භාෂාවේ O අකුරෙන් නම පටන් ගන්නා කෙනෙක් නම් බලන්න මේ කියන කාරණාවන් ඔබේ ජීවිතයට කෙතරම් සමීපද කියා.

මේ ඕ අකුරෙන් නිකුත් වන ශබ්දය තුළ විශාල බලයක් ශක්තියක් තිබෙන බව බොහෝදෙනා විශ්වාස කරයි. ගුප්ත විද්‍යාවේදී භාවිත වන බොහෝ මන්ත්‍රවල මුලට ඔ ශබ්දය යෙදීම විශේෂත්වයක් වෙයි.

ඕම් ශබ්දය තුළින් විශ්වයේ හඬ නිරූපණය වන බව ගුප්තවේදීන් පිළිගනී. මෙම O අකුර මුලට යෙදී නම පටන් ගන්නා පුද්ගලයන් බොහොම ආගමට ධර්මයට ලැදි භාවයක් දක්වයි. සමාජ සේවා කටයුතුවලදී මෙන්ම ආගම ධර්මය මුල් කරගත් කටයුතුවල දී මූලිකත්වය ගෙන ක්‍රියා කරන අයයි. නැති බැරි අසරණ අය වෙනුවෙන් තමන්ට හැකි අයුරින් පිහිට වීමට ද අමතක නොකරයි.

ස්වයං පාලනයක් ඇතිව කටයුතු කරන මොවුන් විනයගරුක පුද්ගලයන් කොටසක් ලෙස හැඳින්විය හැකිය. ඕනෑම තැනකට ගැළපෙන ආකාරයෙන් කටයුතු කිරීමේ ඥානයෙන් යුක්තය. තම ආත්ම ගරුත්වය ආරක්ෂා කරගැනීමට උපරීමයෙන් ක්‍රියා කරයි.

තමා අතින් අන් අයට පුංචි වරදක් වුණත් සමාව ගෙන එය නිවැරැදි කර ගනී. මෙම පුද්ගලයන් නීතිගරුක භාවයෙන් යුතු අය ලෙස ද හැඳින්විය හැකිය. අන් අයගේ අවවාද උපදෙස් පිළිගැනීමට සූදානම් වන මොවුන් ඉතා නිහතමානී මිනිසුන් කොටසක් ලෙස දැක්විය හැකිය.

නමුත් තරමක් හිතුවක්කාර ගති ද මොවුන්ගේ චරිතය තුළ නැතුවාම නොවේ. ක්ෂණිකව මොවුන්ට තරහ යන අතර වැඩි වෙලා එම තරහ හිතේ තබාගෙන ඉන්නේ නැත. කෙසේ වෙතත් මොවුන් ඉතාමත් සංවේදී මනසක් ඇති පුද්ගලයින් ලෙස හැඳින්විය හැකිය.

අන් අය කෙරෙහි හිතේ ආදරය කරුණාව ඇතිව කටයුතු කරන මොවුන් කාටත් වරදක් කරන්නේ නැත. මොවුන්ට ඉතාම ශක්තිමත් මනසක් ඇති අතර හොඳ ආත්ම ශක්තියකින් යුතු පුද්ගලයින් කොටසක් ලෙස පෙන්වා දිය හැකිය.

දරා ගැනීමේ හැකියාව අතින් ද මොවුන් ඉදිරියෙන් සිටී. ඕනෑම අසීරු බැරෑරුම් අවස්ථාවකට නොබියව මුහුණ දීමේ ශක්තියෙන් යුක්ත වෙයි. O අකුරෙන් නම පටන් ගන්නා අය විශේෂයෙන් සිතුවිලි සහ හැඟීම් පාලනය සම්බන්ධයෙන් වඩාත් උනන්දු විය යුතුය. විශේෂයෙන්ම ඊර්ෂ්‍යා සහගත සිතිවිලිවලින් ද ආරක්ෂා වීමට මතක තබා ගත යුතුයි. සාමාන්‍ය අනතුරුවලින් ද ප්‍රවේශම් වීමට කටයුතු කළ යුතුයි. සමාජශීලී පුද්ගලයන් ලෙස කටයුතු කරන මොවුන්ට සමාජය තුළ විශාල මිතුරන් සංඛ්‍යාවක් ද ගොඩනැඟෙයි. නමුත් ඒ සියලු දෙනාම විශ්වාස කර කටයුතු කිරීමට යාමෙන් වැළකීම ගුණදායක වෙයි. තමාට විරුද්ධව ක්‍රියාත්මක වෙන සතුරන් ද ඇතිවන බව හොඳින් මතක තබා ගැනීම වැදගත් වෙයි. ජීවිතයේ පසුකාලීනව ඉතා හොඳ ආර්ථිකමය වශයෙන් ශක්තිමත් භාවයක් ගොඩනඟා ගැනීමට මොවුන් සමත් වෙයි. සමස්තයක් ලෙස සාර්ථක ජීවිතයකට උරුමකම් කීමේ වාසනාව මොවුන් සතු වෙයි.

P අකුර පිළිබඳව ලබන කලාපයෙන්

 ඒ. ජේ. දීපාලෝක
(ප්‍රවීණ ජ්‍යොතිර්වේදී සහ පාඨශාලාචාර්ය
ඉසිවර සහන 
ජ්‍යොතිෂය සේවය)

Comments