ධනය බලය කීර්තිය ලැබෙන මේ ග්‍රහ පිහිටීම ඔබේ කේන්දරේ ඇත්දැයි බලන්න | සිළුමිණ

ධනය බලය කීර්තිය ලැබෙන මේ ග්‍රහ පිහිටීම ඔබේ කේන්දරේ ඇත්දැයි බලන්න

කේන්දරයක 6 වැන්නේ 6 වැන්නාධිපතියා  නීච වී සිට  10 අධිපතියා උච්ච නම් මහා  ජය යෝගය උදාවේ

ප්‍රකෝටිපතියන් ධන කුවේරයන් බිහි කරන ප්‍රබල යෝගයක්

 

කේන්දරයක සුබ පල දෙන මහා රාජ මූල්‍යමය සම්පත් යෝග තිබියදීත් ඒ ගැන ඇතැම් අය කිසිම සැලකිල්ලක් නොදක්වයි. මැණික් පොළොව යට තිබුණාට නිකම්ම අතට නොලැබේ. උත්සාහ කළ යුතුය. මැණික් ලැබෙන 'දීප්ති යෝග' තිබුණත් වැඩක් නොවන්නේ මහා බලවත් යෝග අතුරුදන් වීම නිසාය.

ග්‍රහයෙක් නීච හෝ අසුබ වූ පලියට එයින් අසුබම ප්‍රතිඵල ලැබේ යැයි ඇතැමුන් සලකති.

නීච සහ දුර්වල ග්‍රහයන්ගෙන් ශ්‍රේෂ්ඨ සුබ පල දෙන අවස්ථා අපි කොතෙකුත් දැක ඇත්තෙමු. දහස් සංඛ්‍යාත යෝග අතරින් ජය යෝගය අති සුවිශේෂි ප්‍රබලතම ග්‍රහ යෝගයකි. කේන්දරයක 6 වැන්නේ 6 වැන්නාධිපතියා නීච වී සිට 10 වැන්නාධිපතිවරයා උච්ච වූ විට ජය යෝගය උදාවේ.

හයවැන්නාධිපතියා දුර්වල වුවත් වරදක් නැත. දුෂ්ට ස්ථානයක් වූ හයවැන්න ජීවිතයේ වැදගත් තොරතුරු රැසක්ම හෙළි කරන රාශියකි. අසුබ කරුණු 30 කටත් වඩා 6 වැන්නෙන් කියැවේ.

ප්‍රබලතම 'මහා ජය යෝගය' කේන්දරයක පිහිටීම නිසා පුද්ගලයාට කීර්තිය, වරප්‍රසාද, සම්පත්, මිල මුදල් නොඅඩුව අත්පත් වේ. කෝටි ප්‍රකෝටිපතියෙක්, මහා ධන කුවේරයෙක් වීමේ භාග්‍යය උදාවේ.

හයවැන්නාධිපති නීච වී දසවැන්න හැර අනික් ඕනෑම භාවයක අධිපතියෙක් උච්ච වූවත් සුබ පල ලැබේ. මේ භාවස්ථාන දෙකේ මෙසේ ග්‍රහයින් දෙදෙනාම ත්‍රිකෝණගත වීමේ බලය නැංවෙන්නේ හය අධිපතියා නීචවී දසවැන්නාධිපතියා උච්ච වූ විටයි. නීරෝගි බව සහ සම්පත් හිමිව දිගාසිරි ජය යෝගය සතුව ඇත. අතුරු දශා මහා දශා ඒරාෂ්ටක අපල මඟ හරවා ඒ වකවානුවල ශ්‍රේෂ්ඨ සුබ පල ලබා දේ.

ලග්නයට අදාළ සුබයින්ගේ දුෂ්ටි යෝග මෙම ජය යෝගයට සම්බන්ධිත ග්‍රහ ශක්තිය පෝෂණය වූ විට සුබ පල වර්ධනය වේ. ප්‍රබල ජන නායකයින්, ප්‍රකෝටිපති ධන කුවේරයින් කීප දෙනෙකුගේම මෙම ජය යෝගය යෙදී ඇති බැව් දක්වමු.

ඒ ඒ ලග්න අනුව බලන විට ජය යෝගයෙන් ඇති වන ප්‍රතිඵල විවිධය.

ජය යෝගය යෙදී ඇති විවිධ තරාතිරම්වල ස්ත්‍රී පුරුෂ දෙපක්ෂයේම අති විශාල කේන්ද්‍ර සමූහයක්ම මම පරික්ෂා කර ඇත්තෙමි.

ජය යෝගය පිහිටි කේන්ද්‍ර හිමියෙකුට අනපේක්ෂිත කාල වකවානුවක උසස් ප්‍රතිඵල අත්වේ. විශේෂයෙන්ම ලොතරැයි ජය ලැබූ ප්‍රකෝටිපතියන් ද මේ අතර සිටී.

ජය යෝග පරීක්ෂාවේදී චන්ද්‍ර සහ සූර්ය ලග්නයන් කෙරෙහි ද අවධානය යොමු කිරීම ඉතාම වැදගත්ය.

 

ප්‍රවීණ ජ්‍යොතිර්වේදී

ටී. හෙන්රි බෙම්මුල්ල

 

Comments